කොවිඩ් - 19 වසංගතයෙන් හුදෙකලා වුණු මුහුදු වෙරළේ අද සුපුරුදු පරිදි දකින්නට ලැබුණේ නිදහසේ එහාමෙහා යන පුද්ගලයන්ය. ඇතැමුන් සෙල්ලම් කළහ. ඇතැම්හු මුහුදු වෙරළේ ඇවිදිමින් අල්ලාප සල්ලාපයේ යෙදුණහ. සුපුරුදු පරිදි ව්‍යායාම්වල නිරත වූවෝද මේ අතරේ සිටිති.
ගල්කිස්ස දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්ගත් මුහුදු තීරය විය. නමුත් අද වනවිට ගල්කිස්ස මුහුදු තීරය වෙනස්ම රූපයක් දැකගත හැකිවිය. කොවිඩ් - 19 වසංගත කාලයේදී ගල්කිස්ස මුහුදු වෙරළේ විශාල කොටසක වැලි පිරවීම නිසාම වෙනදා දුටු විශාල ගල්වැටිය ගල්කිස්ස මුහුදු වෙරළේ අද දැකගත නොහැකිය.
මේ අතරේ පසුගිය දිනෙක ගල්කිස්ස මුහුදු වෙරළ පිළිබඳ කතාබහට ලක්වූ සිදුවීමක් සිදුවුණි. උදෑසනින්ම වෙරළට ගිය කාහටත් දැකගත හැකිවූයේ තැන තැන ගොඩ ගැසී ඇති කුණු කඳුය. මේ වනවිට සති කිහිපයක් ගෙවී ගියද මුහුදේ සිට අපද්‍රව්‍ය ගසාගෙන ඒම නතර වී නැත.
ලංකාවේ වෙරළ තීර අපවිත්‍ර වීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන්නට පුළුවන්. ඒ අතරින් ප්‍රධානම කාරණාව වන්නේ ගංගා හෝ ඇළ මාර්ගවලින් ඉවත්වන අපද්‍රව්‍ය වෙරළට එකතු වීමයි. ලංකාව වටා ප්‍රධාන ගංගා එකසිය තුනක් තියෙනවා. ඒවායින් එකතු වන අපද්‍රව්‍ය මුහුදට එකතු වෙනවා. සියයට අනූවක් එන්නේ මේ විදිහටයි. ඊට අමතරව අනෙක් කරුණ වන්නේ වෙරළ අසල ඇති නිවෙස්, හෝටල්, වරායවල් වැනි දේවල්වලින් අපද්‍රව්‍ය මුහුදට එකතු වීමයි. මෙහි ප්‍රධානම කරුණ වූ වෙරළින් ඈතින් එකතු වන දේ වැසි කාලයට එකතු වීමත් සිදුවෙනවා. මේ නිසා අපි අපිට තියෙන හැකියාව මත පොලීසිය, ස්වෙච්ඡා සංගම් ආදී පිරිස එකතු කරගෙන වරින්වර මේ එකතු වන කසළ පිරිසිදු කිරීම් කරනවා. නමුත් කොවිඩ් වසංගතය තිබුණ කාලයේදී එවැනි ශ්‍රමදාන අපිට කරන්න ලැබුණේ නැහැ.යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා දේශයට පැවසීය.
වාරකන් කාලයේදී ඇතැම් වෙරළ තීරයන් වෙත කුණු කසළ වෙරළට ගසාගෙන ආවද මීට පෙර ගල්කිස්ස මුහුදු තීරයේදී මේතරම්ම කුණු කසළ ගොඩ ගැසුණේ නැත. මේ වනවිටත් නොනැවතී කුණු කසල මුහුදු තීරයට ගසාගෙන ආ අතර එහි එකතුව ටොන් විස්සකටත් වැඩි ප්‍රමාණයකි. ඇතැම් කාලවලදී ගල්කිස්ස මුහුදු තීරයේදී කසළ වෙරළට ගසාගෙන ආවද වෙරළ ඒ ආශ්‍රිතව ඇති හෝටල්වල සේවක පිරිස තමන්ට හැකි අයුරින් තම හෝටලය ආශ්‍රිත මුහුදු වෙරළ පිරිසිදු කරගත්හ. නමුත් ටොන් විස්සක් එකවර පිරිසිදු කරගැනීම සිදුකළ හැක්කක් නොවේ. ඇතැමුන් මේ ගොඩ ගැසුණු කුණු කවුරුන් හෝ පිරිසක් විසින් හිතාමතාම ඇළකට හෝ මුහුදට එක්කළ ඒවා බව චෝදනා කරති. ඒ අතරින් මොරටුව නගර සභාව මගින් මෙලෙස කුණු කසළ මුහුදට එක්කළ බවද ඇතැම්හු චෝදනා කළහ.
