2020 ජුනි 13 වන සෙනසුරාදා

පැය 24ම වැඩ කරන කාර්යාල!

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

යුගය අනුව අනුවර්තනය විය යුතුය. පරිණාමය අනුව ජීවය පවතී. වෙනස් නොවන දෙයක් නැත. වෙනස්වීම තුළ අලුත් දෙයක් නිර්මාණය වෙයි. සාමාන්‍යයෙන් පවතින ව්‍යූහයක් වෙනස් කිරීම අභියෝගයකි. එකම ක‍්‍රමයකට හිරවී තිබුණ සමාජයක් ගතානුගතිකය. වෙනස් කිරීම පහසු නැත. පැරණි ආකල්පවලට හිර වී සිටී. විශේෂයෙන් දීර්ඝ ඉතිහාසයක් සහ සංස්කෘති පැවැත්මක් සහිත රටවල ජන සමාජවල අලුත් මුහුණුවරක් ඇති කිරීම බලවත් ගැටලු ඇති කරයි. කොවිඩ්-19 වෛරසය ලෝකයේ මෙතෙක් පැවැති රාමුව තර්ජනයකට ලක් කළේය. හදිසි වේගයකින් යුහු යුහුසුළුව හඹා ගිය ජන සමාජ නිසොල්මන් කරන ලදී. 

ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඇති කරන්නට හේතුවෙන කණ්ඩායම් හැඟීමකින් වැඩ කිරීම වෙනුවට සමාජ දුරස්ථභාවය ඉතා වැදගත් බව පවතින ව්‍යසනය ජන සමාජයට උගන්වා ඇති පාඩමකි. එතැනින් ලැබූ අත්දැකීම වැදගත්ය. නැවත නැගී සිටින අවස්ථාවේදී අමතක කළ යුතු නැත. දුරස්ථභාවය ආරක්ෂා කරගෙන වැඩිපුර වැඩ කරන්නට තාක්ෂණය භාවිතා කළ හැකිය. මෙහිදී වෙනස් කළ හැකි පැති ගැන රාමුවෙන් ඔබ්බට හිතන්නට අවශ්‍යය.

කාර්යාල සංකල්පය තවදුරටත් වලංගු නැත. ආපසු හැරී බලනවිට කාර්යාල ක‍්‍රමය අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයකි. කර්මාන්ත යුගයේදී රටවල් යටත් කරගත් අධිරාජ්‍යවාදීහු එම රටවල් පාලනය කරන අරමුණ ඇතිව නිලධාරී පැලැන්තියක් බිහි කළහ. එම නිලධාරීහු අණ පනත් පැනවූහ. අලුත් බදු ක‍්‍රම හඳුන්වා දුන්හ. ආර්ථිකය පාලනය කරන අරමුණ ඇතිව බලපත‍්‍ර නිකුත් කළහ. ප‍්‍රවාහනයට, මත්පැන්වලට, දැව කර්මාන්තයට, ඉදිකිරීම්වලට ඇතුළු දහසක් දේ වෙනුවෙන් ආණ්ඩුවේ කාර්යාලයෙන් බලපත‍්‍ර ගත යුතු විය. බලපත‍්‍රය නිකුත් කරන බලය ඇති තැන විශාල නිල තත්ත්වයක් ඇති විය. නිලධාරීවාදයක් තිබුණි. තාක්ෂණික යුගයේදී පුද්ගලයා සතු දැනුම එකම බලය බවට පත්ව තිබේ. බලපත‍්‍රය වෙනුවට මුර පදය නොඑසේනම් පාස්වර්ඩ් යනුවෙන් අගුලක් නිර්මාණය වී ඇත. තොරතුරු තාක්ෂණ අවබෝධය ඇති සමාජය එය යතුරක් සේ භාවිතා කර දොරගුළු විවර කරගනියි. එය අලුත් ප‍්‍රවේශයකි. 

