2020 ජුනි 20 වන සෙනසුරාදා

ඇස් පනාපිට කැඩෙන මැතිවරණ නීති

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ඇදි ඇදී තිබූ දින නියම කිරීම අවසානයේ අගෝස්තු 05 දා ලෙස තීන්දු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. මෙවර මහමැතිවරණයට දේශපාලන පක්ෂ 20කින් හා ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයන් 7344ක් තරග කිරීමට නියමිතය. මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සඳහා මනාප අංක පසුගිය සතියේ ලබා දීමත් සමඟ ඔවුන් තම ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.  අතමිට යහමින් ඇති අපේක්ෂකයන් ඒ සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය භාවිත කරනු පෙනේ. ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීමට තවත් පිරිසක් පෙළඹී ඇති අතර තවත් පිරිසක් තම මනාප අංක ප්‍රදර්ශනය කරමින් පෝස්ටර ප්‍රදර්ශනය කිරීමටද පියවර ගෙන තිබේ.

ඡන්ද විමසීම්වලදී එයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ සහ  ස්වාධීන අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් සහිත අති විශේෂ ගැසට් පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි සඳහන්වන අයුරින් තම පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ අපේක්ෂකයන්ගේ හෝ ජයග්‍රහණය පතා හෝ වෙනත් පාර්ශ්වයක් පරාජය කිරීමේ අපේක්ෂාවෙන් මැතිවරණ ප්‍රචාරණ දැන්වීම්, ප්‍රචාරක පුවරු, එයට අදාළ ඡායාරූප, චිත්‍ර යනාදිය අවසර ලත් නිවේදිත කාර්යාලවල හෝ ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන දින රැස්වීම් භූමියේ හෝ හැර මහජනයාට ප්‍රදර්ශනය වන පරිදි රාජ්‍ය හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක, වාසස්ථානයක, හිස් භූමියක හෝ මහජනයාට ප්‍රවේශ වීමට අවසර ඇති මාර්ගවල හෝ පොදු ස්ථානවල නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටිය යුතුය..

බොහෝ අපේක්ෂකයන්ට විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත්වල දැන්වීම් පළ කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට නොහැකිය. ඔවුන්ගේ ප්‍රධාන මෙවලම පෝස්ටරයයි. එහෙත් පෝස්ටර භාවිතය මැතිවරණ නීතිවලට පටහැනිය. එක්තරා අපේක්ෂකයකු සඳහන් කළේ මැතිවරණය සඳහා මුදල් හදල් යහමින් ඇති අය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු සිදු කළද  ගම්මට්ටමේ සිටින තමා වැනි අයට මනාප අංකය ජනතාවට දැන්වීම සඳහා ඇති එකම මාර්ගය පෝස්ටරය බවයි. එහෙත් එය මැතිවරණ නීතියට පටහැනි බැවින් දිස්ත්‍රික්කය පුරා ප්‍රචාරක කටයුතු කිරීම අසීරැ කාර්යයක් වී ඇතැයි ඔහු සඳහන් කළේය.

මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් පසුගිය 17 දින මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී තිබේ. එම සාකච්ඡාවේදී මනාප අංක සහ ඡායාරූප ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන් හා  මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර උණුසුම්  තත්ත්වයක්ද මතු වී තිබේ. මැතිවරණ නීතිරීතිවලට අනුව මනාප අංක ප්‍රදර්ශනය කිරීමේ විශාල අර්බුදයක් පවතින හෙයින් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම කාර්යාලයක් ස්ථාපනය කිරීමට දේශපාලන පක්ෂ නායකයන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති මුත් ඒ සඳහා අවසර හිමිවී නොමැත. සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කර ඇති පරිදි විශාල රැස්වීමකට සහභාගී කරගත හැකි උපරිම සංඛ්‍යාව 500ක් වන අතර දිස්ත්‍රික් රැස්වීමකට සහභාගී කරගත හැක්කේ 300ක් පමණි. කුඩා රැස්වීමකට 100දෙනකු පමණක් සහභාගී කරගත හැකිය. එහෙත් මෙම නිර්දේශ තවමත් ගැසට් කර නොමැත. එහෙයින් පක්ෂ නායකයන් හා ලේකම්වරුන් පවසන්නේ මැතිවරණ කොමිෂම යම් දුරකට නම්‍යශීලි තත්ත්වයක් අනුගමනය කළ යුතු වන බවටය.

