
මේ දවස්වල වැඩිම කතාබහ පාතාලය ගැනය. පාතාල මර්දන ඒකක රටපුරා පීරමින් පාතාලයෝ සොයති. මෙතුවක් කල් කතාබහක් නැති පාතාලයන් ගැන කතා සිද්ධි බොහෝය. ඒ නිසා පාතාලයේ රහස් වැඩ රැසක් මේ වනවිට ආරක්ෂක අංශය සතුය.
මේ සියලු කතා හෙළිවන්නේ මොරටුව ප්‍රදේශයේ හෝටලයකින් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සමගය. ගෝනාකෝවිල අංජු සහ ධර්මසිරි යන අය විසින් සිදුකරන ලද මෙම කප්පම් ඉල්ලීමේ සිද්ධියත් සමඟ පාතාල මර්දනය ආරම්භ විය. ඒ අනුව ගෝනාකෝවිල රාජා දැනට සති දෙකකට පෙර පොලිස් වෙඩි පහරින් මිය ගියේය. මේ සියල්ල මැද පොලීසිය විසින් මෙම කල්ලිය ගැන සෙවීම ආරම්භ කළ අතර එහිදී එක්තරා සැකකරුවකු මැයි 22 වැනිදා බස්නාහිර පළාත දකුණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ගල්කිස්සේ පදිංචි ප්‍රභාත් (32) නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නේ හෙරොයින් ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක්ද සමඟය. පසුව අනාවරණය වුණේ මොහු ඩුබායිහි සැඟව සිටින ධර්මසිරිගේ ගෝලයෙකු බව කියාය. ඔහු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවත් ඒ හරහා ලැබෙන මුදල දෛනිකව බෝකුන්දර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට තැන්පත් කරන බව මෙහිදී අනාවරණය විය.
පසුව විමර්ශනයෙදී අනාවරණය වුණේ එම ගිණුම ගයාන් නැමැති පිළියන්දල ප්‍රදේශයේ අයකුට හිමිකම් කියන බවය. ඒ පිළිබඳව වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී හෙළිවුණේ එම ගිණුම 2018 වසරේ දෙසැම්බර් 29 ආරම්භ කළ එකක් බවය. පසුව ඔහුවද අත්අඩංගුවට ගන්නා අතර එම බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී එම බැංකු ගිණුම තුළ පමණක් 490,091,637.20 (හාරකෝටි අනු ලක්ෂයක) මුදලක් සංසරණය වී ඇති බව හෙළිවිය. වැඩිදුර සොයා බැලීමේදී එම ගිණුම අක්‍රිය කර ඇති අතර එසේ අක්‍රිය කරන විටත් ලක්ෂ හතකට අධික මුදලක් තිබී ඇති බව අනාවරණය විය. ඒ අනුව එම ගිණුම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණය කරමින් සිටින බව සඳහන්ය.
මීට අමතරව තවත් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ධර්මසිරි විසින් කාන්තාවක් වෙත මුදල් තැන්පත් කරන බවය. දමයන්ති නැමති මෙම කාන්තාව කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට මුදල් තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්වූවාය.
ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ධර්මසිරි විසින් එම ගිණුමට ජූනි 06 වැනිදා ලක්ෂ 20ක මුදලක් තැන්පත් කර ඇත. පසුව එම මුදලින් ලක්ෂ හතරක් තවත් පෞද්ගලික බැංකුවකට දමා ඇති අතර, තවත් 25000ක් ඇයගේ පුතාට ලබාදුන් බව අනාවරණය වී ඇත. ඒ සියල්ලම කුඩු සල්ලිය. එකී පරීක්ෂණයට තවත් කාන්තාවක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු අතර ඇය සන්තකයේද බැංකුව කිහිපයකට අයත් බැංකු පොත් තිබී ඇත.
ඒ අනුව මොරටු පාතාලයේ ධර්මසිරිගේ කුඩු ජාවාරම ජයට රහසිගතව සිදුවී ඇති බව මේ සියල්ල සමඟ අනාවරණය වෙයි. ඒ කුඩු ජාවාරමෙන් කෝටි ගණන් ආදායම් ලබන අතරේය.
