
එක දිගට කොරෝනා රෝගීන් වාර්තා වූ අවදානම් තත්ත්වය දැන් පහව ගොස් තිබේ. එම බරපතළ අවදානමෙන් රට මුදවා ගැනීමට සෞඛ්‍ය අංශ හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් සිදුකළ මෙහෙවර විශිෂ්ටය. දැනට දින 40කට වැඩි කාලයක් සෙසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වූයේ නැත. ඒ අනුව ඉතා නුදුරේදීම රෝගය ලංකාවේ පාලනය වනු ඇතැයි අදහස් පළකෙරුණද තවමත් වැලිසර නාවික හමුදා කඳුවර ආශ්‍රිතව සිටි නාවික සෙබළුන් ආසාදිතයන් බවට පත්වීම දිනපතාම වාර්තා වේ.
මේ හැරෙන්නට විදෙස්ගතව සිට පැමිණි පිරිස අතරින් බහුලව රෝගීන් වාර්තා වෙයි. කොවිඩ් වසංගතයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගත් රටේ ඇතැම්හු අසවල් දිනයෙන් පසුව ආසාදිතයන් වාර්තා නොවනු ඇති බවට අනාවැකි පළකළහ. සෙසු සමාජයෙන් කිසිදු රෝගියෙක් ආසන්න දින 40කදී වාර්තා නොවුණද නාවික හමුදා සාමාජිකයන් තවදුරටත් ආසාදන ලැයිස්තුවට එක්වීම සම්බන්ධයෙන් මහජනතාවට ඇත්තේ ගැටලුවකි. ඔවුන් නිරන්තරව ප්‍රශ්න කරන්නේ වගකිවයුතු බලධාරීන්ට නාවික හමුදාව තුළ රෝගය ව්‍යාප්තවීම පාලනයට තවමත් කල්ගන්නේ ඇයිද යන්නයි. මේ තත්ත්වය තුළ ජනතාවට අනියත බියක් ඇතිව තිබෙන්නේ ඒ ඇසුරින් යළිත් කොවිඩ් වසංගතය සමාජගත වනු ඇති බවටය.
අවසන් වරට මෙරට සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු වාර්තාවූයේ අප්‍රේල් මස තුන්වැනි සතියේදී පමණය. ඉන්පසුව නාවික හමුදාවේ හා විදෙස්ගතව සිට පැමිණි පිරිස අතරින් පොකුරු පිටින් ආසාදිතයන් වාර්තා වුවද මෑතකදී මෙරටින් වාර්තා වූ අඩුම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වන ආසාදිතයන් දෙදෙනකු වාර්තාවූයේ ඉකුත් 9 වැනිදාය. එම රෝගීන් දෙදෙනාගෙන් අයෙක් කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයකු වන අතර අනෙක් පුද්ගලයා නාවික හමුදාවේ සෙබෙළකු වන නිරෝධායනයට ලක්කර සිටි අයෙකි.
මේ වනවිට අයි.ඩී.එච්. වැලිකන්ද, හෝමාගම, මුල්ලේරියාව, ඉරණවිල, කාතන්කුඩි, වැලිසර, මිනුවන්ගොඩ, හම්බන්තොට, පනාගොඩ හා තෙල්දෙණිය ආදී රෝහල්වල ආසාදිතයන් 800ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබති. මේ අතර නාවික හමුදාවේ කොවිඩ් ආසාදිත හමුදා සාමාජිකයන් 870ක් පමණ හඳුනාගෙන සිටී. ඔවුන්ගෙන් දැනට 563 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබීම සුබදායී තොරතුරකි.
