ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගෙන් අයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා උතුරේ ඩෑන් ටීවී නමැති ප්‍රාදේශික රූපවාහිනි නාළිකාවකට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල විශාල කලබගෑනියක් ඇති වී තිබේ. ඔහු එම ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජන්දය නොදෙන ලෙසට ප්‍රකාශ කර ඇතැයිද ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස එවැනි ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ තත්ත්වයක් බවද පොදුජන පෙරමුණට සම්බන්ධ බොහෝ පිරිසකගේ චෝදනාව වී තිබේ.
හූල්ගේ යුතුකම හා වගකීම වන්නේ ස්වාධීන හා අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීමයි. එහෙත් දැන් පවතින තත්ත්වය අනුව සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ හැකිද? ස්වාධීන නිදහස් මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කරන බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 169 සී වගන්තිය අනුව සාපරාධි වගකීම මහාචාර්ය හූල්ට ආරෝපනය කිරීම සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වී තිබෙනවා යැයි පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මහාචාර්ය හූල්ගේ හැසිරීම ස්වාධීන කොමිෂන් සභාවකට ගැලපෙන බවට කොමිෂන් සභාව විශ්වාස කරනවාද? එසේ නොමැතිනම් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද? ඔහුගේ ප්‍රකාශ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශාල අසාධාරණයක් සිදු වූ බව මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නවාද? යනුවෙන් ප්‍රශ්න කර සිටී.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනුයේ මෙවැනි අදහසකි. ආචාර්ය හූල් ප්‍රකාශ කර ඇත්තේ තම ප්‍රකාශයෙන් කිසිදු පක්ෂයක් අගතියට පත්වන දෙයක් පවසා නොමැති බවයි. ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු විදිහට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු හෝ අගතියට පත්වන ආකාරයේ හෝ ප්‍රවර්ධනයට පත්කරන ආකාරයේ ප්‍රකාශයක් කර නොමැති බව පවසනවා. අපි ඔහු සමඟ එකට වැඩ කරනවා. ඔහු පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. කෙසේ වුවත් දැනට අපි මහාචාර්ය හූල් ප්‍රකාශ කරන දේ විශ්වාස කරනවා. ඔහුගේ ප්‍රකාශයේ නිශ්චිත පරිවර්තන අප කියවා බලා තීරණයක් ගන්නවා.යි සඳහන් කළේය.
මේ සම්බන්ධයේ මහාචාර්ය රත්නජීවන් හූල් මාධ්‍ය්‍යට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මීට වසර දෙකතුනකට ඉහත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මාර්තු 12 ව්‍යාපාරයේ රුස්වීමක් පැවැත්වුණා. එයට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ද සහභාගී වී සිටියා. මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රතිපත්ති අප විසින් අනුමත කරනු ලැබුවා. දූෂිත පුද්ගලයන්ට ඡන්දය නොදිය යුතුය, සුරාසල් හිමියන්ට ඡන්දය නොදිය යුතුය, ප්‍රචණ්ඩකාරී පුද්ගලන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකළ යුතුය වැනි කරුණු එම ප්‍රතිපත්තිවලට ඇතුළත් වුණා. මම ප්‍රකාශ කළේ මේ කරුණුයි. කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ නොකරන්නැයි මා ප්‍රකාශ කළේ නැහැ. මම අත්දැකීම් බහුල පුද්ගලයෙක් බැවින් එවැනි දෙයක් කිසිවිටෙක ප්‍රකාශ කරන්නේ නැහැ. යනුවෙනි.
කෙසේ වුවද මහාචාර්ය හූල් පොදුජන එක්සත් පෙරමුණට ඡන්දය නොදිය යුතු බවට වන ප්‍රකාශයක් කළේ යැයි කියමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්විණි. මහාචාර්ය රත්නජීවන් හූල්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ව්‍යස්ථාදායක සභාව විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් වෙන වෙනම වාර්තා දෙකක් කැඳවා ඇති බවට වාර්තා වේ.
