2020 ජුනි 13 වන සෙනසුරාදා

අලුතින් ණය අරන් පරණ පව් ගෙවීම

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

වම් අත කරන දේ දකුණත නොදැනීම ප‍්‍රශ්නයකි. මහා භාණ්ඩාගාරය හා මහ බැංකුව සතු දත්තවල නොගැලපීමක් ඇත. රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට රජයේ ණයගැතිභාවය ගැන පරස්පරතාවයක් තිබේ. ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙන් දෙස් විදෙස් ණය ගැනීම මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ එකඟතාවයෙන් සිදුවෙයි. ණය ගැනීම හා ඒවා ගෙවා දැමීම නිසි පිළිවෙළක් ඇතිව කරගෙන යන වගකීම මහා බැංකුව සතුය. එම කාර්යභාරය උදෙසා සම්පූර්ණ නිදහස අණ පනත් මගින් පවරා තිබේ. දේශපාලන මැදිහත්වීම අවමය. 

රට තුළ ඇතිවන අවශ්‍යතා පදනම් කරගෙන දෙස් විදෙස් ණයගැනීම ප‍්‍රශ්නයක් නොවේ. ආදායමක් උපයන පැති වෙනුවෙන් ඒවා වැයකිරීම වැදගත්ය. නිෂ්පාදනය දියුණු කළ යුතු අතර ජනතාවගේ ජීවන මට්ටම සකස් කරන්නට ලබාගන්නා ණය භාවිත කිරීම අවශ්‍යය. ආණ්ඩුව ගන්නා ණය අලුත් ප‍්‍රාග්ධනයක් වශයෙන් සලකා ක‍්‍රියා නොකිරීම බලවත් වරදක් බවට පත්වනු ඇත.

• දෙපැත්තක් හදන ගණන්වල නිරවද්‍යතාවය

මහ බැංකුව සිය 2019 වාර්ෂික වාර්තාව දක්වන පරිදි මෙරට සම්පූර්ණ ණය ප‍්‍රමාණය රු. බිලියන 13,031.5කි. එය පැහැදිලිව දක්වා තිබේ. මහා භාණ්ඩාගාරයට අනුව එය රු. බිලියන 12,180.0ක් බව පෙන්වයි. මෙම දෙපැත්ත සලකා බලන රජයේ විගණකාධිපතිවරයා යම් වරදක් ඇති බව අනාවරණය කර තිබේ. රු. බිලියන 843.5 ක වෙනසක් ඇති බව නිකුත් කරන ලද වාර්තාවක ඇතුළත් කර ඇත. මෙම ආයතන තුනම මහජන මුදලින් නඩත්තු වන වගකිව යුතු අංශ බව දක්වන්නට අවශ්‍යය. මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය යන ආයතනික ව්‍යුහයන්හි සේවය කරන නිලධාරීන්ට දෙපාර්ශවය අතර සන්නිවේදනයක් අවශ්‍යය. ගත් ණය හා ඒවා ගෙවා දමන පියවර ගැන නිතිපතා අවධානය යොමුකළ යුතුය. රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දෙන තෙක් නිසි අවධානයක් යොමු නොකළේ මන්ද?

රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව විමසුමක් පමණකි. ඔහුට ලැබෙන කඩදාසි අනුව සංසන්දනය කර ඔහුට අනන්‍ය වාර්තාවක් හදයි. එයින් කරන විගණන විමසුමට මහ බැංකුවට වෙනස් උත්තරයක් තිබේ. මහා භාණ්ඩාගාරය එයට දෙන පිළිතුර අනෙකක් විය හැකිය. පාර්ශ්ව දෙක තමන්ගේ දත්ත ඇතුළත් කරන ක‍්‍රමය අනුව අඩු ලුහුඬුකමක් නිරීක්ෂණය කළ හැකිය. වගකිවයුතු නිලධාරීන් වශයෙන් රජයේ විගණනයකින් කරුණු හුවා දක්වන තෙක් ප‍්‍රමාද කිරීම වරදකි. තොරතුරු තාක්ෂණ යුගයේදී කාර්ය වේගවත්ය. වරද සිදුවූ තැන සොයාගත හැකිය. එවැනි පියවරක් නොගන්නේ ඇයි?

රජයේ විගණකාධිපතිවරයා සොයාගන්නට කලින් රාජ්‍ය ආයතනවල ඇති අභ්‍යන්තර විගණනය ගැනද පෙන්වා දිය යුතුය. දක්ෂ නිලධාරීහු මෙම අංශවල සේවයෙහි නිරතය. එහෙත් අන්තර් ආයතනික සම්බන්ධතාවයක් නැත. එය ප‍්‍රශ්නයකි. එය ඇතිකරන්නේ කෙසේද යන්න අවධානයට ගෙන නැත. අඩුම වශයෙන් මහ බැංකුව, භාණ්ඩාගාරය හා විගණක අංශ මුලින් තමන්ගේ අඩුලුහුඬුකම් නිරකරණය කර ගැනීමට පියවර ගත යුතුය. ඒවායේ වැරදි සටහන් සමාජයට සන්නිවේදනය වන ආකාරය හා විරුද්ධ දේශපාලනය මවන විකෘතිය රටක ප‍්‍රතිරෑපයට නරකය. ජනතා විශ්වාසයට තර්ජනයකි.

• ප‍්‍රශ්නයක් වී ඇති ණය කළමනාකරණය

ණය වෙනස ගැන උද්ගත වී ඇති තත්ත්වය නිරාකරණය කරගත හැකිය. රජයේ මූල්‍ය විනය ගැන ප‍්‍රශ්නයක් විගණකාධිපතිවරයා මතුකරයි. එය ඉතාම බරපතළය. ව්‍යවස්ථාදායකය ගන්නා තීරණ උල්ලංඝනය වී තිබේ. පාර්ලිමේන්තුව වරින්වර ඇතිවන ණය අවශ්‍යතා පාලනය කරයි. වියදමට අවශ්‍ය පරිදි රජයේ ණය ගැනීම කළමනාකරණය කරයි. එයට පනතක් තිබේ. පනත අනුව උපරිම ණය සීමා පනවා ඇත. විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව ආණ්ඩුව 2019 වසරේදී සීමාව ඉක්මවා ණය ගෙන ඇත. පාර්ලිමේන්තුව අනුමත කර ඇති ණය ප‍්‍රමාණය ඉක්මවීම ගැටලුසහගතය. 

2020 වසරේ ජනවාරි පළමුවැනිදා සිට අප්‍රේල් අවසන් දිනය දක්වා රජයට ණය ගතහැකි ප‍්‍රමාණය රු. බිලියන 721ක් බව පසුගිය වසරේ ඔක්තෝබර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී අනුමත කරගෙන තිබේ. පසුගිය වසරේ පමණක් නොව ගෙවී යන මෙම වසරේද ණය සීමා ඉක්මවා ණයගෙන ඇති බව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා වරක් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර පෙන්වා දුන්නේය. කොවිඩ්-19 වසංගත තත්ත්වයට මුහුණදී ඇති සහ පාර්ලිමේන්තුව විසුරැවා ඇති අවස්ථාවක රජයේ මුදල් අවශ්‍යතා සම්බන්ධයෙන් පසුව අනුමැතිය ලැබෙන තීරණවලට යන්නට බැරිකමක් නැත. නමුත් පාර්ලිමේන්තුව ක‍්‍රියාකාරීව තිබුණ කාලසීමාවේදී ණය ගැනීම සීමාව ඉක්මවන විට එය පෙන්වා දීම ණය කළමණාකරණ විශේෂඥයන්ගේ වගකීමකි. නිලධාරීන් රටට අවශ්‍ය මුදල ගැන අවශ්‍යතාව පෙන්වා දෙන විට නිසි පරිදි ජනවරමට යටත් කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එය පරිපාලනයේ වරදක් බව පැහැදිලිය. 

ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල මෙවැනි වරද සිදුවී ඇති බව පෙනේ. රට තුළ ඇතිවන මුල්‍ය අවශ්‍යතා සලකා බලා ගන්නා තීරණ හා ඒවායේ අඩුලුහුඬු පැති ගැන පරීක්ෂාවෙන් සිටීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ආරක්ෂා කරන පියවරකි.