මෙවැනි පසුබිමක් යටතේ මැතිවරණ නීතිරීති උල්ලංඝනය වීම නොවැළැක්විය හැකිය. අපේක්ෂකයන් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමට පෙළඹෙන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ,

ශ්‍රී ලංකාවේ වර්තමාන මැතිවරණ ක්‍රමය අනුව ඡන්දය ප්‍රකාශ කෙරෙනුයේ වට දෙකකිනි. පළමුව දේශපාලන පක්ෂයට ඡන්දය ලබා දී දෙවැනුව පත්කරගත යුතු අපේක්ෂකයා වෙනුවෙන් මනාපය ලකුණු කිරීම සිදු වෙනවා. “1978 ව්‍යවස්ථාව අනුව ඒ. ඒ පක්ෂ සඳහා අපේක්ෂකයන් තේරී පත්වූ පසු පක්ෂ ලැයිස්තු ක්‍රමයක් මගින් නායකත්වයේ මනාපය පරිදි අවශ්‍ය මන්ත්‍රී නියෝජනය ලබාදීම සිදුවුණා. පසුකාලීනව ඇති වූ විවිධ අරගලවල ප්‍රතිඵලයක් ලෙස මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නා. ඒ අනුව තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයාත් නම් කිරීමට දෙවැනි වටයේදී ඡන්ද දායකයාට යම් හිමිකමක් ලැබුණා. මනාප ඡන්ද ක්‍රමය දිස්ත්‍රික්කය පුරාම විසිරී ගිය අතර එකම පක්ෂය තුළත් තරගයක් නිර්මාණය වීම නිසා මනාප සඳහා පොරයක් ඇති වුණා. මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමට බලපෑවේ එම මනාප පොරයයි. කිසියම් අපේක්ෂකයකුට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට නම් වැඩි මනාප සංඛ්‍යාවක් අවශ්‍යයි. ඒ සඳහා ඔහුගේ මනාප අංකය ඡන්දදායකයා දැනගත යුතුයි. එහෙත් මැතිවරණ නීති අනුව පත්‍රිකා, පෝස්ටර්, ඡායාරූප ප්‍රදර්ශනය කළ නොහැකියි. ග්‍රාමීය මට්ටමේදී මනාප අංකය ප්‍රකාශ කිරීමට සුදුසුම මාර්ගය පොස්ටර් සහ පත්‍රිකා වැනි ප්‍රචාරක මාධ්‍යයයි. මේවා නීතිමය වශයෙන් තහනම් කළත් ප්‍රචාරක කටයුතු සඳහා විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් දැන්වීම් සඳහා  විශාල ලෙස මුදල් වැය කළ නොහැකි අපේක්ෂකයන් තමන් ජනතාව අතර ජනප්‍රිය කර ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට උත්සාහ කරනවා. එහෙයින් දැනට පවතින මැතිවරණ ප්‍රචාරක නීතිරීති යාවත්කාලීන විය යුතුයි. විද්වතුන් වැඩි පිරිසකගේ යෝජනාව වී ඇත්තේ මනාප ඡන්ද ක්‍රමය ඉවත් ඉවත් කොට දිස්ත්‍රික්කවල කුඩා මැතිවරණ කොට්ඨාශ ඇති කළ යුතු බවටයි. එවිට අපේක්ෂකයන් සීමිත ප්‍රදේශයකට සීමා වන හෙයින් ඡන්දදායකයින්ට ඔවුන් පහසුවෙන් හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙනවා. දැනට පවතින ක්‍රමය නිසා ඇතැම් විශාල දිස්ත්‍රික්කවල සිටින අපේක්ෂකයන් එම ප්‍රදේශවල සිටින ජනතාව හඳුනන්නේවත් නැහැ. මෙම ගැටලුවට පිළියමක් ලෙස තමයි 2003 සිට ශ්‍රී ලංකාවට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට විද්වතුන් උත්සාහ කළේ. 2012 වන විට, විශේෂයෙන් පළාත්පාලන ආයතන සඳහා පැවැති මැතිවරණ සඳහා මෙම ක්‍රමය හඳුන්වා දුන්නා. එහෙත් 2018 පැවැති පළාත්පාලන මැතිවරණයේදී අප හඳුන්වාදුන් ක්‍රමය විකෘති කොට ඉතාමත් නරක ලෙස මැතිවරණය පැවැත්වූ බැවින් . එය අසාර්ථක වුණා. එහෙයින් කුඩා බල ප්‍රදේශයකට ඡන්ද අපේක්ෂකයන් සීමා කළ යුතුයි. එවිට මැතිවරණ නීතිරීති උල්ලංඝනය වීම් විශාල ලෙස අවම වේවි.”