මහාචාර්ය රත්නජීවන් හූල් විසින් වරින්වර කරන ප්‍රකාශ සහ පක්ෂග්‍රාහීව ඔහු හැසිරෙන ආකාරය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වන හිටපු කතානායක කරු ජයසූරිය වෙත විවිධ පිරිස් විසින් මේ වනවිට පැමිණිලි කර ඇතැයිද ඒ අනුව මහාචාර්ය හූල් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා මෙලෙස වාර්තා දෙකක් කැඳවා ඇතැයිද වාර්තා වේ. පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ලබාදෙන වාර්තා දෙක අනුව මහාචාර්ය හූල් පිළිබඳව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බවද පැවසෙයි.
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුව හිඳිමින් ඔහු තම මතය අනුව කටයුතු කරන බවට මින් ඉහත අවස්ථා කිහිපයකදීම මහාචාර්ය හූල් වෙත චෝදනා එල්ල විය. මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වන මහින්ද දේශප්‍රියත්, නලින් අබේසේකරත් ඡන්දයට දිනයක් නියම කළ යුතු බවට තීරණය කර තිබියදී දැන්ම දිනයක් තීරණය නොකළ යුතුය යන්න ඔහුගේ මතය විය. ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණයටද ගිය අතර ඔහු වෙනුවෙන් වෙනම නීතීඥයකුද, මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වෙනුවෙන් වෙනත් නීතිඥයකුද පෙනී සිටි අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා වෙනුවෙන් නීතිඥයන් දෙදෙනකු පෙනී සිටීම පිළිබඳවද දේශපාලන ක්ෂේත්‍රයෙන්ද විද්වත් සමාජයෙන්ද ප්‍රබල ලෙස විවේචන එල්ල විය.
ඉන්පසු ඔහුට විරෝධතාවක් මතුවූයේ විදේශගතව සිට ලංකාවට පැමිණි සිය දියණිය මැතිවරණ කොමිෂන් සභාවට කැඳවාගෙන පැමිණි හෙයිනි. කෙසේ වෙතත් ඔහුගේ දියණිය දින 14ක නිරෝධායනයකට ලක්වීමෙන් පසු යාපනය බලා යෑමට පෙර එම කාර්යාලයට පැමිණි බවට තහවුරැ වුවද එය මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය නොසන්සුන්තාවට පත්කළ කරැණක් විය.
මේ වනවිට මතභේදකාරී චරිතයක් බවට පත්ව සිටින මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් නොහොත් රත්නජීවන් හූල් යනු කවරෙක්ද? 1952 සැප්තැම්බර් 15 දින ඔහු වේයන්්ගොඩදී උපත ලද බව පැවසේ. හූල්ගේ පියා දේවගැති රිචඩ් හර්බට් රත්නතුරෙයි හූල්ය. ඔහු එවක ලංකා සභාවේ වේයන්ගොඩ මීසම භාර දේවගැතිවරයා වූ අතර පසුව නල්ලූර්දේවස්ථානයේ දේවගැති පදවියට පත්විය. හූල්ගේ මව ජීවමනී සෝමසුන්දරම්ය. නල්ලූර් සී.එම්.එස්. කනිටු පාසලෙන් සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 1970 දී ඔහුට විශ්වවිද්‍යාල වරම් හිමිව පේරාදෙණි විශ්වවිද්‍යාලයට තේරී පත්වුවද ඒ වනවිට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දමිළ සිසුන් නියමිත ප්‍රමාණය ඉක්මවා සිටි හෙයින් ඔහු කටුබැද්ද ලංකා තාක්ෂණික විද්‍යාලයට ඇතුළත් කෙරිණි. පසුව ඔහු කටුබැද්ද විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරුවකු ලෙස බීඑස්සී උපාධිය හිමිකර ගත්තේය. ඒ 1975 වසරේය. 1977දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධියද, 1983 කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද හිමිකරගත් හූල්, 1993දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් තවත් ආචාර්ය උපාධියක් වන ඩීඑස්සී (Doctor of Science) උපාධියද ලබා ගත්තේය.
