2020 ජුනි 20 වන සෙනසුරාදා

කොම්පියුටරෙන් බී.එම්.ඩබ්ලිව් විකුණා සල්ලි ගැරූ ඉංජිනේරුවා

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

සෙවිලි තහඩු නිපදවන කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක බැංකු ගිණුමක් ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක කුරුණෑගල ශාඛාවේ පවත්වාගෙන ගොස් තිබිණ. අදාළ ගිණුමෙන් රුපියල් ලක්ෂ පහළවක වංචාවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ල විමර්ශනයේදී දින 14ක් ඇතුළත සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සිය පරිගණක හැකියාව භාවිතයෙන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන රැසකට අයත් ගිණුම්වලින් රහසිගතව මුදල් වංචාකොට ඇතැයි අනාවරණය වී තිබිණ. මේ සටහන් තැබුවේ මීට දෙසතියකට පමණ ඉහතදී වැහැර පිහිටි කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයක් පිළිබඳවය.

දින කිහිපයකට පසුව කුුරණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි කාන්තාවකි. ඇය කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දවසක් මට කෝල් එකක් ආවා. මම භාවිත කරන ජංගම දුරකථන ජාලය හරහා අහඹු ලෙස මගේ අංකය තෝරාගත්තා කීවා. එංගලන්තයේ තියෙන ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන ආයතනයක විසිවැනි සංවත්සරයට සමගාමීව විශේෂ ලොතරුයියකට මගේ දුරකථන අංකය තෝරාගත්තාලු. දිනුම් ඇදීමෙන් මට පළවැනි ත්‍යාගය විදිහට රැපියල් ලක්ෂ 220ක් වටිනා බී.එම්.ඩබ්ලිව් රථයක් ඇදුණු බව කීවා. ඒකට මගේ පෞද්ගලික විස්තර ඉල්ලා ගත්තා. රෙජිස්ටර් වෙන්න රුපියල් 98,700ක් ගිණුමට දාන්න කීවා. ඊටපස්සේ අවස්ථාව දෙකකදී 37,10000ක් දැම්මා. තවත් ඉල්ලුවට මට දෙන්න සල්ලි නෑ. මේ ගැන දැන් මට සැකයි

මැය මෙසේ විස්තර කරමින් කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.ආර්. කුලතුංග මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කළාය.
පොලිස් පරීක්ෂක කුලතුංග මෙසේ පැවසුවේය.

පැමිණිලිකාරියගේ ජංගම දුරකථනය හා බාහිර පාර්ශවයක් සම්බන්ධ වෙලා තිබුණා. විශේෂයෙන් වට්ස්ඇප්, වයිබර්, ඉමෝ වැනි අන්තර්ජාල සබඳතා ඔස්සේ අදහස් හා ලේඛන හුවමාරැ කරගෙන තිබෙනවා. මෙරට සහ විදේශීය සමාගම් දෙකක් ඒකාබද්ධ දිනුම් ඇදීමක් සිදුකරන බවත් පැමිණිලිකාරිය ජයග්‍රහණය කර ඇති බවත් කියා තිබුණා. පස්සේ අවස්ථා කිහිපයකදී ලියාපදිංචියට, ලියකියවිලිවලට, ප්‍රවාහනයට ආදී වශයෙන් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා තිබෙනවා. පුළුවන් තරම් මුදල් ලබාදීලා අවසානයේ ගෙවන්න නැති වුණාම ඔවුන්ගේ බලකිරීම ගැන සැක හිතලා පොලීසියට පැමිණිලි කළේ.

දිනුම් ඇදීමේදී මෝටර් රථයක් හිමිව තිබෙන බවටත් එය ලබාදීමට යැයි කියමින් පෞද්ගලික විස්තර රාශියක් ඉල්ලා ගැනීමට අදාළ පාර්ශ්වය කටයුතු කර ඇත. එහි පළමු අදියර වශයෙන් ලියකියවිලි සම්පාදනය සඳහා තොරතුරු ලබාගෙන එම තොරතුරු ඇතුළත් ලේඛන පිටපත් අන්තර්ජාලය හරහා මෙම කාන්තාවට එවා ඇත. අනතුරුව තරගයේ ලියාපදිංචිය අනිවාර්යය බවත් ඒ සඳහා රු. 98,700ක් අවශ්‍ය බව කියා ඇත. එය මෙරට පෞද්ගලික වාණිජ බැංකුවක තැන්පත් කිරීමට උපදෙස් ලබා දී තිබිණ. පසුව දිගින් දිගටම අදාළ පාර්ශ්වය විසින් මෙම කාන්තාව අමතා විවිධ කරැණුවලින් දැනුම්වත් කර ත්‍යාගය සූදානම්ව ඇති බවත් එය ඔබ වෙනුවෙන් ලබාදීමට රු.410,000ක මුදලක් අවශ්‍ය බව දන්වා තිබිණ. එම මුදල වෙනත් වාණිජ බැංකුවක ගිණුමකට බැර කරවාගෙන තිබෙන අතර එම ගිණුම් යම් ආයතනයක නමකට අයිති නොවන එකක් වීම විශේෂයකි.

