2020 ජුනි 20 වන සෙනසුරාදා

වයස 5ක දැරියක් මහණකමට මෙහෙම වෙන්න පුළුවන්?

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 290

කුඩා දැරියක පැවිදි බිමට ඇතුළත් වන ජායාරෑපයක් පසුගිය සතියේ සාමාජ මාධ්‍ය කැළඹුවේය. එම ජායාරූපයට අනුව පැවිදි බිමට ඇතුළු වූ එම දැරියගේ වයස යාන්තමට අවුරුදු පහකට ආසන්න විය යුතුය. මෙම ජයාරූප ගෙන තිබුණේ ස්කයිෆෝල් ෆොටෝග්‍රැෆි (SkyFall Photography) නම් අයතන ඡායාරූප ශිල්පියෙකි. අප මෙම කතාවේ අක්මුල් විමසීමට තීරණය කළෙමු. ඒ අනුව අදාළ ජායාරෑපයේ හිමිකරුවන් සොයා  පළමුව ඔවුන් සමඟ සංවාදයේ යෙදුණුමු.

ඒ අනුව මෙම උත්සවය පැවැත්වී ඇත්තේ පසුගිය මස 28 බ්‍රහස්පතින්දාය. ස්ථානය හොරණ දෙකඳවල ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකි. අදාළ ජායාරූප ශිල්පීන්ට එම උත්සවය ආවරණය කිරීම වෙනුවෙන් හිතවතකු වෙතින් ආරාධනයක් ලැබී ඇත. ඒ අනුව ඔවුන් එම ස්ථානයට ගොස් සිය කටයුත්ත නිසි පරිදි සිදුකර දී ඇත. පසුව අදාළ ජායාරෑප ජුනි 15 වනදා සිය ෆේස්බුක් පිටුව මගින් මුදාහැර තිබේ. පසුගිය සතියේ සමාජ මාධ්‍ය තුළ අතිශය වේගෙන් පැතිර ගියේ එම ජායාරූපයි. මෙම අවස්ථාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව පවැත්වූ බවත් දරුවන් පැවිදි කිරීම සම්බන්ධව කිසිදු විරෝධයක් එම ස්ථානයේ එල්ල නොවූ බවත් අදාළ ජායාරූප ශිල්පීහූ පෙන්වා දෙති.

එහෙත් මෙම ජායාරූප මතින් ගොඩනැගුණු සංවාද අතිශය බරපතළය. මෙතරම් කුඩා දැරිවියක් පැවිදි කරවීම ළමා හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට විශාල පිරිසක් තර්ක කරන්නට වූහ. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අදහස් අතරින් මෙම සිදුවීම අන්දෝලනාත්මක වීමට බලපෑවේ හිටපු ඇමති මංගල සමරවීර මහතාගේ ප්‍රකාශයයි. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි. ඊට අනුව කියවුණේ කුඩා ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් පැවිදි කරවීම කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් සහ තලිබාන්වරුන්ගේ ළමා මනාළියන් බිහිකිරීම තරමටම කම්පනයක් ඇති කළ සිදුවීමක් බවයි. එසේම මේ හරහා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වන බවත් එම සටහනේ දැක්වා තිබුණි.
මීට අමතර පළ වී තිබූ සමජ මාධ්‍ය විරෝධතා කිහිපයක් මෙසේය.

තේරෙන කෙනෙක් මට කියලා දෙනවද මේකෙයි, ළමා විවාහයකයි වෙනස?

- සිතුමිණි රත්නමල්ල

ළමා විවාහ තහනම් කරපන් කියල කෑ මොර දීපු අහිංසක බවලතියක් “සසර ගමනින් එතෙර වන්නට වාසනාව ලැබේවා දුවේ” කියලා මේ ෆොටෝ එක ශෙයාර් කරලා තිබුණා දැක්කා.
මටනම් ඔය අවස්ථා දෙකම දරුණු ගනයේ ළමා අපයෝජන

- සුජිත් අන්නමලේ

අනිවාර්යයෙන් මේවා ළමා අපරාධ. දෙමාපියන්ට ඕන ඕන විදිහට ළමයින්ගේ ජීවිතවල මේ වගේ තීරණ ගන්න බෑ. ළමයි කියන්නේ දෙමාපියන්ගේ ඇස්ට් එකක් නෙමේ! පොඩි දරුවෙක්ව මහණ කරාම හතර වරිගෙම නිවන් යනවා කියන එකට අමතරව, හැබැයි ඒ මහණ කරපු දරුවා උපසම්පදා වෙන්න කලින් එක දවසක් හරි දුකකින් කරදරයකින් හිටියොත් හතර වරිගෙම අවීචි මහා නරකාදියට යනවා” කියලා ක්ලෝස් එකකුත් දාලා තිබ්බා නම් කොයි වගේ තත්ත්වයක් තියෙයිද?

