2020 ජුනි 20 වන සෙනසුරාදා

ලොව හොඳම සරසවි අතර පේරාදෙණිය ඉහළට

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

වෙහෙස මහන්සියෙන් අධ්‍යාපනය ලබා උසස් පෙළ සමත් වන වැඩි පිරිසකගේ එකම අරමුණ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමය. ලක්ෂ ගණනක් සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටියද වසරකට විශ්වවිද්‍යාල වරම් හිමිකරගන්නේ 30,000ක පමණ පිරිසක් පමණි. වැඩි පිරිසකගේ අපේක්ෂාව වඩාත් හොඳ පහසුකම් සහිත විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමය. 2020 වසර සඳහා ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම් මේ වන විට නිකුත් වී තිබේ.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල වර්ගීකරණය කරන ක්‍රම තුනක් තිබේ. ඉන් පළමුවැන්න වෙබමෙට්‍රික්ස් රෑන්කිං නමැති ක්‍රමයයි. ඒ හැර කිව්. එස්. ලෝක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය සහ ටීඑච්ඊ හෙවත් ටයිම්ස් හයර් එඩියුකේෂන් යුනිවර්සිටි වර්ල්ඩ් රෑන්කිං නමැති ශ්‍රේණිගත කිරීම්  දෙකක්ද තිබේ. වෙබමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය ක්‍රමය වන අතර එමගින් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කෙරේ. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමට පාදක කර ගනුයේ විශ්වවිද්‍යාලවල ඇති වෙබ් අඩවිවල ඇතුළත් තොරතුරුය.. වෙබමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීම් අනුව 2020 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. දෙවැනි ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයට හිමි වී තිබේ.


තුන්වැනි ස්ථානයට මොරටුව විශ්වවිද්‍යාලයත්, සිව් වැනි ස්ථානයට රුහුණ විශ්වවිද්‍යාලයත්, පස්වැනි ස්ථානයට කැළනිය විශ්වවිද්‍යාලයත්, සයවැනි ස්ථානයට ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයත්, සත්වැනි ස්ථානයට යාපනය විශ්වවිද්‍යාලයත්, අටවැනි ස්ථානයට රජරට විශ්වවිද්‍යාලයත්, නව වැනි ස්ථානයට විවෘත විශ්වවිද්‍යාලයත්, දසවැනි ස්ථානයට  සබරගමු විශ්වවිද්‍යාලයත් නම්කර ඇත. 

කිව්. එස්. ලෝක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය අනුව ඒ ඒ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කෙරෙන සමීක්ෂණ පාදක කර ගැනේ.  ඒ යටතේ ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාල පහක් නම් කර තිබේ. ඒ අනුව ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය ලෙස නම් කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. එය ආසියානු විශ්වවිද්‍යාල අතර හිමිකරගෙන ඇත්තේ  198 වැනි ස්ථානයයි. දෙවැනි, තෙවැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන පිළිවෙළින් හිමිකරගෙන ඇත්තේ කොළඹ, මොරටුව, යාපනය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්විද්‍යාලය.

වෙබමෙට්‍රික්ස් රූන්කිං ක්‍රමයේදී විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා ඔවුන් නිර්ණායක 4ක් පාදක කර ගනී. විශ්වවිද්‍යාල වෙබ් අඩවියක ඇති වෙබ් පිටු සංඛ්‍යාව, වෙනත් වෙබ් අඩවිවලින් ලැබී ඇති ලින්ක් ප්‍රමාණය, එම වෙබ් අඩවියේ ඇති  පර් යේෂණ පත්‍රිකා කෙතරම් පිරිසක් භාවිත කර තිබේද යන්න සහ පර් යේෂකයන් ඉදිරිපත් කර ඇති හොඳම පර්යේෂණ පත්‍රිකා යන නිර්ණායක අනුවය.
කිව්. එස්. ශ්‍රේණිගත කිරීම් ක්‍රමය අනුව විශ්වවිද්‍යාලය ලබා ඇති කීර්තිනාමය පිළිබඳ සොයා බැලේ. ඒ සඳහා ඔවුන් සමීක්ෂණයක් සිදු කරයි. විශ්වවිද්‍යාලය පිළිබඳ ඇගයීමක් සිදුවන්නේ එම සමීක්ෂණ තොරතුරැ අනුවය. සේවාදායකයන් පිළිබඳවත්, එක් සිසුවකු සඳහා සිටින ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව, විශ්විද්‍යාලය මගින් පළකරන පර්යේෂණ පත්‍රිකා කෙතරම් පිරිසක් භාවිත කර තිබේද වැනි කරුණු සහ විශ්වවිද්‍යාලයට අනුයුක්ත ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව හා ජාත්‍යන්තර ආචාර්වරුන් සංඛ්‍යාව වැනි කරැණු ද සලකා බැලේ. 