ගල්කිස්සට ගසාගෙන ආපු කුණුවලට මොරටුවේ ජනතාව වගකියන්න ඕනේ කියලා සමහරු අපිට චෝදනා කළා. අපිට කුණු කසළ දමන්න තැනක් තියෙනවා. වෙරළ වැනි අපි විසින්ම ආරක්ෂා කළ යුතු තැනකට කුණු කසළ දමන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. වෙරළ සංරක්ෂණය මේ වනවිට කිසිදු කෙනකුට නීත්‍යානුකූලව පියවර අරගෙන නෑ. මේක අපි කරපු දෙයක් නෙවෙයි.
යැයි මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මේ සම්බන්ධව එලෙස අදහස් දැක්වීය.
මෙලෙස ඇතැමුන් මොරටුව නගර සභාවට චෝදනා කරන්නට ප්‍රධානම හේතුව වූයේ ගල්කිස්සට ගොඩනැගුණු කුණු කසල අතරින් මොරටුව මහ නගර සභාව විසින් කොරෝනා වසංගතයේදී ආහාර බෙදාහැරි මළු තිබීමෙනි.
මුහුදු පත්ලේ සියයට පනහක් පමණ අපද්‍රව්‍ය තැන්පත් වී තියෙනවා. වාරකන් කාලයේදී මෙම අපද්‍රව්‍ය අතරින් යම්කිසි ප්‍රමාණයක් ගොඩට එනවා. එලෙස වාරකන් කාලයේදී මුහුදු පත්ලේ සිට ගොඩබිමට අපද්‍රව්‍ය අතරින් වැඩිපුරම තැඹිලි කෝම්බ, දර කෝටු, සෙරප්පු, සපත්තු ආදිය තමයි තියෙන්නේ. නමුත් පසුගිය කාලයේදී එම අපද්‍රව්‍ය තිබුණේ නැහැ. ඒ වෙනුවට වෙරළ තීරයට ආ අපද්‍රව්‍ය අතරින් වැඩි වශයෙන් අලුත් සහ පරණ පොලිතින් යන ප්ලාස්ටික් දෙවර්ගයම තිබුණා.
යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.
ගල්කිස්ස මුහුදු තීරයට ගොඩගැසුණු කුණු කසළ පිළිබඳව අදාළ අංශ වෙත ඔවුන් කරුණු ඉදිරිපත් කර මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස දැනුම් දී ඇත. ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳව සොයාබැලීමක් සිදු කළ ද තවමත් මේ කුණු කසල මුහුදට මුදාහැරි පිරිස හෝ කණ්ඩායමක් හඳුනාගෙන නැත.
මේ මුහුදු වෙරළට ගසාගෙන ආපු කුණු කසළවල බොහෝමයකින් ප්ලාස්ටික් සහ පොලිතින් තමයි තියෙන්නේ. මේ වනතුරුත් පොලීසිය, නගර සභාව වගේම ස්වෙච්ඡා පිරිස පැමිණ මේ කුණු කසළ ඉවත් කරන්නට උත්සාහ ගන්නවා. ගල්කිස්ස මුහුදේ දිගටම ගල් පරයක් තියෙනවා. ඒ ගල්පරයේ කාලයක සිටම මේ කුණු බැඳිලා තියෙන්නේ. පසුගිය කාලයේදී වැලි ගොඩ දැමීම සිදුවුණ නිසා මුහුදේ වැලි නොමැතිකම නිසා ඒ පැත්තට රුල්ල ගමන් කරද්දී ගල්පරයේ රැඳුණු කසල ගලවාගෙන ගොස් වාරකන් නිසා රැල්ලක් සමඟ මුහුදු වෙරළට ගසාගෙන එනවා. මීට පෙර මේ තරම් කුණු කසල ප්‍රමාණයක් මුහුදට ගොඩගසලා නැහැ.
නම හෙළි නොකළ පොලිස් නිලධාරියෙක් දේශයට පැවසීය.
