2020 ජුනි 20 වන සෙනසුරාදා

ගොඩ ලීසිං කොම්පැණිවලින් ගොඩයන්න බලන අය වෙතටයි

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

ගොඩ ෆිනෑන්ස් රථවාහන දේපළ පමණක් නොව ජීවිතද උදුරා ගන්නා තැනට පත්ව තිබේ. පසුගියදා ගොඩ ෆිනෑන්ස් සීසර්ලා මරා දැමූ සුනිල්ගේ අවසන් ගමන දෙස අපි සංවේගයෙන් බලා සිටියෙමු. මෙරට ෆිනෑන්ස් ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් සංවාදයක අවශ්‍යතාව සුනිල් ජයවර්ධන විසින් අවධාරණය කර ඇති බව අපට අවබෝධ වූයේ එදිනය. මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතන රැසක ප්‍රධාන නීති උපදේශකවරයා ලෙස සේවයකර ඇති ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා අපි මෙම සංවාදයට සම්බන්ධ කර ගතිමු.

ලීසින් හෙවත් කල් බදු ක්‍රමය යටතේ වන ව්‍යාපාර අනිවාර්යයෙන්ම මහ බැංකුවේ ලියාපදිංචි විය යුතුය. එවිට එම ආයතන ක්‍රියාත්මක විය යුත්තේ මහ බැංකුවේ නියාමන යටතේය. එහෙත් පසුගිය අවාසනාවන්ත සිදුවීමට පාදක වූයේ හයර් පර්චසින් හෙවත් කොටස් වශයෙන් ගෙවීම් සිදුකරන කුලී වෙන්දේසි ක්‍රමය යටතේ සිදු කළ ගනුදෙනුවකි. මෙම ක්‍රමය යටතේ සිදුවන ගනුදෙනු මෙරට තුළදී නිසි නියාමනයකට යටත් නොවේ. එහෙත් පාරිභෝගිකයන්ට මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැත. එම නොදැනුවත්කම මත තාවකාලිකව පහසුව තකා මෙවන් ගොඩ ෆිනෑන්ස් ආයතන වටා ජනතාව නිරන්තරයෙන් රැවටෙති.

එහෙත් මෙරට තරගකාරී ලීසින් ආයතන රැසක් පවතී. ඒවා ගොඩ ෆිනෑන්ස් ආයතනවලට වඩා අඩු පොලියකට ජනතාවට පහසුකම් ද සපයයි. නමුත් නියාමනයක් යටතේ පවතින ආයතනවලට අනුමත ක්‍රමවේදයක් ඇත. එම ක්‍රමවේදය යටතේ ලීසින් පහසුකම් සැපයෙන විට විවිධ සීමා මායිම් තිබේ. එසේම තරමක කාලයක ද ගතවේ. ඒ මෙම සංස්ථාපිත ආයතන මහබැංකුවක් නියාමනය වන අනුමත ක්‍රමවේදයට යටතේ කටයුතු කිරීමට බැඳී සිටින නිසාවෙනි. කෙසේ වෙතත් මෙම අයතන සමහරක් ද අතරමඟදී රථවාහන පැහැර ගැනීමට සීසර්ලා භාවිත කරයි. මෙරට අධික අදායම් ලබාගන්නා ප්‍රකට පෞද්ගලික ලීසින් ආයතන කිහිපයක් ඉතාම කෲර ලෙස පාරිභෝගිකයන්ට සලකමින් සිටියි. 

එහෙත් අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ සීසර්ලාගේ සේවය ලබා නොගන්නා වැදගත් ලීසින් සමාගම් කිහිපයක්ද මෙරට තුළ වන බවයි. නමුත් අවාසනාවකට පාරිභෝගිකයන් ඒ පිළිබඳ දැනුම්වත් නැත. සැබවින්ම පශ්චාත් කොරෝනා සමය තුළදී මහජනතාව මේ පිළිබඳ දැනුම්වත් විය යුතුය. ලීසින් යනු එළඹෙන ආර්ථික අර්බුදයක් හමුවේ සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට ඇති සාධනීය ක්‍රමවේදයකි. රථ වාහන පමණක් නොව කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වාහන යන්ත්‍ර සූත්‍ර ගොවිතැන සඳහා අවශ්‍ය ට්‍රැක්ටර් අතුළු උපකරණ රැසක් මෙම ක්‍රමය යටතේ ජනතාව මිලදී ගනී. 