කොවිඩ් 19 වෛරසයට මුවාවෙමින් ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන බවට වූ පැමිණිලි ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් අත් මේස්, මුඛ ආවරණ, අත්‍යවශ්‍ය ආහාර මලු බෙදාදෙමින් අනියම් ආකාරයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බවද පැවසේ. පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාල වරම් දිනාගන්නා සිසුසිසුවියන් අගැයීම හා තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක්ද අතහැර දැමීමට සිදුවූයේ එමගින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය වන බවට  මැතිවරණ නිලධාරීන් පිරිසක් විසින් පෙන්වා දීම හේතුවෙනි.

මැතිවරණ නීති උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පොලිසිය විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබේ. මැතිවරණ නීතිරීති කඩකරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හා අත්අඩංගුවට ගැනීමට නොහැකි පිරිස සම්බන්ධයෙන් සියලු තොරතුරු රැස්කොට ඔවුනට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. 

“තම අංකය හා රූපය ප්‍රදර්ශනය වන පරිදි පොස්ටර ඇලවීමට බොහෝ අපේක්ෂකයන් උත්සාහ කරනවා. එලෙස පෝස්ටර් අළවන අවස්ථාවේ එය සිදුකරන පුද්ගලයන් ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. පෝස්ටර් ඇළවූ පුද්ගලයන් කවුදැයි සොයාගත නොහැකි වන අවස්ථාවන්හි පොලිසිය මගින් එම පෝස්ටර ඉවත් කිරීමට පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඒවා ඇළවූ පුද්ගලයන් සොයාගත හැකි වුවහොත් ඔවුනට එරෙහිව නඩු පවරනවා. එහෙත් පෝස්ටරයේ සිටින පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීම සඳහා නීතියක් නැහැ. වරද ඇත්තේ ඒවා නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කිරීමයි. ඇතැම් විට විරැද්ධ කණ්ඩායම් වෙනක් පාර්ශ්වයක් අගතියට පත් කිරීමේ අරමුණින් තම විරැද්ධවාදියාගේ පෝස්ටර් ඇළවිය හැකියි. ඒ නිසා නීති මගින් කටයුතු කිරීමට බලය ඇත්තේ පෝස්ටර් අළවන පුද්ගලයන් සඳහා පමණයි. පොස්ටර් ඉවත් කිරීම සඳහා පොලීසියට මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රතිපාදන ලබා දෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද මේ වන විට මහ මැතිවරණය නීරීක්ෂණය කිරීම සඳහා සූදානම් වෙමින් සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙවර මැතිවරණය සඳහා නිරීක්ෂකයන් 5000ත් 6000ත් අතර පිරිසක් යෙදවීමට අදහස් කර ඇති බවයි. “කොරෝනා වසංගත පසුබිම යටතේ නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. සමස්ථ නිරීක්ෂකයන් අතුරින් තැපැල් ඡන්ද සඳහා දහසක පමණ පිරිසක්ද, ස්ථානගත නිරීක්ෂකයන් ලෙස 3000ක පිරිසක්ද ජංගම නිරීක්ෂකයන් ලෙස 1000ක්ද, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා 300ක පමණ පිරිසක්ද යෙදවීමට නියමිතයි. . අපගේ මැතිවරණ නිරීක්ෂකයන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. සියලු දෙනා ඒ අනුව කටයුතු කළ යුතුයි.” යනුවෙනි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02