පසුගිය දිනෙක නැවත වරක් අපි ගල්කිස්ස මුහුදු තීරයට ගියෙමු. තවමත් මුහුදේ සිට වෙරළ තීරයට කුණු කසළ ගසාගෙන එය අයුරු දැකගන්නට හැක. ඒ බොහෝමයක් පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ය. මෙය ඩෙංගු මදුරුවන්ට හොඳ තෝතැන්නක් වී තිබේ. මුහුදු ජලය පිරුණු කුඩා ප්ලාස්ටික් බඳුන් ඒ අතරේ ඕනෑතරම්ය.
මේක ලේසි වැඩක් නෙවේ. අදත් අපි මහ කුණු කන්දක් ඇද්දා. හිතුවට මේ පොඩි ප්ලාස්ටික්, පොලිතින් කුණු අදින එක ලේසියි කියලා.. ඒක හරි අමාරු වැඩක්. මුහුදු වතුරත් එක්ක එකතු කරලා කූඩයකට දාගෙන ඈත තියෙන තැනකට ගෙන යන එක හරි අමාරුයි. ඒත් ඉතින් මොනවා කරන්නද? මේක අපේ රස්සාවනේ.
ගිනි ගහන අව්වට පිච්චෙමින් වැලිත් එක්ක එකතු වුණු පොලිතින් අපද්‍රව්‍ය උරහිසේ එල්ලුණ ආධාරකයෙන් වරින් වර ගෙන යන සේවකයන්ගේ මුහුණේ ඇති කලකිරීම වචනවලට විස්තර කළ නොහැකිය.
මුහුදු වෙරළ ආසන්නයේ ඇති හෝටල් තම ව්‍යාපාරික ස්ථානවල එකතු වන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කළද ඇතැම් කුඩා හෝටල් මෙම අපද්‍රව්‍ය බැහැර කරන්නේ මුහුදු වෙරළටය. කල් යද්දී එය මුහුදත් සමඟ එකතු වේ.
ගල්කිස්සට යෙදවූ වැලි පෝෂක ක්‍රියාවලිය හේතුවෙන් මෙලෙස මුහුදේ ඇති අපද්‍රව්‍ය වෙරළට ගොඩගසා ඇති බව ඇතැම්හු චෝදනා කරති. එබැවින් මෙම වැලි පෝෂක ක්‍රියාවලිය ඉතා අසාර්ථක වැඩපිළිවෙළක් බව ඔවුහු පෙන්වා දෙති.
වැලි පෝෂක ක්‍රියාවලිය කරන්නට පෙර මුහුද පිළිබඳව අපි සොයාබැලීමක් සිදුකළා. ඒ වෙලාවේ ඔහොම කුණු තිබුණේ නැහැ. වැලි පෝෂණය අපි එක දවසින් කළ ව්‍යාපෘතියක් නෙවේ. ඒකට සති කිහිපයක් ගතවුණා. කුණු මුහුදේ තිබුණානම් එම ක්‍රියාවලිය සිදුකරද්දී කුණූ පේනවා. උඩ මතුවෙනවා. ඒ සියලුම ක්‍රියාවලීන් පිළිබඳ ගත්තු ඡායාරූප අපිට තියෙනවා. ඒ කිසිම තැනක ඔහොම කුණු මතුවුණේ නැහැ. එහෙම කුණු ආවනම් මෙහෙම අලුත් කුණු වෙන්නෙත් නැහැ. මේ මාස දෙක ඇතුළත කළුතර කැලිඩෝ, රත්මලාන සහ ගල්කිස්ස අපි මේ වැලි පෝෂක ක්‍රියාවලිය සිදුකළා. නමුත් ඒ කිසිදු තැනක මෙහෙම වුණේ නැහැ. මේ කුණු කසල වෙරළට ගසාගෙන ඒමට වැලි පෝෂක ක්‍රියාවලියේ කිසිදු සම්බන්ධයක් නැහැ.
යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ වැඩිදුරටත් දේශයට පැවසීය.
කෙසේ වුවද පෙර තරම් නොවුවද දැනටත් මුහුදේ සිට කුණු අපද්‍රව්‍ය ගල්කිස්ස මුහුදු වෙරළට ගසාගෙන එයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් ගල්කිස්ස මුහුදු තීරය මෙලෙස අපවිත්‍ර වූයේ කාගේ වරදින්ද?
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ : සුමුදු හේවාපතිරණ