උපාධියෙන් පසු ඔහු කෙටිකලක් කටුබැද්ද විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළේය. 1976දී සිංගප්පූරැ සමාගමක ඉංජිනේරුවකු ලෙස සේවයට බැඳුණේය. පසුව ඔහු නයිජීරියාවේ ඉබදාන් පොලිටෙක්නික් ආයතනයේ කථිකාචාර්යවරයෙක් ලෙසද කලක් සේවය කළේය. ලෝකයේ ප්‍රචලිත විශ්වවිද්‍යාල කිහිපයකම කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ හූල් තොරතුරු තාක්ෂණය පිළිබඳ යුනෙස්කෝ මහාචාර්යවයෙක් ලෙසද කටයුතු කළේය.
මහාචාර්ය හූල් 1999දී යළි ශ්‍රීලංකාවට පැමිණියේ රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම සඳහාය. පසුව ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. 2003–2006 කාලය තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය. මේ කාලයේ ඔහු විශ්වවිද්‍යාලවලට අසාධාරණ ලෙස කළ පත්වීම්වලට එරෙහිව හඬනැඟූ “යහපාලනය සඳහා වූ මහජන ව්‍යාපාරයේ” සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර ඇතැම් විරෝධතා හේතුවෙන් ඔහුට විනය පරීක්ෂණවලට පවා මුහුණ දීමට සිදුවිය.
හූල් විවාහ වූයේ ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ දුෂ්‍යන්ති නම් තරැණියක සමඟිනි. ඔවුනට දියණියන් තිදෙනකු හා එක් පුත්‍රයෙක් සිටී. ඔහුගේ සොහොයුරා ආචාර්ය රාජන් හූල්ය. මහාචාර්ය රත්නජීවන් හූල් ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි.
2006 ජනවාරියේදී යාපනය විශ්වවිද්‍යාලයේ සෙනෙට් සභාව මගින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා නම් කරන ලද තිදෙනාගෙන් කෙනෙකු වූයේ මහාචාර්ය හූල්ය. 2006 මාර්තු මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු උපකුලපති ලෙස පත් කළේය. එහිදී හූල්ට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් තර්ජන එල්ල විය. ඔහු එම තනතුර භාර ගන්නේ නම් යළි නිවෙසට යෑමට සිදුවන්නේ “හිස නැතිව පෙට්ටියක යැයි කොටි සංවිධානය පවසා තිබිණි. ඔහුට වැඩ භාරගැනීමට නියමිත වූයේ 2006 මාර්තු 15 වැනි දිනය. එහෙත් එදින ඔහු සිය රාජකාරි භාර නොගත් හෙයින් ඔහුගේ පූර්වගාමියා වූ එස්. මොහානාදාස් වැඩබලන උපකුලපති ලෙස පත්කරන ලදී. හූල් වවුනියා විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය. එල්ටීටීඊ සංවිධානයෙන් එල්ල වූ ජීවිත තර්ජන උග්‍ර වූ බැවින් හූල් සහ ඔහුගේ පවුල 2006 අප්‍රේල් 20 වැනි දින ශ්‍රී ලංකාවෙන් නික්ම ගියෝය. 2006- 2008 කාලයේ මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ හා ඩ්‍රෙක්සල් විශ්වවිද්‍යාලයේද, 2008 සිට 2010 දක්වා රෙන්සෙලර් පොලිටෙක්නික් ආයතනයේද ඉංජිනේරු හා විද්‍යා මහාචාර්යවරයෙක් ලෙස ඔහු සේවය කළේය.
ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණියේ 2009 එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුය. යාපනය විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරැ පීඨය පිහිටුවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා 2010 සැප්තැම්බර් මාසයේ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. 2010 දෙසැම්බරයේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සෙනෙට් සභාව යළිත් වරක් එහි උපකුලපති ලෙස නම් කරන ලද තිදෙනා අතරට ඔහුගේ නමද එක්කර තිබිණි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු උපකුලපති ධුරයට පත් නොකළ අතර ඒ වෙනුවට පත් කෙරැණේ වසන්ති අරසරත්නම්ය.