මීට අමතරව කංජිපානි විසින්ද ගිණුම් රැසක් පවත්වාගෙන ගොස් ඇති බව මේ වන විට අනාවරණය වී ඇත. ඔහුද ගිණුම් හරහා මිලියන ගණනින් මුදල් එහා මෙහා කර ඇති බව සඳහන්ය. එහෙත් පුදුමය නම් ලක්ෂ දෙකක මුදලක් රැගෙන බැංකුවේ තැන්පත් කිරීමට සාමාන්‍ය පුද්ගලයකු පැමිණි විට බැංකු නිලධාරීන් අසන ප්‍රශ්න වැලක් තිබුණත් එකී ප්‍රශ්න මොවුන්ට අමතක වූවාද යන්නයි. එහි ප්‍රශ්නයක් මෙන්ම සැකයක් ඇත. මේ තරම් මුදල් සංසරණය වනවිටත් බැංකු මුනිවත රැකගෙන සිටීම පුදුමයකි. එහෙත් මේ නිදහස දුප්පත් මිනිහාට නැත.
මේ අතර පාතාලයේ ගැටුම් උග්‍ර වෙමින් කංජිපානි ඉම්රාන්ගේ පියාට පසුගිය 17 වැනිදා මන්නා ප්‍රහාරයක් එල්ල විය. ඒ සිව්දෙනෙකු අතිනි. කෙසේ වෙතත් මේ ප්‍රහාරය ඉන්දියාවේ සිට ලැබුණු කොන්ත්‍රාත්තුවක් අනුව එල්ලකරන ලද බව පසුව ආරංචි විය. ඒ ඉන්දියාවේ සිටින කුඩු ජාවාරම්කරුවකු වන පූකුඩි ඛන්නාගේ කොන්ත්‍රාත්තුවකි. මේ ප්‍රහාරයට හේතුව ඛන්නාගේ පියා ඝාතනයට කංජිපානි සම්බන්ධ වීම බව සඳහන් වේ.
මීට අමතරව පාතාල මර්දන ඒකක විසින් ගම්පහ පාතාලයේ වෙඩික්කරුවකු සම්බන්ධයෙන් තොරතුරැ රුසක් අනාවරණය කරගෙන ඇත. මාකිලංගමුවේ සංජීවගේ ගෝලයකු වන මොහු දිනේෂ්ය. දිනේෂ් යනු මොරටුව පාතාලයේ අංජුගේ සොහොයුරා වන ලංසියා ඝාතනයට සම්බන්ධ අයෙකි. එහෙත් මේ ඝාතනයට වෙනත් දෙදෙනකු ඉදිරිපත්වී ඇති බවත් සැබවින්ම මෙම ඝාතනය සිදුකළේ ගෝනාකෝවිල රොහාගේ කොන්ත්‍රාතුවකට අනුව මාකිලංගමුවේ සංජීව විසින් බව අනාවරණය වී ඇත. එම ප්‍රහාරයට ගොස් ඇත්තේ මේ දිනේෂ් බව අනාවරණය වී තිබේ.
මීට අමතරව ඝාතන රැසක් සිදුකිරීමට පිඹුරුපත් සැකසූ ස්ථානයක් සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වී ඇත. මාවරමණ්ඩිය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකුගේ නිවසක් බව අනවරණය කරගෙන ඇත. දෙමටගොඩ චමින්ද ගමන්ගත් බස්රථයට වෙඩිතබා ප්‍රතිප්‍රහාරවලින් තුවාල වූ නිලන්තව රහසිගතව සඟවා ගෙන ප්‍රතිකාර ලබාදී ඇත්තේ එම නිවස තුළය. එසේම අමුණුගොඩ සංජීව විසින් සිදුකළ කාන්තා ඝාතනයකට එම ස්ථානයේ පිඹුරුපත් සකසා ඇත.
මේ වනවිට සංජීව බූවල්ලෙකු මෙන් පාතාලයත්, එල්ටීටීඊ සංවිධානයත් අතර ගනුදෙනු කරමින් සිටින බව අනාවරණය වී ඇත. පොඩි ලැසී, කොස්ගොඩ තාරක එක් පැත්තකින්ය. එක් පැත්තකින් අමුණුගොඩ සංජීව සහ ගොනාකෝවිලේ රොහාය. තවත් පැත්තකින් එල්ටිටීඊයේ හිටපු සමාජිකයන්ය. මේ සියල්ල එකතු කරගනිමින් සංජීව ඇතුළට වී අපරාධ සඳහා අණ දෙමින් සිටී. ඇප ලැබුණත් එන්නේද නැත. සංජීව කවදා හෝ එන්නේ සංජීවගේ එකම හීනය වන ගම්පහ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ උත්සාහය සාර්ථක වූ දිනකය. එතෙක් සංජීව හැංගි හොරා සෙල්ලම් දමමින් ජීවත් වනු ඇත.
I ගයාන් ගාල්ලගේ