- සුභාෂ් ගුණවර්ධන

මේ අතර අපි මෙම සිදුවීමට අදාළ පාර්ශ්ව සම්බන්ධව කර ගැනීමට උත්සහ කළෙමු. ඒ අනුව මෙම ආරාමයට කිරම විමලජෝති හිමියන්ගේ සමීප සම්බන්ධයක් ඇතැයි අපට දැනගන්නට ලැබුණි. අප උන්වහන්සේ ඇමතූ අතර හිමියන් මෙම අවස්ථාවට සම්බන්ධව සිටි බවට තොරතුරැ අනාවරණය විය. කෙසේ වෙතත් අදාළ දරුවාගේ පෞද්ගලික විස්තර හෙළි කිරීම සුදුසු නොවන බව ඒ හිමියන්ගේ අදහස විය. නමුත් මේ දැරිවිය කාලක් තිස්සේ මෙම ආරාමයයේ වාසය කළ බවට අපට දැනගන්නට ලැබුණි. ඈ නිරන්තරයෙන් පැවිදි විය යුතු බවට අඬමින් ඇවිටිලි කළ නිසා ලොකු මෙහෙණින් වහසේලා ඇය පැවිදි කිරීමේ තීරණයට එළඹි බව දැනගන්නට ලැබුණි.

කිරම විමලජෝති හිමියන් පවසා සිටියේ මෙම දරුවා පැවිදි කිරීමට මුලදී අදහසක් නොවූ බවයි. ඇගේ දැඩි ඉල්ලීම මත මෙම කටයුත්ත සිදුකර අනාගතයේ ඇයට සිදුවිය හැකි අපහසුතා තකා පෞද්ගලික තොරතුරු පවුල් පසුබිම අනාවරණය කිරීම සුදුසු නොවන බව හිමියන් අපහට අවධාරණය කර සිටියහ. කෙසේ වෙතත් ඉතා කුඩා දරුවන් පැවිදි කිරීම තමන් වහන්සේ සිදු නොකරන බවත් දරුවකුට යමක් තේරැම් ගත හැකි වයසේදී පැවිදි කිරීම් සිදුකළ යුතු බවත් ඒ හිමියෝ මෙහිදී පැහැදිළි කළහ. කෙසේ වෙතත් ශාසන ඉතිහාසයට අනුව රාහුල කුමාරයාගේ සිට බලන විට අවුරුදු හතක දරුවෙකුට වුවද සෝවාන් මාර්ග ඵලයට ළඟා විය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ. වර්තමාන සිදුවීම පිළිබඳ නම් බොහෝ දෙනා තර්ක ගොඩනගන්නේ කරුණු කාරණා නොදැන බව මෙහිදී කිරම විමලජෝති හිමි අවධාරණය කළහ.

අපි මෙම සිදුවීම සම්බන්ධ හෑගොඩ විපස්සී හිමියන්ගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට කටයුතු කළෙමු. උන්වහන්සේට අනුව මෙරට භික්ෂුණී සාසනයක් නොපවතී. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඒ බව ඉතා පැහැදිලිව දක්වා ඇත. ඇතැම් භික්ෂූන්ගේ මැදිහත් වීමෙන් මෙරට භික්ෂුණී සාසනයක් ඇති කිරීමට දරන උත්සාහය ප්‍රායෝගික නැති බවද මෙහිදී අවධාරණය විය. එම නිසාම මෙම දැරිවිය මෙහෙණි සසුනට අතුළත් කිරීමක් ලෙස දැක්වීම ද සුදුසු නොවන බව විපස්සී හිමියෝ පෙන්වා දුන්හ. නමුත් මංගල සමරවීර වැනි අයගේ විරෝධතාවන් නොතැකිය යුතු බවත් ඔවුන් ශාසනය කෙරෙහි වෛරයෙන් මෙවන් ප්‍රකාශ සිදුකරන බවත් හෑගොඩ හිමියෝ පැවසූහ.