දින කිහිපයකට පසුව අදාළ පාර්ශ්වය විසින් පැමිණිලිකාරිය අමතා කියා තිබුණේ ත්‍යාගය සූදානම් බවය. එය එංගලන්තයේ සිට ලංකාවට රැගෙන ඒම සඳහා ප්‍රවාහන ගාස්තු ඇතුළු සෙසු වියදම් වෙනුවෙන් රැපියල් ලක්ෂ 66ක් වියදම් වන බවත් එම මුදල කොටස් දෙකකින් ගෙවීම සිදුකරන ලෙසත් පළමුව ලක්ෂ 33ක් ගිණුමට දැමිය යුතු බවද ප්‍රකාශ කර තිබිණි. දෙවැනි වතාවට ඉතිරි ලක්ෂ 33 ගෙවීමෙන් පසුව මෝටර් රථය ලංකාවේදී ලබාගත හැකි බවද දන්වා තිබිණ. මේ අනුව මෙරට වෙනත් වාණිජ බැංකුවක ගිණුමකට කාන්තාව ලක්ෂ 33ක් තැන්පත් කර තිබිණ. මේ ආකාරයට අවස්ථා තුනකදී ගිණුම් තුනකට මුදල් බාර කිරීම සම්බන්ධයෙන් කාන්තාවට ගැටලුවක් තිබී නැත. අදාළ පාර්ශ්වය විසින් එම මුදල් ලබාගෙන අදාළ ලියකියවිලි අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැමිණිලිකාරියට වරින්වර පෙන්වා තිබුණේ ගනුදෙනුව ඉදිරියටත් සිදුකරන නිසාය.

මේ වනවිට කාන්තාව අත තවත් මුදල් නොතිබුණු නමුත් දිනුම් අදින ලද බව කී පාර්ශ්වය වරින්වර දුරකථන ඇමතුම් ලබා දී ඉතිරි ලක්ෂ 33 ඉල්ලා තිබුණේ දින කිහිපයක් ගතවුණාට පසුවය. මේ අතර මෝටර් රථය නැව්ගත කරන ආකාරය ප්‍රවාහනයට සූදානම් කළ ආකාරය දැක්වෙන ඡායාරූප ද කාන්තාවට එවා තිබිණ. වැඩිදුරටත් බලකරමින් ඉතිරි මුදල අදාළ පිරිස විසින් ඉල්ලා සිටියද පැමිණිලිකාර කාන්තාව සතුව මුදල් තිබී නැත. ඒ බව දැනගත් පෙර කී පාර්ශ්වයෙන් ඇමතූ කාන්තාවක කියා ඇත්තේ විශ්වාසය මත රු.750,000ක් ලබාදිය හැකි බවත් ඉතිරිය සපුරාගන්නා ලෙසත්ය. මෝටර් රථය ලබාගත් පසුව ණය මුදල පියවන ලෙසද කියා ඇත. ඊට එකඟ නොවන කාන්තාව සිදුවීම සම්බන්ධයෙන් සැක සිතා පොලීසියට පැමිණ තිබුණි. අනතුරැව පැමිණිල්ල සටහන් තැබීමෙන් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.ආර්. කුලතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිස විමර්ශන අරඹා තිබිණ.

එහිදී මුදල් බැර කළ ගිණුම් හිමි පුද්ගලයා හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මහනුවර ගුරුදෙණිය ඉලුක්මුදුන ප්‍රදේශයේ සිය නිවසේ සිටියදීය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ පාසල් වියේ මිතුරන් දෙදෙනකු පිළිබඳ කරුණු හෙළිකර තිබිණ. ඔවුන් දෙන්නා සමඟ එක්ව ජාවාරම සිදුකළ බවත් ඉන් කෙනෙක් ජාවාරමේ මහමොළකරු බවද කියා ඇත. මේ තිදෙනා කටුගස්තොට ප්‍රධාන පෙළේ විද්‍යාලයක අධ්‍යාපනය ලබා දැනට පරිගණක මෘදුකාංග ඉංජිනේරැ වශයෙන් කටයුතු කරන පිරිසකි.

ඉන් දෙදෙනෙක් කොළඹ වැල්ලවත්ත පදිංචිව සිටිති. එක් අයකුගේ නමට බැංකු ගිණුම් විවෘත කර ඇත. ඔවුන්ගේ ගිණුම් වෙත ලැබෙන මුදල් ලබාගෙන ප්‍රධාන සැකකරු වෙත ලබාදෙන බව හෙළිවූයේ ඉන් පසුවය. එහි ප්‍රධාන සැකකරු හා ඔහුගේ ගෝලයා පිළිබඳ කරුණු සෙවීමේදී ඔහු ප්‍රධාන පෙළේ ආයතනවල බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ ගණනින් වංචා කිරීමේ චෝදනාවට මීට දෙසතියකට පමණ ඉහතදී අත්අඩංගුවට පත්වූ ස්ටෙෆන් පිලිප් (38) හා මහේල නල්ලපෙරුම (20) යන දෙදෙනා බවට හඳුනා ගැණින.

මොවුන් මීට ඉහතදීද අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්වා දෙන බව කියමින් ජාවාරම් සිදුකර ඇතැයි හෙළි වී තිබේ. සැකකරුවන් ජූනි 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
වයඹ පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත කුරැණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.ආර්. කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂකවරැන් වන ශ්‍රීනාත් පණ්ඩිත හා ආර්. එම්. සෙනෙවිරත්න උප පොලිස් පරීක්ෂක වික්‍රමනායක සැරයන්වරුන් වන නවරත්න (27617) සෙනෙවිරත්න (10950) සහ කොස්තාපල් ලක්මාල් යන අය වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

මෙවැනි වංචාවලට හසු වූ පිරිස් සිටීනම් කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ 037-2229132 දුරකථන අංකයට තොරතුරු ලබාදෙන්නැයි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර