2020 ජුනි 13 වන සෙනසුරාදා

යූරියා මිටි 5 ක් ගන්න කිලෝමීටර් 25 ක් යන්න වුණා

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

පොළොන්නරුවේ පොහොර ගැටලුව

තම ගොවිබිම්වල කරන වගාවන්ට යෙදීමට අවශ්‍ය පොහොර වර්ග වෙළෙඳපොළේ මිලදී ගන්නට නැතැයි ගොවි ජනතාව කියා සිටිති. වී වගාව සඳහා රජය නොමිලයේ දෙන පොහොර සම්බන්ධව ද ගැටලු තිබෙන බව ඔවුහු කියති. පවතින එම පොහොර හිඟය සම්බන්ධයෙන් නැගෙන මැසිවිලි මේ දිනවල නිතරම පාහේ අසන්නට ලැබේ. ඇතැම් පෙදෙස්වල ගොවීන් පොහොර ඉල්ලා කරන වීදි සටන්, ගොවි උද්ඝෝෂණ ආදිය ද දක්නට ඇත. යල කන්නය ආරම්භයටත් පෙර සිට මාස් කන්නයේ අස්වනු නෙලන සමයේදීම ඉදිරි යල කන්නය සඳහා කලට වේලාවට පොහොර ටික ලබා දෙන්නැයි වගකිවයුතු අංශවලින් කොතෙකුත් ඉල්ලීම් කළ ද එය සාර්ථක නොවූ බව ගොවි ජනතාව සහ ගොවි නායකයෝ පෙන්වා දෙති. එය ඉටු කිරීමට රජයේ අදාළ වගකිවයුත්තෝ සැවොම අපොහොසත් වූ බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. කෙසේ නමුත් මෙදා යලේ කුඹුරට පොහොර නැතිවීමේ ප‍්‍රතිවිපාකය ලෙස අස්වනු අඩුවී අතමිට හිඟවීමට මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ තමන්ට බව ගොවීහු හැඬූ කඳුළින් යුතුව පවසති.

වී වගාවට අවශ්‍ය පොහොර රජය මගින් නොමිලයේ ගොවීන්ට ලබා දෙන නමුදු අතිරේක බෝග වර්ග සහ වෙනත් වගාවන්ට එම සහනය ඇත්තේ නැතැයි ගොවි ජනතාව පවසති. වී වගාව සඳහා නිර්දේශ කර දැනට සපයනු ලබන පොහොර ද වගාවට ප‍්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන ගොවීහු වගාවට සරිලන පරිදි පොහොර යෙදීමට මුදල් ගෙවා හෝ ලබාගන්නට ඒවා වෙළෙඳපොළේ නොමැතිවීම බලවත් ගැටලුවක් යැයිද කියති. මේ අතර රජය මගින් නොමිලයේ දෙන පොහොර කලට වේලාවට නොලැබුණු බවද ගොවීන් නගන තවත් චෝදනාවකි. විශේෂයෙන්ම වී වගාවට යොදන මූලික පොහොර වගාව පිහිටුවන අවස්ථාවේ කුඹුරට යෙදීමට පොළොන්නරැව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ට නොලැබුණු බවත් එම නිසා මෙවර යල කන්නයේ ගොවීන් බොහෝ දෙනකු වී වගා කළේ මූලික පොහොර හෙවත් මඩ පොහොර නොයොදා බවද ඔවුහු කීහ.

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඒ සම්බන්ධයෙන් අප සමඟ මෙසේ පැවැසීය. 

“අපේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් මේ වතාවේ පොහොර සපයා ගැනීමේදී ප‍්‍රශ්න රාශියකට මුහුණ දුන්නා .එකක් තමයි වී වපුරන අවස්ථාවේ යොදන මූලික පොහොර, එහෙමත් නැත්නම් මඩ පොහොර අවශ්‍ය වෙලාවට ලැබුණේ නෑ. ගොඩක් ප‍්‍රමාද වුණා .ඒ නිසා වැඩි දෙනෙක් මූලික පොහොර නැතිවයි වී වගා කළේ. දැන් ගොයමට මාස එකහමාරකට වැඩිය වයසයි. දැන් තමයි මඩ පොහොර දෙන්නේ. අනෙක් කාරණය මේ වතාවේ රජයේ පොහොර නිර්දේශය පිළිබඳව තියෙන ගැටලු. රජය නිර්දේශ කරලා තියෙන පොහොර ප‍්‍රමාණය කොහොමටවත් වී වගාවට සෑහෙන්නේ නෑ. මේ ප‍්‍රමාණය පොහොර යොදලා අපේක්‍ෂිත අස්වැන්න ගන්න බෑ. අක්කරයක වී වගාවට දැන් දෙන්නේ යූරියා කිලෝග‍්‍රෑම් 81 යි. ටී.එස්.පී. කිලෝ 10 යි. එම්.ඕ.පී. කිලෝග‍්‍රෑම් 20 යි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන ප‍්‍රමාණය මෙතැන නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අක්කරයක වී වගාව සඳහා යූරියා කිලෝග‍්‍රෑම් 90 ක්. ටී.එස්.පී කිලෝග‍්‍රෑම් 22 යි. එම්.ඕ.පී. කිලෝග‍්‍රෑම් 24 යි. තවත් ප‍්‍රශ්නයක් තිබෙනවා. කාබනික පොහොර යොදන්න කියලා කියනවා. නමුත් ගොවියා කොහොමද කාබනික පොහොර සපයා ගන්නේ. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි .එහෙම නැතුව මේ පොහොර නිර්දේශය අඩු කිරීමෙන් ගොවියාගේ අතමිට නිසරු වෙනවා. ණය තුරුස් ගෙවාගන්න බැරි තත්ත්වයට පත්වෙලා අන්තිමේ ගොවියා ගොවිතැනින් ඈත්වෙනවා. රජය බලාපොරොත්තු වෙන අස්වැන්න නොලැබී යාම තුළ අනිවාර්යයෙන්ම සහල් පිටරටින් ගෙන්වන්න සිද්ධ වෙනවා. මේ වගේ ප‍්‍රශ්න රාශියක්. ඒ නිසා මේ ප‍්‍රශ්නයට නිසි විසඳුමක් රජය මැදිහත්වෙලා ලබා දිය යුතුයි. එහෙම නොකළොත් ගොවියාත් ගොවිතැනත් වළපල්ලේ.’’

පොළොන්නරුව, විජයබාහුපුර ප‍්‍රදේශයේදී අපට මුණගැසුණු අයි.ඒ. විල්සන් (56) ගොවි මහතා 

‘‘මේ වතාවේ වී වපුරන වෙලාවේ මඩ පොහොර අපිට ලැබුණේ නෑ. ගොඩක් පහුවෙලා ලැබුණේ. ලැබෙන පොහොර ප‍්‍රමාණයත් හොඳටම මදි. මෙහෙම පොහොර යොදල හොඳ අස්වැන්නක් ගන්න බෑ. අපි අත්දැකීමෙන් කියන්නේ. ලොකුම ප‍්‍රශ්නේ තමයි පෞද්ගලික කඩවල පොහොර සල්ලිවලට ගන්නත් නෑ. මම යූරියා මිටි 05 ක් අද ගත්තේ කිලෝමීටර් 25 ක් දුර වැලිකන්දේ සෙවණපිටියට ගිහිල්ලා පොහොර මිටියක් රුපියල් 1300 ගාණේ. ත‍්‍රීවීල් එකක් රුපියල් 2000 ක් ගන්නවා සෙවණපිටියට යන්න. අපි ඉල්ලන්නේ සල්ලිවලට හරි අවශ්‍ය පොහොර ගන්න පහසුකම හදල දෙන්න කියලයි. කල් පහුවෙලා පොහොර වගාවට යොදලා වැඩක් නෑ. දැනටමත් පොහොර නැතුව ගොයම කහ පාට වෙලා.’’ 

