සෝමාවතිය ජාතික උද්‍යානයේ දිනෙන් දින වන විනාශය හා සතුන් දඩයම් කිරීම ඇතුළු විවිධ ජාවාරම් සිදු කරන තෝතැන්නක් බවට පත්ව ඇති බව ඒ අවට ප්‍රදේශවල ගම්වාසී ජනතාව කියති.
මෙම උද්‍යානය අවට ජීවත්වන සහ පිට පළාත්වලින් පැමිණෙන මිනිසුන් විසින් ක්‍රමක්‍රමයෙන් එහි ඉඩම් අත්පත් කර ගැනීමත්, ගස්කොළන් කපා දැමීමත් සතුන් ඝාතනය යන කරුණු නිසා වනජීවී නිලධාරීහු තම ජීවිතය පරදුවට තබා දිවා රාත්‍රී වෙහෙස නොබලා රාජකාරිය දේව කාරියක් ලෙස ඉටු කරමින් සිටිති. එවන් වතාවරණයක් තිබියදීත් වනජීවී නිලධාරීන් නොමඟ යවා විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් වන සතුන් ඝාතනයත් වටිනා වෘක්ෂලතා ඝාතනයත් ඉතා සූක්ෂම ලෙස ජයටම කරගෙන යන බවට එහි ගිය අපට දැකගත හැකි විය.
දින දෙකක් පුරා අපි ඝන වනාන්තරය තරණය කරමින් පොලීසිය සමඟ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වූයෙමු. මැදිරිගිරිය වඩිගවැව ප්‍රදේශයෙන් අප සෝමාවතිය ජාතික උද්‍යානයට ඇතුළුවීම සිදු කළේ කිසිදු ගැමියකුට හෝ නොදැනෙන ලෙසයි. කිලෝමීටර් 15 ක් පමණ දුරක් ඝන වනාන්තරය තුළට ගමන් කිරීමේ දී පළමු කිලෝමීටරයේ සිට කිලෝමීටර් 5 ක් පමණ යනතුරු විශාල ගස් කිසිවත් දැකගත නොහැකි විය. එහි දක්නට ලැබුණේ වියළී ගිය කටුපඳුරු සහ කෙවිටකට ගත හැකි කුඩා ගස් කිහිපයක් පමණි. එතැන් සිට කිලෝමීටර් 10 ක් දක්වා යන අවස්ථාවේ මීට වසරක පමණ කාලයක සිට වසර සියයකට වඩා පැරැණි කුඹුක්, මී, පලු, තිඹිරි, මාදම් වැනි විටිනා ගස් කපා කොටස් කර රැගෙන ගොස් ඉතිරිව තිබෙන ඇද වූ කොටස් සහ පිටලෑලි ලෙස හඳුන්වන කොටස් මරණයේ සාක්ෂි ලෙස ඉතිරිව තිබෙන අයුරුයි.
අප තිඹිරි ඇළ ආසන්නයට ළඟාවන අවස්ථාවේ දැකගත හැකි වූයේ ඇළ ඉවුරේ බැරල් 3 ක් උපයෝගී කර ගනිමින් ගිනි අවුලමින් කසිප්පු පෙරන අයුරුයි. පොලීසිය එම ස්ථානයට ළඟාවන අවස්ථාවේ කසිප්පු ජාවාරම්කරුවන් පැන ගොස් ඇති බවට ඉතිරිව තිබූ එකම සාක්ෂිය බැරල්වලට ගිනි දමා කසිප්පු පෙරීම සඳහා සියලු දේ සූදානම් කර තිබීමයි. පසුව අවට පරීක්ෂා කළ පසු බැරල් 08 ක් සොයා ගැනීමට හැකියාව ලැබුණි. තව තවත් පරීක්ෂා කිරීමේ දී තිඹිරි ඇළ අවට විශාල ගස් ඉතිරි නොකර සියලුම ගස් කපා දමා තිබූ අයුරු දිස්විය. එක් දිනක් තුළ පමණක් මීටර් 500 ක් පමණ අවට ඇති වටිනා පලු, කුඹුක් සහ තිඹිරි ගස් 20 ක් පමණ කපා තිබෙන අයුරු දක්නට තිබේ. උද්‍යානය තුළ ගවයන් දමා සිටින පුද්ගලයන් විසින් ජාවාරම්කරැවන්ට පොලීසිය උද්‍යානයට ඇතුළු වී ඇති බවට තොරතුරු ලබා දීම නිසා ඔවුන් පැන ගොස් තිබේ. පොලීසිය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දින දෙකක් රැක සිටියත් කිසිදු පුද්ගලයකු උද්‍යානයට නොපැමිණි බව පොලීසිය පවසයි. පොලීසිය පවසා සිටින්නේ ලී ජාවාරම්කරුවන්ටත්, දඩයම්කරුවන්ටත්, කසිප්පු ජාවාරම්කරුවන්ටත් ආරක්ෂාව සපයා දෙන්නේ එම උද්‍යානය තුළ රැඳී ගවයන් බලාගන්නා පුද්ගලයන් බවයි.