කෙසේ වෙතත් මෙම සියලු සමාගම් පාරිභෝගිකයන්  සමඟ එළඹෙන ගිවිසුම්වල ගැටලුවක් තිබේ. ඒවා බොහෝවිට සකස් වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉතා දීර්ඝ මෙම ගිවිසුම් කියවීමට පාරිභෝගිකයන්ගෙන් අති බහුතරය කටයුතු කරන්නේ ද නැත. සිංහල හෝ දෙමළ බසින් අදාළ ගිවිසුම්වල පිටපතක් ලබාදීමට කටයුතු කරන ලීසින් සමාගම් ද ඉතා විරලය. මෙම තත්ත්වය මත මෙම ගිවිසුම් තුළ නැවත අදාළ රථවාහන ලීසින් සමාගම් සතුකර ගැනීමට හැකිවන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් මෙම ගිවිසුම්වල භාෂාව පාරිභෝගිකයා නොදෙන්නා පසුබිමක අධිකරණයක් තුළදී ඒවායේ වලංගුභාවය ගැටලු සහගතය. 

කෙසේ වෙතත් බලහත්කාරයෙන් එම කටයුතු සිදුකළ හැකි බව මෙම ගිවිසුම් තුළට ඇතුළත් කළ නොහැකිය. සියල්ල සිදුවිය යුත්තේ නිත්‍යනුකූලවය. මාර්ගයක් අවහිර කර මරණ තර්ජන සිදුකර පහර දී දේපළ පැහැරගැනීමක් සිදුවේ නම් එය මෙරට නීතියට අනුකූලව පැහැදිලිවම මංකොල්ලයකි. කල් බදු පනතේ තිස් වැනි වගන්තියට අනුව පොලීසියේ ආධාර නොමැතිව මෙවන් පවරා ගැනීමක් සිදුකළ නොහැකිය. දැනට සිදුවන්නේ පැහැරගැනීම සිදුකර පොලීසිය පැමිණිල්ලක් දැමීමයි. පසුගිය දා ජනාධිපතිවරයා ද එවන් පැමිණිලි භාර නොගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේ එබැවිණි. උදාහරණ ලෙස විදුලි බලය වංචනික ලෙස ලබා ගැනීම සම්බන්ධව කටයුතු කිරීමේ දී විදුලි බල මණ්ඩලය පොලීසිය සමඟ පැමිණිය යුතුය. මහජන සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලීසිය සමඟ පැමිණිය යුතුය. මන්ද අත්අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ පොලීසියට පමණි. 

මෙම කටයුත්තක් ශිෂ්ඨ ලෙස සිදු කරන්නේ නම් සිදු කළ යුත්තේ ඒ ආකාරයටය. සීසර්ලා භාවිතයෙන් ලීසිං නොගෙවන රථවාහන පවරා ගැනීමක් සිදු කළ යුතුම නම් එය ද විධිමත් ලෙස සිදුවිය යුතුය. සීසර්ලා ලෙස මැරයන් භාවිත කිරීම නුසුදුසුය. එය අතිශය භයානක බව දැනටමත් අපට අවබෝධ වී තිබේ. ඊට විධිමත් ක්‍රමවේදයක් ආයතනික රාමුවක් නීතිමය ක්‍රමවේදයක් සකස් කිරීම සිදුකළ යුතුය. කෙසේ වෙතත් සියල්ල සිදුවිය යුත්තේ නීතියේ බලය ආරක්ෂා කර ගනිමිනි. ලොව අනෙක් රටවල මෙම කටයුතු සිදුවන්නේ එලෙසය. එහෙත් මෙරටදී නම් වඩාත්ම සුදුසු පොලිස් මැදිහත් වීම මත මෙම කටයුතු සිදුකිරීමයි.