තොරතුරු තාක්ෂණය තුළ භාණ්ඩ හා සේවා තිබේ. ඒවා ප‍්‍රදර්ශනයට හා විකිණීමට හැකියාව ඇත. මුදල් භාවිත නොකර වටිනාකම බැංකුවලට බැර වෙයි. භාණ්ඩ ප‍්‍රවාහනය සම්පූර්ණයෙන්ම තාක්ෂණයට නැඹුරැය. ඉන්ධන නැති රියැදුරන් රහිත ප‍්‍රවාහන ක‍්‍රම හැදී තිබේ. ලෝකයේ එහා කෙළවර සිටින ගැනුම්කරැ සමඟ සජීවීව සම්බන්ධ විය හැකිය. ව්‍යාපාරයක් අරඹන විට හොඳ කාර්යාලයක් හා දක්ෂ නිලධාරී කණ්ඩායමක් අවශ්‍ය නැත. කර්මාන්ත යුගයෙන් තාක්ෂණ යුගයට ඇතුළු වනවිට ලැබෙන අවස්ථා බොහෝය.

කොවිඩ්-19 වසංගතයෙන් පසු යළි ක‍්‍රියාත්මක වන සමහර රටවල් වෛරසයේ බලපෑමට යටත්ව තිබුණ කාලයේදී තොරතුරැ තාක්ෂණයෙන් රාජකාරි කරගත් ස්වභාවය දිගටම කරගෙන යන්නට සූදානම්ය. එම ව්‍යූහයට ඇතුළු විය හැකි හා නොහැකි රටවල් වශයෙන් ලෝකය නැවතත් බෙදෙමින් තිබේ. දක්ෂ මානව සම්පතක් ඇති නමුත් තොරතුරැ තාක්ෂණය භාවිතා කර ඉදිරියට එන්නට අසමත් වන සමාජ, අනාගතයේදී දුප්පත් භාවයට තල්ලු වනු ඇත. දැන් කතාකරන නැති බැරිකම අනාගතයේ දී වෙනස් වනු ඇත. අන්තර්ජාලයට ප‍්‍රවේශ වී සේවා සම්පාදනය කරගන්නට අසමත්වන රටවල් සහ වෙනස් සමාජ දරිද්‍රතාවයක් සහිත තැන් බවට පත්වනු ඇති අතර එය අවාසිදායක තත්ත්වයකි.

ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් අනාගතයේදී පවතින තැන ගැන තීරණයක් ගැනීමට වටිනා මොහොතක් උදා වී තිබේ. නැවත වතාවක් කාර්යාල විවාත කර ඒවායේ නිලධාරීන් පුරවා උදේ හවස ප‍්‍රවාහනය කිරීමෙන් ලැබෙන සංවර්ධනය පලක් නැති එකකි. අනාගතයේදී අපගේ දරැවන්ගේ දවස උදාවෙනවිට ඔවුහු තව දුරටත් බස් රියේ හෝ දුම්රියේ එල්ලී වැඩට යන තැනට පත් කළ යුතු නැත.

අලුත් පියවරකට යා යුතුය. කාර්ය මණ්ඩලය ගෙදර යවා නිවසේ සිට වැඩ කරන යුගයක් ඇරඹීම අවශ්‍යය. කාර්යාල කටයුතු පැය විසි හතරම විවෘත කළ හැකිය. වෙළෙඳපොළට එන්නේ නැති නිෂ්පාදන කෙළින්ම පාරිභෝගිකයා අතට යැවෙන ක‍්‍රම හදන්නට බැරිකමක් නැත. ගතානුගතික අදහස්වලින් ගැලවෙන්නට අවශ්‍යය. තමන් අත බලය තබා ගත යුතුය යනුවෙන් හිතන නිලධාරී පැලැන්තිය විශ‍්‍රාම යවන තීරණ ගත යුතුය. කොවිඩ්-19 වෛරසයෙන් ගැලවී අලුත් ආලෝකයක් උදා වෙන අවස්ථාවේදී නිවැරදිව කල්පනා කළහොත් ලෝකයේ අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට ශ‍්‍රී ලංකාවට හැකියාව තිබේ

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය

මිලින්ද මොරගොඩ

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03