
ශ්‍රී දළදා වහන්සේගේ ඓශ්චර්යමත් හාස්කමක් අතීත රජ දවසේ සිට මේ දක්වා පවතියි. ඒ පිළිබඳව මැනවින් අධ්‍යයනය කළ විට එයට ඕනෑ තරම් නිදසුන් පවතියි. ශ්‍රී දළදා සමිඳුන්ට දක්වන විශේෂිත වූ පූජෝපහාර දැක්ම ආරම්භ වූයේ මෙරට රජ කළ රජවරැන්ගේ සමයේ සිටය.
නැකැත් චාරිත්‍ර අනුව දෙවියන්ට පින් දීමෙන් මහනුවර ඇසළ පෙරහර චිරාත් කාලයක් ජනීජනයාගේ හිතසුව පිණිස ඔවුනට ආශීර්වාද ලබාගත හැකි පරිදි වීථි සංචාරය කෙරිණි. මෙරට රාජ්‍ය පාලන කටයුතු දැරෑ අතීත මහා රජවරැන් පවා දළදා පෙරහරට දැක්වූයේ අති දැවැන්ත අනුග්‍රහයකි.
හෙළ රාජවංශික පෙළපත අවසන් වී ශ්‍රී ලංකා වාසීන්ගේ අසමගිය හා පිල් බෙදීම නිසාම අධිරාජ්‍යවාදී ඉංග්‍රීසි පාලකයන්ට ශ්‍රී ලංකාවේ පාලනය හිමිවුවද එදා ඉංග්‍රීසින් පවා ශ්‍රී දළදා වහන්සේට ගෞරව බුහුමන් දක්වා හෙළ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වූ මහනුවර ඇසළ පෙරහර පවත්වන්නට අවසරය ලබා දී තිබේ. ඒ බැව් අතීත ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
එනමුදු කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පූජෝපහාරයක් ලෙස පවත්වන්නා වූ දළදා පෙරහර කුමන බාධක අභියෝග එල්ල වුවද පවත්වාගෙන යන්නට රාජ්‍ය පාලකයන් අනුග්‍රහය දක්වා තිබේ
මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයන්හි මහා විහාර දෙකෙහි මහානායක හිමිවරුන්ගේත් ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය හිමි දියවඩන නිලමේතුමන්ගේත් අනෙකුත් බස්නායක නිලමේවරැන්ගේත් නොමඳ සහාය මත දළදා පෙරහර පවත්වන්නට කටයුතු යෙදිණි. රටේ ඉතා අසීරැ අවදානම් අවස්ථාවලදී වුවද දළදා සමිඳුන් උදෙසා නිසි කලට පවත්වන දළදා පෙරහර නතර කරවීමට කිසිවෙක් පියවර නොගත්හ. පසුගිය වකවානු තුළ මෙරට පැවති විවිධ දුෂ්කර භීෂණකාරී අවධියේදී පවා චාරිත්‍රානුකූලව රටට ආශීර්වාද පවත්වා දළදා පෙරහර පවත්වනු ලැබීය. ඇතැම් වකවානු සමයේ මහජනතාව නොමැතිව පෙරහර පවත්වා තිබේ.
එනමුදු අවාසනාවකට මෙන් ගෝලීය වෛරස් වසංගත රෝග ව්‍යාප්තිය සමඟ ලොව පුරා රටවල් එම වසංගත රෝගයට ගොදුරු වන විට මිනිසුන් ලක්ෂ ගණනින් මරණයට පත්වන විට, මිනිස් සමූහයන් ඒකරාශී කරවන විවිධ ආගමික උත්සව, ආගමික පෙරහර පැවැත්වීම ඒවාට මිනිසුන් සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් මත විවිධ කොන්දේසි පැනවීමට ද රටේ පාලකයන්ට සිදුවිය.

එය එසේ වුවද කෝවිඩ්-19 වෛරස් වසංගත රෝගය ශ්‍රී ලංකාව තුළද ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත වී ආසාධිත රෝගීන් සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් මරණ සංඛ්‍යාව 11 දක්වා වර්ධනය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලු අංශ කඩාවැටී පසුබෑමකට ලක්විය. ලාංකීය බෞද්ධ ජනතාවගේ සියලු ආගමික කටයුතු සිදුකෙරෙන ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන බැතිමතුන්ගෙන් තොර වී ජනශූන්‍ය ස්ථාන බවට පත්විය.
පොසොන් සමයේ ද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සම්ප්‍රදායිකව චාරිත්‍රානුකූලව අලි ඇතුන් සහ පොසොන් පෙරහරක් පවත්වනු ලැබීය. එය ද ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී දළදා මාලිගාවේ ගජනායක නිලමේ කාරිය කරවන කෝරාළ, නර්තන ශිල්පීන්, බෙර වැයුම් ශිල්පීන් සහ පෙරහර සධාතුක කරඬුව රුගත් හස්තීන්ගෙන් සමන්විතව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ පවත්වනු ලැබීය.
පවතින කෝවිඩ්-19 වෛරස් වසංගත රෝග තත්ත්වය ව්‍යාප්ත වීමත් සමඟ මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහර ද ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව පවත්වන්නට සෞඛ්‍ය අංශ හා රජය විසින් උපදෙස් ලබා දී තිබේ. එම උපදෙස් මත ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පුරාණ චාරිත්‍රානුකූලව වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහර ද මෙවර ජූලි මාසයේ ආරම්භ කෙරෙයි.
