2020 ජුනි 20 වන සෙනසුරාදා

ලාබ සුලබ බෙහෙතක් ගැන බලාපොරොත්තුවක්!

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

කොවිඩ්-19 වසංගතය පිළිබඳ තවත් හොඳ නරක සහ අමුතු ආරංචි පිරීගිය සතියක් ගෙවී ගියේය. පසුගිය සතියේ එළියට ආ හොඳ ආරංචියක් වූයේ ලොවපුරා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් සියයට පනහකට අධික පිරිසක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවය. ඉකුත් සතිය අග වනවිට ලොව සමස්ත ආසාදිතයන්ගෙන් හතලිස් පන් ලක්ෂයකට වැඩි පිරිසක් (4,530,340) පූර්ණ සුවය ලබා ඇති බව ලෝක සෞඛ්‍ය අංශ වාර්තා කළේය. ඒ වනවිට ලොව ආසාදිත පිරිස  8,578,757ත් පන්නා තිබුණි. මරණ 456,291ක් විය. ලංකාව අරභයාද මේ සුවපත් වූවන්ගේ කතාව කතාව සුබදායක විය.

පසුගිය සතිය අග වනවිට මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ සමස්ත ආසාදිත ගණන 1924ක්ව තිබීයදීය. අයි.ඩී.එච්, මුල්ලේරියාව, ඉරණවිල, කාතාන්කුඩි, හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ලංකාව තුළ ඉකුත් සතියේ ආසාදිතයන් ඉහළ යාමට බලපෑ ආසන්නතම කාරණාව වූයේ ඉන්දියාවේ සිට පැමිණි පිරිසයි. ලොව ලතින් අමෙරිකාවත් පරදා ආසාදිතයන් පාලනයකින් තොරව සීඝ්‍ර ලෙස ඉහළ යන රට බවට ඉන්දියාව පත්ව තිබේ. වෙනත් හැම කාරණාවකදී මෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන්ද අපට ඇති ඉන්දියානු බලපෑම ඉහළ බව ඉකුත් සතියේ සනාථ විය.

තවත් වැදගත් ආරංචියක් එම සතියේ ආවේය. ඒ ඉතා ලාබ පහසුවෙන් ලබාගන්නට හැකි දැනට භාවිතයේ ඇති ඖෂධයක් මගින් බරපතළ කොවිඩ්-19 රෝගීන් පවා සුවපත් කළ හැකි බව සායනික පරීක්ෂණ මගින් නිරීක්ෂණය වීමයි. තත්ත්වය හොඳටම දරුණු වී ස්වසන ආධාරක මගින් ඔක්සිජන් උරාබී  දිවි රැකගන්නට තරම් ආසාධ්‍ය අය පවා පණගසා නැගිටුවන්නට තරම් ගුණයක් මේ Dexamethasone, නමැති ඖෂධය සතු බව එංගලන්තයේ විද්වතුන් සාධක සහිතව  කියා තිබේ. ඔවුන් දැන් විස්සෝප වන්නේ අත ළඟ තිබූ මේ ඖෂධය ගැන කලින් අවධානය යොමු වූවා නම් තවත් ජීවිත 5000ක් පමණ බේරාගන්නට තිබූ බව කියමිනි. මේ ඖෂධය ආතරයිට්ස් ඇදුම සහ සමහර සමේ රෝග වැනි ප්‍රදාහ තත්ත්ව සඳහා බහුලව ප්‍රතිකාර සඳහා යොදා ගන්නා මිලෙන් අඩු බෙහෙතකි.

කොවිඩ්-19 වෛරසය ඉකුත් සතියේත් ලෝකයට වැඩියෙන්ම ගෙනාවේ නරක ආරංචිය. ලෝකය පුරා රටවල් ගණනාවකම කොවිඩ්-19 දෙවෙනි රැල්ලක් ගැන අනතුරු ඇඟවීම් දක්නට ලැබුණි. පසුගිය සතියේදී කොවිඩ්-19 වෛරසයෙන් සම්පූර්ණයෙන්ම තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කළ නවසීලන්තයෙන් නැවතත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවීම වඩාත්ම අවාසනාවන්ත ආරංචිය විය. එරටින් නව ආසාදිතයන් වාර්තා වී ඇත්තේ දින 24 කට පසුවය. මහා බ්‍රිතාන්‍යයේ සංචාරයකින් පසුව නැවත සිය රට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. ඒ අනුව දැන් නැවතත් එරට තුළ කොවිඩ් වෛරසයේ අවදානම මතුව තිබේ.