පාලනයක් තිබුණත් රෝගී පොකුරක් සිටීම අවදානම්
වෛද්‍ය නවීන් ද සොයිසා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්
මේ වෙද්දී නාවික හමුදාවේ රෝගීන් වාර්තා වීම ඉතා අවම මට්ටමක තිබෙන්නේ. සාමාන්‍යයෙන් නිරෝධායන කාලසීමාවේ කෙනෙක් පසුවෙනවා නම් එයාගෙන් වෙනත් කෙනෙකුට හෝ රෝගියකුගෙන් තවත් අයට බෝවීමක් වෙන්නෙ නෑ. නිරෝධායන කාලසීමාව දින දාහතරයි. එවැනි නිරෝධායන කාලසීමා දෙකක් ඒ කියන්නෙ දින 28ක් ගතවුණාම නැවත රෝගීන් බිහිවෙන්නේ නෑ. එහෙම වෙනවා නම් කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි නිරෝධායන කාලසීමාවේදී රෝගය පැතිරිලා කියන එක. අනෙක තමයි වෛරසය ප්‍රභේදය වෙනස් කරගෙන පැතිරීම. මෙතැනදී හිතන්න පුළුවන් නාවික කඳවුරේ ජන ගණත්වය නිසා රෝගය පැතිරුණා කියන එක. මේ සම්බන්ධයෙන් සෙවීමට වසංගත රෝග විද්‍යායතනය පරීක්ෂණයක් සිදුකරනවා. තවම වාර්තාවක් එළිදක්වා නෑ. ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. වෛරසයේ යම් ප්‍රභේදයක් වුණාද කියලා තවම ප්‍රකාශයක් කරලා නෑ. ඒ නිසා හිතන්න පුළුවන් එකම දේ නිරෝධායන කාලසීමාවේ යම්කිසි ගැටලුවක් ඇතිවුණා කියන එක. දවස් 28කට පස්සෙත් රෝගීන් වාර්තා විම නිසා නාවික හමුදා භටයන් නිරෝධායන කඳවුරුවලට ඇතුල් කරන්න පියවර ගත්තා. මුලින් මේ ක්‍රියාව නාවික හමුදාව බාරයේම තිබුණත් පස්සෙ යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ බාරයට ගත්තා. දැනට තත්ත්වය අඩුවෙලා තිබුණත් තවත් සතියක පමණ කාලයකදී වුණත් රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. කොහොම නමුත් රෝගී පොකුරක් සිටීම අවදානම්. ඒත් මේ ආකාරයට තත්ත්වය පාලනය වීම ඉතා සාධනීයයි.
වැලිසර කඳවුරේ සියලුදෙනා නිරෝධායනයේ
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර
වැලිසර කඳවුරේ සියලුම භට පිරිස් අපි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළා. රටේ සාමාන්‍ය ජනතාව සිතනවා ඇති හැමෝටම එකසැරේට පී.සී.ආර්. පරික්ෂණය කළා නම් ඉවරයිනෙ කියලා. එහෙම ක්‍රමයක් නෑ. මේකට නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. දිගටම අපි පී.සී.ආර්. පරීක්ෂාවන් සිදුකරනවා. ඒ අතරින් රෝගීන් වාර්තා වෙනවා. පී.සී.ආර්. පරීක්ෂාවේදී පොසිටිව් කෙනෙක් හඳුනා ගත්තාට නෙගටිව් අය නැවත වරෙක පොසිටිව් වෙන්න අවස්ථා තිබෙනවා. සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ තොරතුරු අනුව එක් ආසාදිතයකු හඳුනාගත්තාම ඔහුගේ ආශ්‍රිතයන් පරීක්ෂාවට ලක් කරනවා. එහෙම කොටසින් කොටස තමයි පරීක්ෂා සිදුකරන්නේ. මේ සියලුම දේ වෙන්නේ නාවික හමුදා කඳවුරු පරිශ්‍රවල පමණයි. ඉන් බාහිරව නැති නිසා සෙසු සමාජයේ කවුරුත් අනිසි බියක් ඇතිකර ගතයුතු නෑ. දැනට වාර්තාවෙන රෝගීන්ගේ ප්‍රමාණය අවම මට්ටමක පවතින්නේ. නමුත් අවසාන රෝගියා හඳුනාගන්නා තෙක්ම අපි මේ ක්‍රමවේදය අනුගමනය කරනවා.
සමන්ත ප්‍රදීප් විල්තෙර