සෝමාවතිය ජාතික උද්‍යානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ අවට මහා වනාන්තරය තුළ විශාල වටිනා ගස් කපා දමා එම ගස් ලී බවට පත් කරගෙන රැගෙන ගොස් තිබෙන අයුරු ද දැකගත හැකි විය. මෙම උද්‍යානය තුළ ලී ජාවාරම සහ කසිප්පු ජාවාරමත්, සතුන් දඩයමත් ජයටම සිදුවන බව ප්‍රදේශයේ ජනතාව පවසා සිටිති. මේ වන විට සෝමාවතිය ජාතික උද්‍යානයේ සියලු කාර්යාලවල වනජීවී නිලධාරීන් දිනපතා වැටලීම් සිදු කළත් මුළු උද්‍යානයම ආවරණය වන පරිදි යෙදවීම සඳහා වනජීවී නිලධාරීන්ගේ හිඟයක් පවතින බැවින් ජාවාරම්කරුවන්ට මහත් වාසිදායක තත්ත්වයක් උදා වී තිබෙන බව වනජීවී නිලධාරීහු කියති. ඉකුත් දිනක පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් දින දෙකක් දිවා රාත්‍රියේ රැක සිට ලී ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ජාවාරම් සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. ලී ජාවාරම්කරුරැවන් පලා ගොස් තිබේ. සෝමාවතිය ජාතික උද්‍යානය තුළ වනජීවී නිලධාරින් පමණක් නොව පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, යුද හමුදාව සහ වනජීවී නිලධාරීහු ද නිතර නිතර වැටලීම් සිදු කරති.සෝමාවතිය ජාතික උද්‍යානයේ විවිධ ප්‍රදේශ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. එවැනි තවත් ස්ථානයක් වන අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශයේ කලක පටන් මෙම වන විනාශය සිදු කරනු ලබයි. කිසියම් පිරිසක් විසින් ඉතා රහසිගතව ලොකු කුඩා සියලු ගස්වැල් කපා දමමින් හෙළි පෙහෙළි කර ගිනි තබමින් තිබෙන බවට ලද තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් සහ පොලීසිය සමඟ අප එම ස්ථානයට ළඟාවන විටත් වසර දහසකට වැඩි දැවැන්ත කුඹුක් ගසකට ගිනි තැබීම නිසා බිමට පතිත වී ගිනි ගනිමින් තිබෙන අයුරු දැකගන්නට හැකියාව ලැබිණි.
උද්‍යානයේ ඉපැරැණි ගස් සියල්ලම සහ කුඩා ගස්වැල් සියල්ල සමූල ඝාතනය කරමින් එහි ඇති බක්මී සහ මී ගස් සියල්ල ද කපා විනාශ කර තිබෙන අයුරු එහි ගිය අපට දැක ගත හැකි විය. අවුරුද්දෙන් අවුරුද්ද මාසෙන් මාසේ දිනෙන් දින ටිකෙන් ටික අඩියෙන් අඩිය ජාවාරම්කරුවන් විසින් සහ ගොවීන් කියාගන්නා ජාවාරම්කරුවෝ විසින් සෝමාවතිය ජාතික උද්‍යානය විනාශ කරමින් අත්පත් කර ගනිමින් සිටිති. නිලධාරියෝ බලධාරියෝ සහ දේශපාලකයෝ මෙම ජාවාරම්කරුවන්ට උදව් උපකාර කරමින් තමන්ගේ බලය සහ ධනය රුස්කර ගැනීමේ වරදට ගහකොළ සතා සිවුපාවාට පමණක් නොව ස්වභාවධර්මය විසින් මිනිසාට ද දැඩි දඬුවම් ලබා දීම සිදු කරනු ලබති.
කෙසේ නමුත් මෙම උද්‍යානයේ මේ වන විට අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශයේ පමණක් මහා දැවැන්ත කුඹුක් ගස් ගිනි තබා ඇති අතර විශාල මීගස් සහ බක්මී ගසක් කපා එහි ලෑලි ජාවාරම්කරැවන් විසින් රැගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් සෝමාවතිය ජාතික උද්‍යානයේ භාරකරු අඩවි ආරක්ෂක ඩබ්.එම්.එල්.කේ. වාසල පවසා සිටියේ මෙවැන්නකි.