පොළොන්නරුව, අලුත්වැව ගොවි සංවිධානයේ සභාපති පී.කේ.ඩී. විජේරත්න මහතා

‘‘ගොවීන්ට පොහොර ටික හරියට කලට වේලාවට ලැබෙන්නේ නැත්නම් කොහොමද ගොවිතැන් කරන්නේ. දැන් ගොයමට දවස් හතළිහයි. මඩ පොහොර ලැබුණේ ඊයේ පෙරේදා. ගොවියට ගොවිතැනට වුවමනා පොහොර ටික වෙලාවට දෙන්න ඕන. ඒ වගේම දැන් මේ තියෙන සංකීර්ණ තත්ත්වයෙන් නැතුව පහසුවෙන් ලබාගන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. නිලධාරීන් ගණනාවක් පස්සේ යන්න ඕන. ඉල්ලුම්පත‍්‍ර පුරවන්න  ඕන. ඒක ගොවියා අනවශ්‍ය අපහසුතාවකට පත් කිරීමක්. එහෙම නැතුව ගොවියා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක ප‍්‍රධාන පංගුකාරයෙක් හැටියට සලකලා යම්කිසි අභිමානයක් ඇතිවෙන විදියට ගොවිතැනට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි කියලයි අපි කියන්නේ. දැන් ගොවියා යාචක තත්ත්වයට පත් කරලා. නිලධාරීන් පස්සේ ගිහින් යාදිනි කරන්න වෙලා දෙන පොහොර ටිකත් අරගන්න. කොහොමටත් මේ දෙන පොහොර ප‍්‍රමාණයත් වී වගාවට මදි. ඒ ප‍්‍රශ්නය හැමෝම ඉදිරිපත් කරනවා. වසවිස නැති කාබනික ගොවිතැනට අපි එකඟයි. නමුත් කොහේද කාබනික පොහොර තියෙන්නේ. ඊට ගැලපෙන වී ප‍්‍රභේද කෝ? දැන් මේ තියෙන දෙමුහුන් බීජ වර්ගවලට රසායනික පොහොර අනිවාර්යයෙන් යොදන්න ඕන. තවත් කාරණයක් තියෙනවා. ගොවීන් විශාල පිරිසක් අතිරේක බෝග වගාවට යොමුවෙලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය පොහොර වර්ග ලබාගන්න විදියක් නෑ. උදාහරණයක් ගත්තොත් මේ ප‍්‍රදේශයේ බීලූනු වගා කරන ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට වී වගාව සඳහා නිර්දේශිත පොහොර මිශ‍්‍රණය දීලා වැඩක් නෑ. නමුත් දැන් දෙන්නේ ඒ පොහොර මිශ‍්‍රණය. ඉතින් මේවා තමයි තිබෙන ප‍්‍රධාන ගැටලු. රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ ගැටලුවලට නිසියාකාරව විසඳුම් දෙන්නේ නැතුව දේශීය ආහාර බෝග වගා සංග‍්‍රාමය සාර්ථක කර ගන්න ලැබෙන්නේ නෑ’’.

ඇළහැර මහ ගොවි ජනපදයට අයත් ඉකිරිවැව ගොවි සංවිධානයේ සභාපති, ඩබ්ලිව්.එස්.එම්. ලක්‍ෂ්මන් ප‍්‍රියදර්ශන මහතා 

‘‘ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරුවලට මේ යල කන්නයේ වී වගාව සියයට 60 යි කෙරෙන්නේ. ඉතිරි සීයට හතළිහ අතිරේක බෝග වගාවටයි වතුර ලැබෙන්නේ. ඒ නිසා දිස්ත‍්‍රික්කයේ අනෙක් ගොවිජනපද ව්‍යාපාරවලට වඩා වැඩි ප‍්‍රමාණයක් ඇළහැර අතිරේක බෝග වගා කරනවා. ඒ අනුව රටකජු, මුංඇට, කව්පි, බඩඉරිඟු, වට්ටක්කා, කොමඩු, මේ ආදී දේවල් වගා කරනවා. අපට වී වගාව සඳහා අවශ්‍ය නොමිලයේ දෙන පොහොර ලැබුණා. නමුත් අතිරේක බෝගවලට පොහොර සල්ලිවලට ගන්න වෙලා තියෙන්නෙ. ඒක ගන්න බකමූණ ගොවිජන සේවා මධ්‍යස්ථානයට යන්න ඕන. මෙතන ඉඳලා කිලෝමීටර් 17 ක් තියෙනවා. ත‍්‍රීවිල් එකක් ගියොත් කුලිය රුපියල් 1000 ක් ගන්නවා. පොහොර මිටියක ගාණ රුපියල් 1150 යි. ඒකත් එළවළු හෝ අතිරේක බෝග සඳහා නිර්දේශිත පොහොර නෙවෙයි. මේ ළඟදී ගොවි මහත්තුරු 1150 ගාණේ පොල් පොහොර ගෙනල්ලා එළවළු, අතිරේක බෝග වගාවලට දැම්මේ. නමුත් පොල්වලට යොදන පොහොර කොයිතරම් දුරට මේ කෙටිකාලීන බෝගවලට හරියනවද කියන්න අපි දන්නේ නෑ.’’ 