මේ අතර අපි පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුට ඇමතුවෙමු. මෙරට දරුවන් සම්බන්ධව සංවේදී වන ප්‍රධානතම ආයතනය එයයි. එහෙත් මෙම සිදුවීම සම්බන්ධව ඔවුනට නිසි අවබෝධක් නොතිබුණි. කෙසේ වෙතත් කුඩා දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ එම දරුවන්ගේ කැමත්ත සහිතව පැවිදි කිරීමට විරෝධයක් දැක්වීමට ප්‍රතිපාදන නොමැති බව දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක අප සමඟ පැවසුවේය. යම් දරුවකුගේ හිමිකම් කඩවන්නේ නම් ඊට එරෙහිව කටයුතු කළ හැකි බව එහිදී පැහැදිළි කෙරිණි. උදාහරණ ලෙස යම් දරුවෙකු පිරිවෙන් හෝ පාසල් අධ්‍යාපනයට යොමු නොකරන්නේනම්, අඩම්තේට්ටම්වලට ලක්වන්නේ නම් ඒ සම්බන්ධව මෙම දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක විය හැකිය.

මෙම සිදුවීම පිළිබඳව තවදුරත්  කරුණු විමසීමට අපි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වන සුනන්ද කාරියප්පෙරුම මහතා ද සම්බන්ධ කර ගතිමු. ඒ මහතාට ද අදාළ සිදුවීම සම්බන්ධව නිසි අවබෝධයක් නොවීය. එහෙත් ඒ මහතා පෙන්වා දුන්නේ පැවිදි කිරීම සම්බන්ධව නිශ්චිතව වයස් සීමාවක් නොමැති බවයි. නමුත් සාම්ප්‍රදායක් ලෙස යමක් අවබෝධ කරගත හැකි වයසේ දරුවන් පැවිදි බිමට අතුළත් කිරීම සිදුවන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. තවද මෙය ශාසනික කාරණාවක් නිසාවෙන් භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කළ යුතු බව ද ඒ මහතා පැවසීය. මෙහිදී මෙහෙණි සසුන පිළිබඳව ද අපි ඔහුගෙන් විමසා සිටියෙමු.

එහිදී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායන්හි  නිකාය පාර්ශ්ව 31ක් ඇති බවය. මෙරට තුළ හික්ෂුණී සාසනය පිළිගෙන ඇත්තේ ඉන් එක් මහා නායක හිමිනමක් පමණි. එම නිසා භික්ෂුණී සසුන පිළිබඳ රාජ්‍ය පිළිගැනීමක් අමාත්‍යංශ මට්ටමෙන් සිදු කර නැත. නමුත් දසසිල් මාතාවන් ලියාපදිංචි කිරීම බුද්ධසාසන අමාත්‍යාංශ හරහා සිදුවෙයි. කෙසේ නමුත් එහිදී ද පැවිදි බිමට ඇතුළු කිරීමට නිශ්චිතව වයසක් දක්වා නැත. දැරිවිය පැවිදි කිරීම සම්බන්ධව නෛතික ක්‍රියාත්මක වීමකට ඇති ඉඩකඩ මේ හරහා ප්‍රශ්නසහගත වේ.

අවසානයේ සඳහන් කළ යුත්තේ මෙම සිදුවීම සම්බන්ධව මතුවන ද්වීපාර්ශ්වීය මතවාද කිසිසේත්ම බැහර කළ නොහැකි බවයි. ළමයකු අවම වශ‍ෙයන් අවුරුදු 10ක සීමා ඉක්මවනතුරුවත් සමාජ අවබෝධයක් ලබා ගන්නේ නැත. එම නිසා මෙවන් පැවිදි කිරීම්වල අර්ථය ප්‍රශ්නසහගතය. ධර්මානුකූලව ගත්ත ද බුදුදහම ඇත්තේ අවබෝධය පිණිසය. ඒ නිසාම මෙවන් කරුණු ගැන පිට සමාජයට පෙර සාසනික සමාජය සංවේදී වී නිසි ක්‍රියාමාර්ග ගැනීම වටියි.


- චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05