වඩාත් දරුණු ආරංචිය ආවේ බීජීං දෙසිනි. කොවිඩ්-19 දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වීමේ අවදානම මතුකරමින් දකුණු දිග බීජිංහි මාංස වෙළඳ පොළක් ආශ්‍රිතව මූලාශ්‍රය හඳුනා නොගත් නව පොකුරක් වාර්තා වූයේ බලධාරීන් මවිතයට පත්කරමිනි. වෛරස ව්‍යාප්තිය හමුවේ පළමුව වසා දැමුණු චීන නගරය බව පත්වූයේ වූහාන්ය. දැන් ඒ මග යමින් දකුණු දිග බීජිංහි කොටසක් වසා දැමීමට බලධාරීහු ඉකුත් සතියේ පියවර ගත්හ. ඊට නේවාසික ප්‍රදේශ 11ක් අයත් වන අතර එහි පදිංචිකරැවන් නිරෝධායනයට යොමු කෙරුණි.ෂින්ෆාඩි (Xinfadi) නම් අදාළ මාංස වෙළඳපොළේ වෙළෙන්දන් සහ සේවකයන්ගෙන් ලබාගත් සාම්පල 517ක් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම තොග වෙළෙඳපොළේ, ආනයනික සැමන් මත්ස්‍යයන් කපන ලෑලි මත වෛරසය තිබි හඳුනාගෙන ඇත. පසුව නගරය පුරා ඇති ප්‍රධාන සුපිරි වෙළඳසල් දාමයන් තුළ වූ සැමන් මසුන් රාක්කවලින් ඉවත් කර තිබුණි. නව පොකුරේ සිව්දෙනෙකු පිටතට ගොස් තිබීම හේතුවෙන් නගරයේ පළතුරු හා එළවළු අවශ්‍යතාවයෙන් 90% ක් සපයන තවත් වෙළඳපොළක්ද වසා දැමුණි.

පාසල් 9ක් සහ පෙර පාසල් ලබන සතියේ වසා දමන ලෙසත් බළධාරීන් දැනුම් දී තිබේ. ඒ අතර වාර්තා වූ නරකම ආරංචිය වූයේ චීනයේ බීජිං අගනුවර ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරුණු වෛරස් ප්‍රභවයට වඩා සහමුලින්ම වෙනස් බවට වූහාන් සරසවියේ ජීව විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය Yang Zhanqiu කළ ප්‍රකාශයයි. මෙම නව වෛරස් ප්‍රභවය කෙටි කලක් තුළදී ඉක්මනින් ව්‍යාප්ත වන බැවින් බීජිං නගරය තුළ රෝගීන් රැසක් වාර්තා වීමේ අවදානමක් පවතින බවයි ඔහු ප්‍රකාශ කර ඇත. මේ නිසා අලුත් සතුරෙකුට අලුත් වටයකින් මුහුණදීමට චීනයට දැන් සිදුව ඇත.

මේ අතර තවත් පර්යේෂණයකින් කලින් ආ තවත් නපුරු ආරංචියක් නැවත තහවුරු විය. එනම් වැසිකිළි භාවිතයේදී පවා කොවිඩ් වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවය. චීන විද්‍යාඥයන් සිදුකළ නවතම  පර් යේෂණයක් මගින් අනාවරණ වූයේ, කොවිඩ් ආසාදිතයකු භාවිත කළ වැසිකිළියක් නැවත භාවිත කිරීමේදී වෛරස ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි.

වැසිකිළි භාවිතයෙන් පසුව එය සෝදාහැරීමේදී කොවිඩ් වෛරසය සහිත අංශු වා තලයට මුසුවිය හැකි බවත්, ඒවා වැසිකිළියේ සිට අඩි තුනහමාරක් තරම් ඉහළට ගමන්කර වාතයේ රැඳී සිටිය හැකි බවත් මෙහිදී අනාවරණ වී තිබේ. කොවිඩ් ආසාදිතයන්ගේ ආහාර පද්ධතියේ සහ ඔවුන්ගේ මළවල කොවිඩ් වෛරසයට නොනැසී පැවතිය හැකි බව මීට පෙර සෞඛ්‍ය අංශ තහවුරු කර තිබුණි. එයින් වන අවදානම වළක්වා ගැනීම සඳහා චීන  පර් යේකයන් යෝජනා කරන්නේ, වැසිකිළි භාවිතයෙන් පසුව එහි පියන වසා දමා ජලය යෙදිය යුතු බවය.

ලෝකයේ කැපී පෙනෙන හාදයන් කිහිපදෙනෙකුටම වෛරස ආසාදනය වී ඇති බව ආරංචි වූයේ මේ වෛරසය තරාතිරම නොසලකන බව නැවතත් සනාථ කරමිනි. ඒ අතර මුලින් කියැවුණේ පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩිගේ නමය. මේ වන විට 40 වැනි වියෙහි පසුවන අෆ්රිඩි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට තමාට අසනීපයක් ඇති බවත්, ඉක්මනින් සුවය ලබාදෙන ලෙස යාච්ඥා කරන ලෙස තම හිතවතුන්ගෙන් ඉල්ලා සිටින බවත්ය. ඔහු සිදුකළ කොවිඩ්-19 පරීක්‍ෂණය ධනාත්මක වී ඇති බවද පසුව තහවුරු විය. ඊට පෙර කොවිඩ්-19 ආසාදනය වුවා යැයි වාර්තා වූ තවුෆීක් උමාර්ගෙන් පසුව කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තානයේ දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා අෆ්රිඩිය. තවුෆීක් උමාර් මීට දින කිහිපයකට පෙර සුවය ලබා ඇති බව නිවේදනය කර තිබුණි.