ටයිම්ස් හයර් එඩියුකේෂන් යුනිවර්සිටි වර්ල්ඩ් රූන්කිං ක්‍රමයේදී ඉගෙනුම් හා ඉගැන්වීම්, පර්යේෂණ, ඒවා සමාජයට බලපා ඇති ආකාරය, විදේශ ශිෂ්‍යයන් ආචාර්යවරැන් සහ විදේශයන්හි පලකර ඇති පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව, එම විශ්වවිද්‍යාලය බාහිර ආයතන සමඟ කටයුතු කරන ආකාරය වැනි කරුණු පාදක කර ගැනේ.

ටයිම්ස් හයර් එඩියුකේෂන් යුනිවර්සිටි වර්ල්ඩ් ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ විශ්වවිද්‍යාල දෙකක් පමණක් හොඳම විශ්වවිද්‍යාල අතරට නම්කර තිබේ. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලයයි. එම ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලොව සියලු විශ්වවිද්‍යාල අතුරින් හොඳම විශ්වවිද්‍යාල 500 අතරට පත්ව තිබේ. කොළඹ විශ්වවිද්‍යාලය පත්ව ඇත්තේ ලොව හොඳම  විශ්වවිද්‍යාල 1000 අතරටය..
කිව්. එස්. ලෝක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය යටතේ ලොව  හොඳම විශ්වවිද්‍යාල හතර අතරට එක්ව ඇත්තේ ඇමෙරිකානු විශ්වවිද්‍යාල හතරකි. අංක එක මැසචුසෙට්ස් තාක්ෂණික විශ්වවිද්‍යාලයයි. එය ආරම්භ කර ඇත්තේ 1861 දීය. ලොව පැරණිතම විශ්වවිද්‍යාල අතුරින් එකක් වන එහි 11500ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලබති. ආචාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 1075කි. අක්කර 166ක භූමිභාගයක් පුරා එය පැතිර තිබේ. 

ලොව හොඳම විශ්වවිද්‍යාල අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. 1891 ආරම්භ කර ඇති එම විශ්විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෝ 17000ක් පමණ අධ්‍යාපනය හදාරති. එහි ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව2240 කි. අක්කර 8180ක භූමිභාගයක් පුරා පැතිර ඇති එම විශ්වවිද්‍යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති විශාලතම හා පැරණිතම විශ්වවිද්‍යාල කිහිපය අතුරින් එකකි.


තුන්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ හාවඩ් විශ්වවිද්‍යාලයයි. ක්‍රි.ව. 1636 ආරම්භ වූ මෙම විශ්වවිද්‍යාලයේ උපාධි අපේකෂකයන් 20,000කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබයි. ආචාර්ය මණ්ඩලයේ 2400කට අධික පිරිසක් සේවය කරති. හාවඩ් විශ්වවිද්‍යාල එරට ජනාධිපතිවරැන් 8 දෙනකුම බිහිකර ඇති විශ්වවිද්‍යාලයකි. එමෙන්ම 30කට අධික විදෙස් රාජ්‍ය නායකයන් හා බිලියනපතියන් 188 දෙනකු බිහිකර තිබේ.
සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ කැලිෆෝනියා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හෙවත් කැල්ටෙක් ආයතනයයි. 1891 ආරම්භ කෙරැණු කැල්ටෙක් ආයතනයේ උපාධි අපේක්ෂකයන් 2300ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ආචාර්ය මණ්ඩලය 300ක් පමණ වේ.