මුලින්ම කියලා ඉන්න ඕන මේ අක්කර ගාණක් ලොකු කුඩා සියලුම ගස් කපලා කුඹුරු කරලා තියෙන්නේ සෝමාවතිය ජාතික උද්‍යානයේ තමයි. ආයෙ රක්ෂිතයෙවත් ප්‍රේරණ කලාපයේවත් නෙවේ. මේවාට කවුරු අවසර දුන්නාද කියලා මං දන්නේ නෑ. කවුරු අවසර දුන්නත් මං මේ අයට නීතිය ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට උද්‍යානය තුළ අක්කර ගණනාවක විශාල ගස්කොළන් කපලා විනාශ කර දමලා කුඹුරු කරනවා. ඒ විතරක් නෙවේ ඊට අමතරව දැන් අලුතින්ම ලීකණුවලින් වැටවල් ගහලා අයිත් අක්කර ගාණක් වැඩ කරන්න තමයි මේ ගස් ගිනි තියලා කපලා සූදානම් වෙන්නේ. මේ අය තව ටික කාලයක් මේ විදියට කටයුතු කළොත් සෝමාවතිය ජාතික උද්‍යානය නැති වෙනවා. ඒ නිසා මෙවැනි දේ කළ බවට විවිධ අවස්ථාවල සැකපිට පුද්ගලයන් අපි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. තවත් තොරතුරු රැසක් අප වෙත ලැබෙමින් පවතිනවා. ඒ අනුව කිසිදු පුද්ගලයකුගේ තරාතිරමවත් ජාතියවත් ආගමවත් අපිට අදාළ නෑ. වැරදි සිදු කරන කවර හෝ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ උද්‍යානය තුළට කාටවත් ඇතුළු වෙන්න බෑ. නමුත් යම් පිරිස් විසින් ව්‍යාජ ආකාරයට ලියකියවිලි බලධාරීන්ගෙන් ලබාගෙන උද්‍යානය තුළ පරිසරය විනාශ කරමින් අලුතින් ඇළ මාර්ග සහ කුඹුරු අස්වැද්දීමට සූදානම් වෙනවා. මේ අය අත්අඩංගුවට ගන්න ගියාම අපේ නිලධාරීන්ට පහරදීම් සිදු කරනවා. කාගේ හයියක් ද කියලා අපි දන්නේ නෑ. යැයි කීය.
සෝමාවතිය ජාතික උද්‍යානයේ වන විනාශය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ශාක්‍ය බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි
සෝමාවතිය ජාතික උද්‍යානය තුළ විශාල ලෙස ගස් කපා විනාශ කිරීමත්, සතුන් දඩයමත්, වැලි ජාවාරමත් සිදු වෙනවා. නමුත් දැන් දක්නට තිබෙන තත්ත්වය නම් කනගාටුදායකයි. කැලේ ඔක්කෝම ගස් කපලා අලුතින් වගා කරන්න බිම් සකස් කරලා. ඒ මදිවට ඇළවලුත් කපලා. සෝමාවතිය ජාතික උද්‍යානයේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් කියන්නේ අවසර නැතුව මේ උද්‍යානයට ඇතුළු වීමටවත් බැරි බවයි. නමුත් වන විනාශය සිදු වෙනවා. මේ කැලේ රකින්න තරම් වනජීවී නිලධාරීන් මදි. අවශ්‍ය තරම් නිලධාරින් ඉන්නවා නම් යම් තරමකටවත් පාලනය කරන්න පුළුවන්. ඒ නිලධාරීන්ට රාජකාරියට අවශ්‍ය පහසුකම් ලබා දීමත් සිදු කළ යුතුයි. අපි කියන්නේ සිංහල ද දෙමළ ද මුස්ලිම් ද යන වග නෙවෙයි. රටේ පොදු නීතියක් තියෙනවා. ඒ නීතිරීති කඩකරන පුද්ගලයන්ට දඬුවම් දීමට ආගම හෝ ජාතිය වැදගත් නෑ. වහාම අත්අඩංගුවට ගත යුතුයි.
සෝමාවතිය ජාතික උද්‍යානයේ සිදුවන ජාවාරම් පිළිබඳව පොළොන්නරැව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතාගෙන් ද අපි විමසා සිටියෙමු. අපේ නිලධාරීන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ මේ ජාතික උද්‍යානය ආරක්ෂා කර ගන්න තමයි. නමුත් අපිට වඩා ජාවාරම්කරැවෝ ඉතා සූක්ෂම ලෙස උද්‍යානයට ඇතුළු වෙලා සතුන් දඩයම, ලී ජාවාරම ඇතුළු විවිධ නිතී විරෝධී කටයුතු සිදු කරනවා. ලද තොරතුරු හෝ අපි විසින් දිනපතා කරන ලද වැටලීම් වලින් දිනපතා වාගේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. නමුත් ජාවාරම්කරුවන් කෙසේ හෝ ක්‍රියාත්මක වෙනවා. මීට වසර ගණනාවක සිට මේ උද්‍යානය විශාල ලෙස විනාශ කරලා තිබෙනවා.
හිඟුරක්ගොඩ - ඩබ්ලිව්.ඒ. පියතිලක