2011 පළාත් පාලන මැතිවරණයේදී ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතුරු සන්නද්ධ කණ්ඩායම් යොදාගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව හූල් වාර්තාවක් ඉදිරිපත් කළේය. තමාට අපහාසාත්මක චෝදනාවක් කර ඇතැයි ඩග්ලස් දේවානනන්ද පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව 2011 අගෝස්තු 02 වැනි දින හූල්ට පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට සිදු විය. 2011 අගෝස්තු 4 වන දින ඔහුට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වනු ලැබිණි. හූල් අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ වෙනුවට ඔහුගේ නීතිඥයා වූ එන්. ශ්‍රීකාන්ත යැවීය. 2011 අගෝස්තු 15 වැනි දින ඔහු අධිකරණයේ පෙනී නොසිටින්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට කයිට්ස් අධිකරණයේ මහේස්ත්‍රත්වරයා වරෙන්තුවක් නිකුත් කළේය. අත්අඩංගුවට පත්වනු ඇතැයි බියවූ හූල් දෙවැනි වරටත් ශ්‍රී ලංකාවෙන් පලා ගියේය.
එලෙස රටින් පලා ගිය හූල් යළි ශ්‍රී ලංකාවට පැමිණියේ 2015 ඇතිවූ ආණ්ඩු පෙරළියෙන් පසුය. යහපාලන රජය 19 වැනි සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසුව එහි එක් සාමාජිකයෙක් ලෙස හූල් පත් කරනු ලැබීය.
රත්නජීවන් හූල් සම්බන්ධයෙන් ඔහුගේ විරුද්ධවාදීන් විවිධ ප්‍රචාර පතුරා තිබේ. හූල් නයිජීරියාවේ සිටි කාලයේ එල්ටීටීඊ සංවිධානය සඳහා අරමුදල් එකතු කළ බවටත්, ශ්‍රී ලංකාවේ දෙමළ ගුරැවරැනට නයිජීරියාවේ රැකියා සපයාදී ඔවුන්ගෙන් විශාල මුදලක් එකතු කරගත් බවටත් ඇතැම්හු සඳහන් කරති. ඔහු එම මුදල් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයකුට අයත් පෞද්ගලික ජෙට් යානයකින් එල්ටීටීඊ සංවිධානයට එවූ බවට ඇතැම්හු චෝදනා කරති. පසුව නයිජීරීයාවෙන් කැනඩාවට ගිය ඔහු කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය රටින් වෙන්වීම සඳහා කළ අරගලයට සහය දුන් බවද පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් කොටි සංවිධානයට උපකාර කළ ධනවත් ව්‍යාපාරිකයකු වූ රාජරත්නම් සමඟ සබඳතා පැවැත්වූ බවටද තවත් චෝදනාවකි. ඔහුට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිකම හිමි නොවූයේ හින්දු භක්තිකයකු නොව ඇන්ග්ලිකානුවකු වීම නිසා යාපනය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ විරෝධය නිසා යැයිද මොහු එය එල්ටීටීඊ විරෝධතාවක් ලෙස හඟවා රටින් පලා ගිය බවටද ඔහුගේ විරුද්ධවාදීහු චෝදනා කරති.
මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් අපට කිසිවක් ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් හූල් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුව හිඳිමින් කරනු ලබන විවිධ ක්‍රියා හා ප්‍රකාශ නිසා ජනතාව අතර මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව සැකයක් නිර්මාණය වෙමින් තිබේ. විවිධ ප්‍රදේශවල ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විරෝධතා මතුව එයි. එලෙස රට තුළ නිර්මාණය වන හූල් විරෝධය මත තුන්වැනි වරටත් ඔහුට රටින් පලායෑමට සිදුවේදැයි සැකසහිතය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා