2020 ජුනි 20 වන සෙනසුරාදා

වීරත්වයයි මරණයයි එකට තුරුළු කරගත් පොලිස් පුතා

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

පො‍ළොන්නරුව, වැලිකන්දේ ගිනිදමන පොදු සුසාන භූමියට පසුගිය බදාදා (17) පස්වරැවේ තරම් මහා ජනගඟක් ඇදී ආ දවසක් ඉතිහාසයේවත් නැතැයි ගම්මු පැවැසූහ. ඒ අකාලයේ පරව ගිය කුසුමක් බඳු වූ සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම පොලිස් විරුවාගේ අවසන් ගමනට සමුදෙන්නටය.

ගිනිදමන මහවැලි ගම්මානයේ උපන්  සිතුම් දුලිත පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී වසර දෙකක් තරම් කෙටිකාලයෙකි. මේ ආධුනික පොලිස් කොස්තාපල්වරයා වීරයෙක් බවට පත්වන්නේ එක රැයකිනි. ඒ කුමන කාරණයක් නිසාද යන්න නොදන්නා මේ රටේ කෙනෙකු නොමැති තරම්ය. කොළඹ ජාතික ජාතික රෝහලේ ගෙවීම් අංශයේ තිබූ රුපියල් ලක්‍ෂ 79ක මුදලක් මහ දවල් කොල්කා පලා යමින් සිටි සැකකාර වෛද්‍යවරයා ලුහුබැඳ ගොස් අල්ලා මෙල්ලකර ගැනීමට මූලිකව ක‍්‍රියා කළේ මේ පොලිස් පොඩ්ඩාය.

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී කළ ඔහුගේ මෙම වීරක‍්‍රියාව ශ‍්‍රී ලංකා පොලීසියට ඉමහත් කීර්තියක්, ගෞරවයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහු දිනූ පුලතිසිපුරවරයටද එය ආඩම්බරයක් ගෙනදෙන ආරංචියක් විය. එහෙත් මේ හපන්කම කළ පුලතිසි පුතා ඒ සැණෙකින්ම සිය මවට හෝ තමන් කළ අවදානම් කටයුත්ත ගැන නොකියන්නට වගබලාගෙන තිබූ බව පසුව දැනගන්නට ලැබිණි. ඔහු එසේ කරන්නට ඇත්තේ තමන් රාජකාරී කළ බුද්ධි සේවාවේ නියමයන්, ඉගැන්වීම්වලට අනුව නිසා හෝ නැතිනම් සිය මව මේ ආරංචියෙන් සතුටු කඳුළු වෙනුවට දුක් කඳුළු වගුරන බව මේ පුතු දන්නා නිසා විය හැක. එහෙත් අම්මාගේ කඳුළැලි සිරකර තබන්නට වැඩි දවසක් ඔහුට නොහැකි විය.

එම සිද්ධියෙන් දෙදිනකට පසුව බම්බලපිටිය තුම්මුල්ල හන්දියට නුදුරුව ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් සිය ජීවිත ගමන අකාලයේ නිම කරන්නට ඔහුට සිදුවූයේ නොසිතූ පරිදිය. තමන් විසින්  පදවාගෙන ගිය යතුරුපැදිය ඩිෆෙන්ඩර් ජීප් රථයෙක ගැටීමෙන් එම මාරක රිය අනතුර සිදුව තිබුණි. අනතුර සිදුකළ නොහික්මුණු රියැදුරා බීමත්ව සිටි බව පසුව අනාවරණය විය.

අම්මේ මං නිවාඩු අරන් එන සුමානේ ගෙදර එනවා. අම්මට දැන් සතුටු ඇති නේද? සිතුම් දුලිත මේ දුක්මුසු ඉරණමට මුහුණපාන්නට දින කිහිපයකයට පෙර සිය මවට දුරකථන ඇමතුමක් දී එසේ කියා ඇත. තම පුතා ගෙදර එන දිනය එළඹෙන තෙක් ඇඟිලි ගනිමින් සිටි අම්මාට අසන්නට ලැබුණේ ඔහු මුහුණ පෑ එම බිහිසුණු අනතුරත් එයින් දින දෙකකට පමණ පසුව සිය පුතුගේ අකල් වියෝවත් පිළිබඳ මූසල ආරංචිය.