මේ දිනවල පවතින උග‍්‍ර පොහොර හිඟය සහ පොහොර නිර්දේශය ප‍්‍රමාණවත් නැති බවට ගොවි මුවින් උස්ව නැගෙන මැසිවිලි පිළිබඳව අප ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පොළොන්නරුව දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්‍ෂ විමල් කුමාර කත‍්‍රිආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවැසීය. 

‘‘වී වගාවට රජයෙන් නොමිලයේ ලබදෙන පොහොර සඳහා දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුව කුඹුරු හෙක්ටයාර 63861 ක් නිර්දේශ කර තිබුණා. ඒ කුඹුරු ප‍්‍රමාණය සඳහා ලබාදිය යුතු පොහොර මේ වනවිට දිස්ත‍්‍රික්කයේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කර අවසන්. මූලික පොහොර නිකුත් කිරීමේදී යම්කිසි ප‍්‍රමාදයක් සිදුවුණා කොරෝනා ප‍්‍රශ්නය නිසා පොහොර තොග ලැබීමේදී ඇතිවූ ප‍්‍රමාද නිසා. පොහොර නිර්දේශයට අනුව අක්කරයකට යූරියා කිලෝ 205 ක්, එම්.ඕ.පී. කිලෝ 53 ක් සහ ටී.එස්.පී. කිලෝ 25 ක් වශයෙනුයි ලැබෙන්නේ. කලින් ටී.එස්.පී කිලෝ 50 ක් දුන්නා. නමුත් දැන් පර් යේෂණ මගින් හඳුනාගෙන තිබෙනවා පසට යෙදිය යුතු පොහොර ප‍්‍රමාණයන්. ඒ අනුවයි පොහොර නිර්දේශය සකස් කර තිබෙන්නේ. එමෙන්ම කාබනික පොහොරවලට යොමුවීම සඳහාත් පොහොර ප‍්‍රමාණය අඩු කළා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂතුමා සමඟ සාකච්ජා කරලා ගොවි ජනතාවගේ ඉල්ලීමට අනුව අක්කර 01 ක් සඳහා යූරියා කිලෝග‍්‍රෑම් 50 ක් රුපියල් 1000ක සහන මුදලකට ලබල දෙන්න තීරණය කළා. මේ යූරියා ප‍්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 3000 ක්. නමුත් ගොවි ජනතාවට එය රුපියල් 1000ක මුදලට ලබා දෙනවා සහන මිලකට.’’

මේ අතර අතිරේක බෝග වගාව සඳහාත් අමිශ‍්‍ර පොහොර රැපියල් 1000, 1150 වැනි මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා කීය.

දේශීය වී වර්ග වගා කරමින් තිබූ රටට බත සපයන අපේ ගොවිබිමට අදින් දශක තුන හතරකට පෙර පැවැති තත්ත්වයට වඩා දැන් බොහෝ වෙනස්ය. බොහෝ දෙනා මෙකල තම කුඹුරැවල වගා කරනු ලබන්නේ දෙමුහුන් වී වර්ගය. එම වී වර්ග සඳහා රට පොහොර හෙවත් රසායනික පොහොර ද අනිවාර්යය. එම නිසා රසායනික පොහොර නොයොදා කුඹුරු වගා කිරීමේ හැකියාවක් නොමැත. එසේ පොහොර නැතිව වගා කළ ද සාර්ථක අස්වැන්නක් ලැබිය නොහැකි බව ඒකාන්ත යැයි ගොවි ජනතාව පවසනුයේ සිය හසල අත්දැකීම් ද ඇතිවය. මෙදා යලේ අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු රජරට මෙන්ම දිවයිනේ වී වගා කරන බොහෝ දිස්ත‍්‍රික්කවල ගොවි ජනතාවට මූලික පොහොර පසට නොයොදා මෙවර වී වගා කරන්නට සිදුවිණි නම් සහලින් රට ස්වයංපෝෂිත වීම බොහෝදුරට සිහිනයක් පමණක් විය හැකි යැයි එම ගොවීහු කියා සිටිති.

 කරුණාරත්න ගමගේ