සනිල් ජයවර්ධන ඝාතයන ගත් කල මෙහි වරද අදාළ සමාගම්වලට බැර නොවේ ද යන්න සමාජය ප්‍රශ්නය කරමින් සිටියි. කෙසේ වෙතත් එය තීරණය වන්නේ පොලිස් පරීක්ෂණ මතය. මෙවන් සිදුවීමකදී පහර දුන් කෙනා ඝාතනයට වගකිවයුතු බව සරලව අපට පෙනී යන්නකි. එහෙත් දණ්ඩනීති සංග්‍රහයේ සියවැනි වගන්තියට අනුව අපරාධයට අනුබල දීම කුමන්ත්‍රණයට පෙළඹවීම, සිතාමතා ආධාර දීම යන කරුණුවලින් එකක් හෝ කවුරැන් හෝ කර ඇත්නම් එය වරදකි. එවන් විටක සාක්ෂි තිබේ නම් දණ්ඩනීති සංග්‍රහයේ එකසිය දෙවැනි වගන්තිය යටතේ ලබා දිය හැකි එකම දඬුවම එල්ලුම් ගසය. නමුත් සියල්ල තීරණය වන්නේ පොලිස් පරීක්ෂණ මතය. මෙහිදී මෙම පහරදීමට අදාළ පෙළඹවීම කවුරුත් සිදුකළේ දැයි පොලීසිය විමර්ශන සිදුකර යුතුමය. 
ගොඩ ෆිනෑන්ස් නම් නියාමනය නොවන්නේ ඇයි. එය මෙම සංවාදයේ දී මතුවන තවත් ප්‍රමුඛ ප්‍රශ්නයකි. සුනිල්ගේ වියෝවත් සමඟ රටම ඒ පිළිබඳව කතා කරමින් සිටියි. නමුත් ගොඩ ෆිනෑන්ස් ආයතන තබා මෙරට මහ බැංකුවේ ලියාපදිංචි ආයතන සම්බන්ධව ද මූල්‍ය සමාගම් ද නිසිපරිදි නියාමනය වනවාද යන්න ගැටලු සහගතය. මෙරට ප්‍රමුඛ මූල්‍ය අයතන කිහිපයක් පසුගිය සමයේ අප ඇස් පනාපිට කඩාවැටුණි. ඒ සියල්ල තිබුණේ මහබැංකු නියාමනය යටතේය. නමුත් සිදුවිය යුත්ත නම් ලොකු කුඩා විධිමත් අවිධිමත් මෙරට සමස්ත මූල්‍ය පද්ධතිය මහ බැංකුව නිසි පරිදි නියාමන කිරීමයි. මන්ද මහබැංකුවේ රාජකාරි මුදල් අච්චු ගැසීම පමණක් නොවේ. රටේ අර්ථික සහ මූල්‍ය පද්ධතිය කළමනාකරණය කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ වගකීමයි. ඊට අවශ්‍ය හැකියාවක් මහ බැංකුව සතුව තිබේ ඔවුන්ට ඊට අවශ්‍ය රෙගුලාසි සැකසීම නිත්‍යනුකූල බලයක් ද තිබේ. නමුත් සිදු නොවන්නේ ද එයයි. 

මේ අතර නැවත අවධාරණය කර යුත්තේ මූලික ප්‍රාග්ධනයක් නොමැතිව නැගී සිටීමට වෙර දරණ මහජනතාව වෙනුවෙන් ලීසින් ක්‍රමය අත්‍යවශ්‍ය බවයි. ගැටලු වන්නේ ජනතාව තුළ නිවැරදි තෝරා ගැනීමක් පිළිබඳ අවබෝධයක් නොමැති වීමයි. අප කොතරම් කතා කළද මෙරට මහජනයා තුළ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම අල්පය. උදාහරණ ලෙස පිළිගත් ලීසින් ආයතනයක විශාල ගොඩනැගිල්ලකට ගොස් ගනුදෙනු කිරීමට තවමත් මෙරට සාමාන්‍ය ජනයා තුළ බියක් පවතී. එහෙත් මෙම ක්ෂේත්‍රයේ තිබෙන තරගය හේතුවෙන් පාරිභෝගිකයන් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම් ලබා ගත හැකි වාසි රැසක් තිබේ. වැදගත් තමන්ට හානිකර නොවන ආයතන තෝරාගැනීම ජනතාවට අවශ්‍ය දැනුම් සම්පාදන කිරීමේ අවශ්‍යතාව අවසානයේදී අප අවධානය කළ යුතුය. සුනිල් ජයවර්ධනගේ මරණයට යුක්තිය ඉටුකරන අතරේම සිදුකළ යුතු වැදගත්ම රාජකාරිය එයයි. 

සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා