කොවිඩ්-19 වසංගතය මුළු ලෝකයටම අභියෝගයක් වී අවසන්ය. බොහෝ රටවල් කොවිඩ්-19 වසංගතය හමුවේ අන්ත අසරණ වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ අපිද ඊට එරෙහිව සටන්වැද සිටින්නෙමු. මෙරට සිටින පුරවැසියන් ආරක්ෂා කරගැනීමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට බලධාරීහු පියවර ගත්හ.
කොවිඩ් හමුවේ අසරණ වූ ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනය හැදෑරීමට ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු මැදපෙරදිග කලාපයේ රුකියාවලට ගොස් අසරණ වූ බොහෝ දෙනෙක් රජය මගින් යළිත් මෙරටට ගෙන්වා ගනු ලැබූහ. එහෙත් මැදපෙරදිග කලාපයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වසංගතය වැළඳී තිබූ අතර ඔවුන් රෝහල්වල ප්‍රතිකාර ලබනා තෙක් අනිත් කණ්ඩායම් මෙරටට ගෙන්වීමට තාවකාලික විරාමායක් තැබිණි. එසේ වුවද අසරණ වූ ශ්‍රමිකයන් මැදපෙරදිග කලාපයෙන් ගෙන්වා ගැනීම තවමත් නවතා නැත.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් නැති වුවද මැදපෙරදිග ශ්‍රමිකයන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට රජයට බල කරන බවයි.
ආණ්ඩුව රටවිරුවන්ට පස්ස හරවලා
- හිටපු එජාප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
පසුගිය ජනාධිපතිවරණයේදී අපේ විදෙස්ගත ශ‍්‍රමිකයන්ට රටවිරුවෝ කියලා ඔවුන්ගේ ඡන්ද ලබාගත් ආණ්ඩුව දැන් මැදපෙරදිග සිටින අපේ රටේ ජනතාව මෙරටට රැගෙන ඒමේ කටයුත්ත ඡන්දය නිමවෙනතුරු නවත්වා ඇති බවට ආරංචි ලැබී තිබෙනවා. වහාම අපේ රටේ මිනිසුන් මෙරටට රැගෙන එන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිනවා. මැදපෙරදිග ඉන්න අපේ ජනතාව වාර්ෂිකව විශාල ඩොලර් ප‍්‍රමාණයක් අපේ රටට රැගෙන එනවා. උදාහරණයක් ලෙස පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 7කට වැඩි ප‍්‍රමාණයක් මෙරටට රැගෙන ආවා. අපේ රටේ මුළු භාණ්ඩ අපනයනයෙන්ම ලැබෙන්නේ ඩොලර් බිලියන 11ක් විතරක් වුවත් විදෙස්ගත ශ‍්‍රමිකයන් අපිට වාර්ෂිකව ඩොලර් බිලියන 7 ත් 8 ත් අතර ප‍්‍රමාණයක් ලබාදෙනවා. ආණ්ඩුව හිතනවා මේ විදිහට විදෙස්ගත ශ‍්‍රමිකයන් ලංකාවට රැගෙන ඒම ඔවුන්ට ඡන්දයේදී අවාසි වෙයි කියලා.
මෙහෙම අපේ රටේ කොවිඩ් ආසාදිතයන් ඉහළ යාම ආණ්ඩුවට අවාසි සහගතයි. ඒ නිසයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ අපේ ශ‍්‍රමිකයන් මෙරටට රුගෙන ඒම ඡන්දය නිම වෙනතුරැ කල් දමන්න. අපේ රටේ ජනතාව ලක්ෂ 17ක් පමණ විදෙස් රටවල සේවය කරනවා. ලක්ෂ දෙකක් පමණ වාර්ෂිකව රටවල්වලට සේවයට යනවා. ඒ වගේම එනවා. නවතම වාර්තාවකට අනුව අපේ රටේ ජනතාව 35,000කට පමණ මේ කොවිඩ් වසංගතය නිසා රුකියා අහිමිව තිබෙනවා. එහෙම වෙලාවක රජයක් ලෙස අපි ඒ ජනතාව ගැන බලන්න වුවමනායි නේද? මොකද ඒ අපේ රටේ මිනිස්සු බව රජය මතක තබා ගත යුතුයි. මේ වෙනකොට අපේ ජනතාව තිස් හතළිස් දහසක් නැවත මව්රටට ගෙන්න ගන්නා ලෙස ආණ්ඩුවෙන් බැගෑපත් වෙලා ආයාචනා කර තිබෙනවා. ඔවුන්ට යන්න එන්න තැනක් නැහැ. මේ වනවිට මැද පෙරදිග රටවල කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. අපිට ඩොලර් බිලියන ගණන් අරන් එනකොට ඒ පිරිස් හොඳ වුවත් ඔවුන්ට ගැටලුවක් ඇති වූ විට, මෙහෙ ගේන්න එපා කියන්න බැහැ. මේ රජයට ඔවුන් ගැන වගකීමක් නැද්ද කියන කාරණය අපි අහන්න කැමතියි.