පස්වැනි ස්ථානයට හිමිකම් කියනුයේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ලොව පැරණිතම විශ්වවිද්‍යාලය සේ සැලකෙන මෙහි ආරම්භය ක්‍රි.ව.1096 තරම් ඈතට දිව යන බව පැවසෙයි. ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලබා දුන් හා අඛණ්ඩ අධ්‍යාපනයක් සැලසූ ලොව පළමු විශ්වවිද්‍යාලය ලෙස ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සැලකෙයි. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ වයස මේ වන විට වසර 924කි. උපාධි අපේක්ෂක සංඛ්‍යාව 24,500ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 14500ක් පමණ වේ. අගමැතිවරැන් 28 දෙනකු බිහි කර ඇති ඔක්ස්ෆර්ඩ් විශ්විද්‍යාලය නොබෙල් ත්‍යාග ලාභීන් 72කුද බිහි කර තිබේ.

සය වැනි ස්ථානය හිමිවන්නේ  එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයටය. ක්‍රි.ව. 1209 ආරම්භ කර ඇති මෙම විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් 23500ක් පමණ අධ්‍යාපනය ලබයි. එහි ආචාර්ය මණ්ඩලය 8000කට ආසන්නය. අක්කර 710ක භූමිභාගයක් පුරා එය පැතිර ඇති අතර ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් අධ්‍යාපනය ලබා ඇත්තේද එම විශ්වවිද්‍යාලයෙනි. දෙවරක් නොබෙල් ත්‍යාගය හිමිකරගත් ෆෙඩ්‍රික් සැන්ගර් ඇතුළුව නොබෙල් ත්‍යාග ලාභීන් 121ක් බිහිකර තිබේ.
සත්වැනි ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ස්විට්සර්ලන්ත විශ්වවිද්‍යාලයක් වන ඊටීඑච් සූරීච් හෙවත් ස්විස් ෆෙඩරල් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ආයතනයයි 1854 වසරේ ආරම්භ කෙරුණු මෙම ආයතනයේ සිසුන් 19,000ක් පමණ අධ්‍යාපනය ලබති.අටවැනි ස්ථානය ඉම්පීරියල් කොලෙජ් ඔෆ් ලන්ඩන් හෙවත් ඉම්පීරියල් කොලෙජ් ඔෆ් සයන්ස්, ටෙක්නොලොජි සහ මෙඩිසින් නමැති ආයතනයයි. 1845 ආරම්භ කෙරැණු එහි 20000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 4400ක් පමණ වේ. යුරෝපා විශ්වවිද්‍යාල අතර තුන්වැනි ස්ථාය හිමිකරගෙන ඇත්තේද මෙම විශ්වවිද්‍යාලයයි. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං, එච්. ජී. වෙල්ස් වැනි ප්‍රකට පුද්ගලයන් මෙම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවන්ය.
නව වැනි ස්ථානයට පත්ව ඇත්තේ චිකාගෝ විශ්වවිද්‍යාලයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන චිකාගෝ විශ්වවිද්‍යාලයආරම්භ කර ඇත්තේ ක්‍රි.ව. 1890 වසරේය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන එහි උපාධි අපේක්ෂක සංඛ්‍යාව  16,000ක් පමණ වේ.මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ   වෛද්‍ය විද්‍යාව සහ නාවික ජීව විද්‍යාව යන විෂයන් සඳහාය. 

දසවැනි ස්ථානය යුනිවර්සිටි කොලෙජ් ලන්ඩන් විශ්වවිද්‍යාලයට හිමිව තිබේ. ක්‍රි. ව.1826 ආරම්භ කෙරුණු එම ආයතනයේ උපාධි අපේක්ෂකයන් 41000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබති. ආචාර්ය මණ්ඩලය 7700කි. පීඨ 11කින් සමන්විත මෙම විශ්වවිද්‍යාලය ලන්ඩනයේ ඇති හොඳම විශ්විද්‍යාල අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. එහි අධ්‍යාපනය ලද සිසුන් 30 දෙනකු පමණ නොබෙල් ත්‍යාගය දිනා ඇත.
(මූලාශ්‍ර ආචාර්ය හිරාන් අමරසේකර සහ ස්ටුඩන්ට්ස් ලංකා වෙබ් අඩවිය සහ අන්තර්ජාලය ඇසුරිනි.)

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02