යුක්‍රේන ජනාධිපති ආර්යාවටද කොවිඩ් නයන්ටීන් ආසාදනය වී ඇතිබව තහවුරු විය. ජනාධිපති ආර්යා 42 හැවිරිදි ඔලීනා සෙලෙන්ස්කි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබුණි. පසුගිය සතිය තුළ යුක්‍රේනයේ කොවිඩ් නයන්ටීන් ආසාදිතයන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කළ අතර මේ වනවිට එරටින් ආසාදිතයන් 32,476 දෙනෙකු සහ මරණ 912 ක් වාර්තා වී ඇති බව සඳහන්ය.

ඒ අතර හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝට කොවිඩ් නයන්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව එළදරව් විය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් හොන්ඩුරාස් ජනාධිපතිවරයාම මේ බව සනාථ කර ඇත. තමන් හුදෙකලාව සිට ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන අතර තම නිලධාරීන් හරහා රජයේ කාර්යයන් සිදුකිරීමට පියවර ගන්නා බව හොන්ඩුරාස් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මහා ඇමේසන් වනය රැක ගැනීමේ සටනේ පෙරමුණ ගත් එනිසාම ලෝකය පුරා වඩාත්  ප්‍රසිද්ධියට පත්ව සිටි කයාපෝ ගොත්‍රික නායකයාද අවසානයේ කොවිඩ්-19 බිලිගෙන තිබුණි. නායකයා ජීවත් වූ බ්‍රසීලයේ දැන් තත්ත්වය ඉතා භයානකය. එරට ආසාදිතයන් සහ මරණ අතින් ලොව දෙවෙනි තැනට පත්ව සිටියි. එරට +983,359ක් ආසාදිතයෝ වෙති. මරණ 47,869කි.

ඇමේසන් මහා වන ගහනයට අයත් මෙක්සිකෝවේද තත්ත්වය භයානකය. දෛනික ආසාදිතයන් ගණන 5000 ඉක්මවා වාර්තා වී ඇත. ඉකුත් සතියේ එක් දිනක් තුළ එරටින් ආසාදිතයන් 5662 දෙනෙකු වාර්තා වී තිබුණි. ඒ අනුව මෙක්සිකෝවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් නයන්ටීන් ආසාදිතයන් ගණන 171117 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක් දිනක් තුළ වැඩිම මරණ 622කි. ඒ අනුව එරට සමස්ත මරණ ගණන 20414කි.

වඩාත්ම නරක ආරංචි දැන් ලැබෙන්නේ අපේ අසල්වැසියා වන ඉන්දියාවෙනි. මේ වන විට ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් ගණන ලක්ෂ 4ට ළඟාවී තිබේ. ඉන්දියාවේ ආසාදිතයන් ලක්ෂය ඉක්මවා ගොස් තිබුණේ පළමු ආසාදිතයා වාර්තා වී දින 64 ක් තුළදීය. දෙසතියක් තුළ ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබුණි. ඉන්දියාව ආසාදිතයන් ලක්ෂ තුනේ සීමාව පසුකර ලක්ෂ 4ට ළඟා වන්නේ  දින 10ක් වැනි කෙටි කාලයක් තුළ වීම විශේෂත්වයකි. එරට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වූයේද ඉකුත් අඟහරුවාදාය. ඒ දිනය තුළදී පමණක් එරටින් මරණ 2006ක් වාර්තා වී තිබුණි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව ගත් කළ ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හි තත්ත්වය චීනයේ වූහාන් නගරයේ පැවැති තත්ත්වයට වඩා බරපතල වී ඇත. මුම්බායි නගරයේ ආසාදිතයන්ගේ ගණන 55000 ඉක්මවා තිබේ. ඉන්දියානු බලධාරීන් පවසන්නේ ලබන ජූලි මාසය අවසන් වනවිට මුළු ඉන්දියාව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහක් පමණ සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි. මේ වනවිට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව+ 12,604කි. දැනට ආසාදිත ගණන +381,091කි. එරට දැන් සිටින්නනේ කොවිඩ් මීටරයේ 4 වැනි තැනය.මේ වනවිට රුසියාව කොරෝනා ආසාදිතයන් වැඩිම රටවල් අතර 3 වැනි තැන සිටියි. එරට ආසාදිත ගණන +561,091ත් පන්නා තිබේ. පුටින් සඳහා අමුතු උමං මඟක් තැනෙන්නේ මෙවන් පසුබිමකය.

 සුගත් පී. කුලතුංගආරච්චි