විපක්ෂය කතා කරන්නේ වාසිය බලාගෙන
ඩිලාන් පෙරේරා - පොදුජන පෙරමුණ, බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
අපේ රජය යටතේ තමයි මේ විදෙස් ශ්‍රමිකයන් හට විශාල ලෙස සහන ලබාදීම් කටයුතු සිදුකරනු ලැබුවේ. දැන් විපක්ෂයේ ඇතැමුන් මහ මැතිවරණය අතළඟ තියාගෙන එක එක ප්‍රකාශ සිදුකරනවා ඡන්ද වාසි ලබාගන්න. නමුත් ජනතාව දන්නවා කවුද රට වෙනුවෙන් සේවය කරන්නේ කියලා. කොවිඩ් උවදුර මුළුලෝකයේම ව්‍යාප්ත වෙනකොට අපි තමයි අපේ ජනතාව ලංකාවට ගෙන්වා ගත්තේ. ඒ වගේම මේ රටේ අසරණ වෙලා හිටපු විදේශිකයන්ට පවා අපි රුකවරණය දීලා තිබෙනවා. කොවිඩ් හමුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී මෙන්ම ඔවුන්ට මෙරටට පැමිණි පසුවත් නිරෝධායන මධ්‍යස්ථානවලදීත් ඔවුන්ට අවශ්‍ය සියලු දේ ලබාදීමට කටයුතු කළා. ඒ වගේම මැදපෙරදිග කලාපයේ ඉතිරී වී මෙරටට පැමිණීමට නොහැකිවී සිටින සියළුම පිරිස් මෙරටට ගෙන්වා ගන්නවා. රජය විසින් යම් ක්‍රියා පටිපාටියක් යටතේ තමයි ඔවුන් ගෙන්වා ගන්නේ. විපක්ෂය මැතිවරණ වාසි බලාගෙන වැඩකළාට අපි එහෙම කරන්නේ නැහැ. මේ වසංගතයෙන් ලාංකික ජනතාව රුක ගැනීමට තමයි අපි හැමවිටම මුල්තැන ලබාදෙන්නේ.
පියවරින් පියවර ගෙන්වා ගන්නවා
විදේශ කටයුතු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී. වන්සේකර
COVID–19 වසංගතය නිසා විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියා නොමැති වීම්, වැටුප් නොගෙවීම්, මෙන්ම මෙරටට පැමිණීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව විදේශ සබදතා අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරනවා. මැදපෙරදිග සහ අනිකුත් රටවල් සඳහා තානාපති කාර්යාල, කොන්සල් ජනරාල් කාර්යාල 16ක් සඳහා චක්‍රලේඛ නිකුත් කරමින් එකී ශ්‍රමිකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ /මුඛ ආවරණ ආදිය ලබාදීමටත්, තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් Whats Up Group එකක් මඟින් සම්බන්ධ කරගනිමින් දිනපතා අවශ්‍ය වන තොරතුරැ යාවත්කාලීන කරගෙන යනවා. කාර්යාංශයේ ලියාපදිංචිව හෝ නොමැති අයවලුන් උදෙසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එකී තානාපති කාර්යාල 16 සඳහා ලක්‍ෂ 05 බැගින් මුදල් ලබාදීමට කටයුතු කරලා තිබෙනවා. මැදපෙරදිග කලාපයේ සිටින ශ්‍රමිකයන්ට අපි විශේෂ අවධානයක් යොමුකරනවා වගේම පියවර වශයෙන් අපි ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්නවා. එහෙම නැතුව ඔවුන් ගෙන්වා ගැනීම නතර කිරීමක් කිසි විටකත් සිදුකර නැහැ.
සටහන: හසිත් අංජන