ජූලි මස 20 වැනි දින ඇසළ මහා පෙරහරට චාරිත්‍රානුකූලව සුබ නැකැතින් කප් සිටුවීම මහනුවර ඓතිහාසික සතරමහා දේවාල (ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී නාථ සහ ශ්‍රී පත්තිනි) කේන්ද්‍ර කොටගනිමින් සිදු කෙරෙයි. එම අවස්ථාවට ද පෙරහර සම්බන්ධ වන ප්‍රධාන නිලමේවරැන් හා දේවාල ආවතේවකරැවන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී කරවාගනු ලබන්නේ රට තුළ පවත්නා අනාරක්ෂිත සෞඛ්‍ය තත්ත්වය නිසා බව පෙරහර කටයුතුවලට සම්බන්ධ බොහෝ දෙනෙක් පැවැසූහ.
මෙවර මහජනතාවගෙන් තොරව මහනුවර ඇසළ පෙරහර පැවැත්වීම සිදුවුවද පෙරහරේ සියලු පුරාණ චාරිත්‍ර විධි සිදුකිරීම සම්බන්ධයෙන් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කරැණු විස්තර කරමින් මෙසේ කීය.
කිසිම දවසක මහනුවර ඇසළ පෙරහර පැවැත්වීම අත්හිටුවා නැහැ. රට තුළ සිදු වූ මෙම භයානක වසංගත රෝග ව්‍යාප්තිය නිසා රටේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවධානය යොමුකර ලක්ෂ සංඛ්‍යාත මහජන එක්රුස් වීමකින් තොරව මෙවර මහනුවර ඇසළ පෙරහර පවත්වනවා.
වෙනත් පෙරහරවල්වල මෙන් අලි ඇතුන් 100 ක් යොදවන්නේ නැති වුවත් සම්ප්‍රදායික අන්දමට පෙරහරේ අලි ඇතුන් දර්ශනීය අලි ඇඳුම් සහිතව ගමන් කරනු ලබනවා.
මහජනතාවට පෙරහර බැලීමට මහනුවර නගරයට එක්රොක් වීමට අවස්ථාව නොලැබුණත් මහනුවර ඇසළ පෙරහර සජීවීව රෑපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජජාලා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. විදේශීය රටවල සිටින්නන්ටත් අන්තර්ජාලය ඔස්සේ මහනුවර ඇසළ පෙරහර දැකබලාගත හැකියි.
සතරමහා දේවාලවල බස්නායක නිලමේවරැන්, පිටිසරබද දේවාලවල බස්නායක නිලමේවරුන් මෙවර පෙරහරේ වෙනදා වගේම ගමන් කරනු ලබනවා. පෙරහරේ ඉපැරණි චාරිත්‍ර ඒ ලෙසම ඉටු කරමින් දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන පෙරහර පූජා මංගල්‍ය සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.
පෙරහර ගමන්ගන්නා වීථිවල ආරක්ෂක කටයුතු පෙර පරිදිම සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කෙරෙමින් තමයි මෙවර පෙරහර වීථි සංචාරය කිරීම සිදුවන්නේ.
ගමන් කරන මාර්ග කෙටි කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදුවන්නේ නැහැ. පෙරහර පැවැත්වෙන දින 10 දළදා සමිඳුන්ගේ ආශීර්වාදය සමස්ත රටටම ලැබෙන පරිදි මෙවර පෙරහර පැවැත්වීමට සියලු සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරනු ලබනවා.
නර්තන ශිල්පීන්ගේ අඩුවක් නොතබා මහනුවර ඇසළ පෙරහර රටට ආශීර්වාද පතා පැවැත්වීමට සැමගේ සහාය අපේක්ෂා කරන බවද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.
පොලීසිය, සියලු ආරක්ෂක සේවා, බුද්ධි අංශවල පොලිස්, යුද, ගුවන්, නාවික, සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් ද, සෞඛ්‍ය අංශ සියලු ක්ෂේත්‍රයන් නියෝජනය කරනු ලබන නිලධාරීන් ද මෙවර පෙරහර වෙනුවෙන් සිය විශේෂ වූ සේවා දායකත්වය වෙනදා පවත්වන ඇසළ පෙරහරට වඩා ලබා දෙන්නේ රට තුළ මේ වන විටත් ව්‍යාප්ත වන කෝවිඩ්-19 වෛරස් වසංගත රෝග තත්ත්වය නිසාය.
විදේශීය සංචාරකයන් හා දේශීය සංචාරකයන් පෙරහර ගමන්ගන්නා මගෙහි තිබෙන හෝටල් හා වෙනත් ආගන්තුක නිවාසවල රුඳී සෞඛ්‍ය ආරක්ෂිතව පෙරහර නරඹන්නේ නම් එයට කිසිදු බාධාවක් ඇති නොකිරීමට ද රජය විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගෙන් මෙවර පෙරහර කටයුතු සංවිධානය පිළිබඳව විමසීමේදී පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ රට තුළ පවතින කෝවිඩ් වෛරස් වසංගත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් රජයේ සහ සෞඛ්‍ය අංශ උපදෙස් මත මෙවර ඇසළ පෙරහර චාරිත්‍ර අනුව පෙරහර පැවැත්වීමට අදාළ රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලබාදෙන බවයි.
දැනටමත් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමේ කාර්යය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට ශ්‍රී දළදා මාලිගාව කටයුතු කර තිබෙන බව නිලංග දෑල මහතා පැවසීය.
ජේ.ඒ.එල්. ජයසිංහ