• ණය ගෙවන්නට ණය ගැනීමෙහි යෙදෙන රටක්

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට අනුව ශ‍්‍රී ලංකාව වේගයෙන් ණය අවදානම් සහිත රටක් කරා ගමන් කරමින් සිටී. පසුගිය වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ණය අනුපාතය සියයට 86.6 ඉක්මවීය. ආර්ථික වර්ධනය අඩාල වී දළ දේශීය නිෂ්පාදිතය පහත වැටෙන විට මෙම අනුපාතය තවත් ඉහළ යනු ඇත. ඉකුත් 2018 හා 2019 යන අවුරැදු දෙක තුළ මෙරට සංවර්ධන වේගය ක‍්‍රමයෙන් අඩාල වූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. පසුගිය අවුරුද්දේ සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප‍්‍රහාරය තද පීඩනයක් ඇති කළේය. එයින් ගැලවෙන පිළියම් යොදන අවකාශය තුළ කොවිඩ්-19 වසංගතය තද බලපෑමක් එල්ලකර තිබේ. එය ආර්ථිකයට විශාල ගැහැටක් වනු නොඅනුමානය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාවකට අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 2020 වසරේ ඍණ අගයක් ගන්නට ඉඩ ඇති බව දක්වා තිබේ. එහෙත් එයට එකඟ නොවෙන මහ බැංකුව සියයට හතරක පමණ වර්ධනයක් අපේක්ෂා කරයි. කෙසේ වෙතත් ආර්ථික වර්ධනයකින් තොරව මෙරට ණය බර පාලනය කළ නොහැකිය.

මහ බැංකුවේ වාර්තා පෙන්වා දෙන පරිදි වසර 2018-2022 දක්වා කාලය තුළදී ආපසු ගෙවන්නට නියමිතව ඇති සම්පූර්ණ ණය ප‍්‍රමාණය රු. බිලියන 14.9 කි. මෙය පහසු ඉලක්කයක් නොවේ. රජයේ ආදායම සීමිත වී තිබේ. බදු කපාහැර ඇත. ආනයන පාලනය කර තිබේ. සංචාරක, ඇඟළුම් වැනි අංශ දුර්වල වී ඇති බව අනාවරණය වෙයි. මෙවැනි පසුබිමක අලුත් ණය ගෙන පරණ ණය ගෙවීම පමණක් නොව අලුතින් ණය ගෙන ජනතාව ජීවත් කරවන්නටද සිදුවනු වැළැක්විය නොහැකිය.

• චෝදනා වෙනුවට දර්ශනයක් නොදෙන්නේ මන්ද?

ආණ්ඩුවේ මූල්‍ය පාලනය තුළ අඩුලුහුඬුකම් තිබේ. එය ඉතිහාසයේ සිට පෙනෙන කරුණකි. ආර්ථිකය හා මූල්‍ය විනය ඇතිකිරීම දේශපාලනයට පමණක් කළ නොහැක. රටට දර්ශනයක් අවශ්‍යය. නිලධාරීන්ට එහි වගකීමක් තිබේ. මැතිවරණයකින් පත්වන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක අභිමතාර්ථ එකකි. රට ගෙන යා හැකි මාවත අනෙකකි. දේශපාලනයට කරන්නට අවශ්‍ය සියලු දේ වෙනුවෙන් දොරටු විවර කිරීම සුදුසු නැත.

ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබේ. රජයේ ආදායම හා වියදම පාලනය කරගත නොහැකිය. මෙම වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට හතක් පමණ විය හැකි බව පැවසේ. මෙවැනි අවස්ථාවලදී ගත හැකි විකල්ප පියවර ගැන අවධානය යොමුකළ  යුතුය. ණය සීමා ඉක්මවා යනවිට එය පෙන්වා දිය යුතු අතර නොගැලපීමක් වාර්තාවන පරිදි ණය ගැනීම කරන විටද රටට සිදුවන්නේ අනර්ථයකි. මහ බැංකුව හා මහ භාණ්ඩාගාරය අතර පවත්වන සාකච්ඡා විධිමත් කළ යුතුව තිබේ. අලුත් ලෝක තත්ත්වයන්ට අනුකූල වන පරිදි ඉක්මන් තීරණ ගත හැකි බුද්ධි මණ්ඩලයක් පිහිටුවීම සුදුසුය. 

රජයේ ණය අවශ්‍යතා සලකන විට ඉතාම ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්නට සිදුවිය හැකිය. මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම ගැන දේශපාලන වේදිකාවේදී විවිධ අදහස් ඇත. එතැනින් එන පාලනය හා කොන්දේසි ඉතා අහිතකර බවට මතයක් තිබේ. දේශීය හෝ විදේශීය වෙනත් බුද්ධි පාර්ශ්වයක කරන මැදිහත්වීම නොමැති අවස්ථාවක පැන නැගී ඇති වාතාවරණය තේරුම් ගැනීම වැදගත්ය. රටේ ප‍්‍රධාන ආර්ථික ව්‍යුහ දෙකක පරස්පරතා තිබේ. මහබැංකුව හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අතරද වෙනස් මානයන් පෙන්වයි. සංවර්ධනය හා උද්ධමනය ගැන දක්වන දත්ත පරස්පරතා සහිතය. තද යාන්ත‍්‍රණයක් රහිත වීම එයට එක හේතුවකි.

 ගාමිණී සරත් ගොඩකන්ද