මගේ සුදු පුතා නිවාඩුවට ගෙදර එනකං මං මග බලාගෙන හිටියේ. 15 වෙනිදා ගෙදර එනවා කිව්වා. ඒත් මගේ පුතා මේ විදියට ගෙදර එයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. මගේ එකම පුතා මට නැතිවුණා. ඇයි දෙවියනේ මෙහෙම අපරාධයක් සිද්ධ වුණේ. මේ දුක මම මේ දුක කොහොම වාවන්නද දෙයියනේ... ’’

තම එකම පුතුගේ අකල් වියෝව දරාගත නොහැකිව ඒ මව නැඟූ දුක්බර විළාපය නුදුරින් වූ දිඹුලාගල ගිරි ශිඛරයෙහි වැදී යළි යළිත් දෝංකාර දෙන්නාක් බඳුය.
මේ පොලිස් විරුවාගේ මව වන ජී.ඩබ්ලිව්. බණ්ඩාර මැණිකේ මහත්මියද වීරත්වයෙන් පිදුම් ලැබිය යුතු මාතාවක් බව අපට දැනගන්නට ලැබිණි. විශ‍්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වන ඇය තිස් වසරක් සේවා කාලයක් අවසන් කර පසුගිය වසරේ විශ‍්‍රාම දිවියට එළැඹ තිබේ. එතෙක් වසර 30ක්ම සේවය කර ඇත්තේ මේ දුෂ්කර කලාපයේ, වැලිකන්දේ නෙළුම්විල සහ ගිනිදමන යන ගම්මානවලය.

මේ නෝනා අපිට ගොඩක් පිහිට වෙලා තියෙනවා. කොටි ගහන කාලේ අපි පණ බයේ හිටියේ. ඉස්පිරිතාලෙකට යන්න විදියක් නෑ. බස් එකක් නෑ. හරියකට පාරක් තොටක් තිබුණේ නෑ. වෙනත් පහසුකම් නෑ. නෝනා පයින් හරි බයිසිකලේ පැදගෙන හරි ඒ කාලේ අපේ ගෙවල්වලට ආවා. අපිට උදව් කළා. සිතුම් දුලිතගේ මව ගැන ගිනිදමන ගමේ වැසියෝ බොහෝ දෙනෙකු එසේ පැවැසූහ.
ගම්මුන් පවසන පරිදි වැලිකන්දේ බොහෝ ගම්මාන එදා පැවැතියේ අදටත්  වඩා පහසුකම් බොහොමයක් නොමැතිවය. ඒ සියල්ලට වඩා මර බිය වෙළාගනු ලැබූ කොටි තර්ජනද නොඅඩුව පැවැතියේය. රුදුරු ත‍්‍රස්තයන් ගම්මානවලට කඩා පැන කපා කොටා වෙඩි තබා මිනිස් ජීවිත අමුඅමුවේ උදුරාගත් අඳුරැ අතීතයේ අමිහිරි අත්දැකීම් ගිනිදමනේ වැසියන්ට එකල එතරම් ආගන්තුක නොවුණි. එවන් පරිසරයක් තුළ තම රැකියාව දේව කාරියක් ලෙස ඉටුකරමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය කළ මෙහෙවර වෙනුවෙන් ඒ ජනයා හදවත්වල ගැඹුරින්ම සිය කෘතවේදීත්වය පිරිනමන බව හැඟීගිය කාරණයෙකි.

එහිදී අපට මුණගැසුණු ගිනිදමන මහා විද්‍යාලයේ දිගුකලක් සේවය කර දැනට වැලිකන්ද මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කරන ආර්.ඒ. සරත් රාජපක්‍ෂ මහතා තම සිසුවෙකු වන සිතුම් දුලිත පිළිබඳව සිය මතකය අවදි කළේ මෙසේය.
මේ දරුවා මුලින්ම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේ, ගිනිදමන මහා විද්‍යාලයේ. අ.පො.ස සාමාන්‍ය පෙළ පාස්වෙලා උසස් පෙළට තමයි වැලිකන්ද මහා විද්‍යාලයට ගියේ. පුංචි කාලේ එයා පිළිබඳ අත්දැකීම් බොහෝ මට තිබෙනවා. හරිම අහිංසක ළමයෙක්. කිසිම කෙනෙකුට වරදක් නෑ. අම්ම, තාත්තට කීකරුව හැදුණ වැඩුණ කෙනෙක්. ගුරුවරුන්ටත් හරිම අවනතයි. දඟවැඩ දඩබ්බර වැඩකළේ නෑ. මට පුදුම හිතුණා මේ දරුවා පොලීසියේ රස්සාවට ගියා කියලා දැනගත්තම. උසස් පෙළට කලේ තාක්‍ෂණවේදය. හොඳින් උසස් පෙළ සමත් වුණා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හරි එහෙම නැතිනම් අධ්‍යාපන විද්‍යා පීඨයකට හරි ඉල්ලුම් කරන්න සුදුසුකම් තිබුණා. නමුත් එයා මේ රැකියාව තෝරාගෙන තිබෙනවා එයාගේ කැමැත්තට අනුව. එයා අම්මා සහ අක්කා එක්කත් නිතරම කියලා තිබෙනවා පොලීසියට බැඳෙන්න  ඕන කියලා. පොලීසියට හැර වෙනත් රැකියාවකට යන්නෙත් නෑ කියලා තිබෙනවා. ඒ තරම් ලොකු ඇල්මකින් ආදරයකින් තමා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳිලා රාජකාරී කරලා තියෙන්නේ. ඒ බව ක‍්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. නිර්භීත පොලිස් නිලධාරියෙක් විදියට. එයා කරපු ඒ වීර ක‍්‍රියාවේ සතුට අපි කිසිම කෙනෙකුට විඳින්න කාලයක් ලැබුණේ නෑ. ඉක්මනින්ම මේ දුක්මුසු සිදුවීම වුණා. මේ අම්මට තාත්තට එයාගේ එකම සහෝදරිය අනෙකුත් ඥාතීන්ට වගේම අපිටත් දරා ගන්න බැරි දුකක්, වේදනාවක් මේ අකල් මරණය.මේ ගමේ ඒ වගේම අනෙක් ගම්වලත් විශාල පිරිසක් මේ සිද්ධියෙන් දුක් වෙනවා, තැවෙනවා

සිතුම් දුලිතගේ මව ගිනිදමන, නෙළුම්වැව යන ගම්මානවල හැම දරුවෙක්ගේම අම්මා යැයිද සරත් රාජපක්‍ෂ මහතා අප සමඟ කීය. මේ ගම්මාන දෙකේ පවුල් 750ක් 800ක් විතර ජීවත්වෙනවා. අවුරුදු තිහකට මෙපිට ඉපදුණු දරුවෙක් ඉන්නවා නම් මේ නෙළුම්වැවේ, ගිනිදමනේ ඒ හැම දරුවෙක් වෙනුවෙන්ම ලිපි ගොනුවක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා මේ අම්මා. සමහර විට ඒ සංඛ්‍යාව සිය ගණනක් නෙවෙයි දහස් ගණනක් වෙන්න පුළුවන්. ඒ මොකද රාජකාරි කාලය තිස් අවුරුද්දක් නිසා.

කොටි තර්ජන හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ බැට කෑ වැලිකන්දේ ගම්මාන අතරේ ඉදිරියෙන්ම තිබෙන ගිනිදමනේ වැසියන්ට කඳුල සුසුම එතරම් ආගන්තුක නොවේ. දෑස් කෙවෙනි අග වියැලී ගිය ඒ කඳුළු කැට කලකට පසු නැවත අලුත් කළ දුක්මුසු කාරණයක් ලෙස මෙය හැඳින්වීම නිවැරදිය. 

I කරුණාරත්න ගමගේ