2020 ජුනි 13 වන සෙනසුරාදා

අලුත් ක්‍රමයට ඡන්දෙ තියෙන හැටි

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

අපේ රටේ ජනතාව දේශපාලන වශයෙන් සක්‍රීයව උනන්දුවක් දක්වන නමුත් බොහෝ දෙනකුට රටේ දේශපාලන සංස්කෘතිය ගැන ප්‍රසාදයක් නැත. ඊට එක් හේතුවක් නම්, මැතිවරණයක් ප්‍රකාශයට පත්වූදා සිට දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ අපේක්ෂකයන්ගේද ආධාරකරැවන්ගේද හැසිරීම බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය මුළු ලෝකයම මේ වනවිට කනපිට හරවා ඇත. ලොව බොහෝ රටවල ආර්ථිකය මෙන්ම සමාජ කටයුතු, ක්‍රීඩා උළෙලවල්, මැතිවරණ ආදී එකී නොකී බොහොමයක් දෑ මෙම වෛරසයේ බලපෑම නිසා අඩපණ වී තිබේ. පසුගිය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙරට මහ මැතිවරණය කල් ගියේද කොවිඩ් 19 බලපෑම නිසාමය. මේ වනවිට කොවිඩ් 19 මෙරටින් සම්පූර්ණයෙන්ම පහව නොගියද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමට මේ වනවිටත් දින නියම කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට පෙර මැතිවරණ කොමිසමේ නිලධාරීන් සෞඛ්‍ය බලධාරීන් විසින් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විය. අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් භාරදුන්නේය.

කොවිඩ් අර්බුදය හමුවේ ඡන්ද දායකයන් විසින් ඡන්දය ලබාදිය යුතු ආකාරය, මැතිවරණ මධ්‍යස්ථානයක් පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව සහ ගතවන කාලය පිළිබඳ දැන ගැනීමට පෙරහුරු මැතිවරණයක් අම්බලන්ගොඩදී පැවැත්වූයේ පසුගිය ඉරිදාය. එය සැබවින්ම ඡන්දදායකයන්ට අලුත්ම අත්දැකීමක් විය. පෙර මැතිවරණවලදී ඡන්ද දායකයන් හට සිය මනාපය ලකුණු කිරීමට ඡන්ද මධ්‍යස්ථානයේ පැන්සලක් තබා තිබුණද මෙවර මැතිවරණයේදී සිය මනාපය ලකුණු කිරීමට කළු හෝ නිල් පෑනක් රුගෙන යා යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පසුගියදා පැවසීය.

පෙර මැතිවරණවලදී ඡන්ද පත්‍රිකාව පරීක්ෂා කිරීම, අනන්‍යතා සහතික පත ඉදිරිපත් කිරීම ආදී කටයුතුවලදී ඡන්ද දායකයා විසින් ඡන්ද පොළ නිලධාරීන්ට අදාළ ලියවිලි අතට ලබාදීම් සිදුකෙරැණ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැතිවරණයේදී එම ක්‍රමයද වෙනස් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.

සෞඛ්‍යමය ආරක්ෂක පියවරක් ලෙස මෙවර මහා මැතිවරණයේදී ඡන්ද දායකයන්ගේ සුළැඟිල්ලේ තීන්ත ආලේප කිරීම වෙනුවට ඡන්ද දායකයාගේ ඇඟිල්ල තීන්ත බඳුනක එබීම හෝ ඇඟිල්ලට තීන්ත විදීම වැනි ක්‍රමයක් භාවිතා කිරීමටද මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇත.

පෙර මැතිවරණවලදී අනුගමනය නොකරන ක්‍රමවේදයන් රුසක් මෙවර මහ මැතිවරණයේදී අනුගමනය කිරීම පිළිබඳව දේශයේ අප මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් විමසීමක් කළා.
 
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජධීර

මෙවර මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මැතිවරණ කොමිසම වෙත ලිපියක් මගින් කරැණු දන්වා තිබුණා. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන ආකාරය පිළිබඳ පෙරහුරැ මැතිවරණයක් පැවැත්වූවා පසුගිය දිනයක. ඇත්තටම පෙර මැතිවරණවලට වඩා මෙවර මැතිවරණයේ කාලය පිළිබඳව තමයි වඩාත් අවධානය යොමුව වී තිබෙන්නේ. ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සුරකිමින් මැතිවරණය පැවැත්වීම වඩාත් යෝග්‍ය බවට අප මීට පෙරත් කියා සිටියා. දැනට මැතිවරණ කොමිසම අනුගමනය කරන මෙම වැඩපිළිවෙළ පිළිබඳ අපිට සතුටු විය හැකියි.
 
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

තවමත් මේ රටින් කොවිඩ් 19 උවදුර පහව ගොස් නැහැ. ඒ තත්ත්වය යටතේ සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් මැතිවරණය පැවැත්විය යුතු බවට අපි මුලසිටම කියා සිටියා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගනිමින් මැතිවරණය පැවැත්වීමට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් ඒ නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ වගේම අපේක්ෂකයන් මෙවර මහ මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු කරන ආකාරය පිළිබඳවත් සැලකිය යුතුයි. 
පෙරහුරැ මැතිවරණය පැවැත්වූ ආකාරයට මැතිවරණය පවත්වන්න තමයි මේ වනවිටත් කොමිසම අවධානය යොමුකර තිබෙන්නේ. ඒ ක්‍රමය වඩාත් සාර්ථක ක්‍රමයක් සහ කාලෝචිත ක්‍රමයක් ලෙස අපි දකිනවා.

සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03