2020 ජුනි 13 වන සෙනසුරාදා

මහ ඉස්පිරිතාලේ විශේෂඥ හොරා!

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

රෝහල් කාර්යමණ්ඩලයේ වැටුප් අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම් සිදු කරමින් පැවතියේ පසුගිය 9 වැනිදාය. දවස පුරා කාර්යබහුලත්වයෙන් පිරී තිබූ කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවීම් අංශයට යම් තරමක නිදහසක් ලැබුණේ දිවා ආහාරය කිට්ටුවෙත්මය. රෝහල් පරිශ්‍රයේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ පිහිටි සරප් අංශයේ පිවිසුම ඉදිරියෙන් වරක් දෙවරක් ඇවිද ගිය අයෙකි. දුටු පමණ වෛද්‍යවරයකු බව හැඟෙන ඔහු අත්දිග කමිසයකින් සැරසුණු කැරළි කොණ්ඩයකින් හෙබි අතේ බෑගයක් තිබූ පුද්ගලයෙකි.

මේ වන විටත් සරප් අංශයේ සේවයේ නිරතව සිටියේ නිලධාරීන් හය දෙනකු පමණි. මුදල් ගෙවීම් අංශය ඉදිරියෙන් වරක් දෙවරක් ගමන් ගත් පුද්ගලයා හිටිහැටියේම සරප් අංශය වෙත ඇතුළු වූයේ කිසිදු අවසරයකින් තොරවය. එහෙත් එහි කාර්යමණ්ඩලයට හෝ අවිශ්වාසයක් නොවුණේ පැමිණි තැනැත්තා රෝහලේ වෛද්‍යවරයකු වශයෙන් පෙනී ගිය නිසාය.

ඒ වන විටත් ඔහු රුඳී සිටියේ මුදල් ගෙවීම් අංශයේ සරප් ඉදිරිපිටය. එතෙක් තමා සන්තකයේ සඟවා සිටි පිස්තෝලයක් සරප්ට හා අනෙකුත් නිලධාරීන්ට එල්ල කර තර්ජනය කොට තිබුණේ වහාම දණගසන ලෙස බල කරමිනි. කාර්යමණ්ඩලයේ හය දෙනාම මරබියෙන් දණගසන අතරතුර තමා අත වූ බෑගයකට සරප් භාරයේ වූ මුදල් මිටි පිටින් බහාගත් ඔහු සැණෙකින් පලා ගියේය.

ඈත තියා යාන්තමට හෝ සිද්ධිය දුටු තවත් රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයෙක් හොරෙක් හොරෙක් යැයි හඬ නගමින් මුදල් සොරාගෙන යන තැනැත්තා පසුපස දිව ගියේය. ඔහුගේ ක්‍රියාව හයියට ගත් සරප් අංශයේ නිලධාරීන් ද %හොරෙක් හොරෙක්.. අල්ලාගන්න^ යනුවෙන් හඬනැගුවේ අනතුරුවය.

මේ වන විටත් රෝහල් භූමියේ සිවිල් ඇඳුමින් රාජකාරියේ නිරතව සිටි රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. පිරිසගේ හඬනැගීමත් සමඟ බෑගයක් අතින් ගෙන දිවයන පුද්ගලයා ඔවුන් දැක තිබුණේ එවිටය. ඔවුන් දෙදෙනා උපායශීලීව සැකකරු ආසන්නයට ළංවෙත්ම ඔහු රෝහලේ මෝචරිය අසල ගේට්ටුවෙන් පිටවී ත්‍රීරෝද රථයකින් පලා ගියේය. වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනා වෙනත් ත්‍රීරෝද රථයක නැගී සැකකරැ හඹා යන්නට වූවෝය.

වැඩිදුරක් යන්නට මත්තෙන් කින්සි පාරේ කේරි විද්‍යාලය ඉදිරිපිට ආලෝක වර්ණ සංඥා ඉදිරියේ සැකකරැට ගිය ත්‍රීරෝද රථය නතර කිරීමට සිදුව තිබිණ. ඒත් සමඟ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත නිලධාරීන් ගිය ත්‍රීරෝද රථය එතැනට කිට්ටුවෙත්ම සැකකරු ත්‍රීරෝද රථයෙන් බැස දුවන්නට විය. ඒත් සමඟම ක්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනා ගමන්ගත් ත්‍රීරෝද රියෙන් බැස සැකකරැ පසුපස දිවගොස් පුංචි බොරුල්ල දෙසට යන මාර්ගයේ දී පොරබදා ඇතැයි පැවසේ. පොරබදන පිරිස අතර අයකු අත පිස්තෝලයක් ද තිබෙනු දැක ඇත්තේ ඒ මොහොතේ රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි පොලිස් නිලධාරිනියකි. ඇය දෙවරක් නොසිතාම ගැටුමට මැදිහත්ව තිබුණේ ගිනිඅවියක් පෙනෙන්නට තිබියදීමය. ක්ෂණයකින් තත්ත්වය තේරැම්ගත් ඇය සැකකරැ අත්අඩංගුවට ගැනීම සඳහා දායකත්වය සපයා තිබුණේ සිය පොලිස් නිලඇඳුම සහිතවය. ඇය මාතර පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මියයි.
රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා හා එක්වූ වරුණි බෝගහවත්ත මහත්මිය සැකකරැ සමඟ පොරබදා ඔහු ග්‍රහණයට ගැනීමට සමත් වූවාය. ඒ සමඟම සැකකරු සන්තකයේ තිබූ පිස්තෝලය විසිවී බිම වැටී ඇති අතර එය බාරයට ගත් සැණින් පොලිස් නිලධාරිනියට අවබෝධ වී ඇත්තේ එය ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් බවටය. අනතුරුව සැකකරු ඔහු සතුව තිබූ පිස්තෝලය හා ගමන් බෑගය සමඟ මරදාන පොලිස්ථානය වෙත රුගෙන ගොස් බාර කිරීමට පිරිස පියවර ගත්හ.

මරදාන පොලීසියේ නිලධාරීන් සැකකරු බාරයට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඇතුළු රෝහල් කාර්යමණ්ඩලවල වැටුප් අතිකාල ඇතුළු වෙනත් දීමනා ගෙවීම සඳහා එම රෝහලේ මුදල් ගෙවීම් අංශය බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79කට අධික වටිනාකමකින් යුත් මුදල් තොගයක් සොරාගෙන ඇති බවය. වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වූයේ සැකකරු වසර තුනක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු බවය.
මොහුට ඉකුත් පළමුවැනිදා ජාතික රෝහලේ සිට ස්ථාන මාරැවක් ලැබී ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතය. දැනට කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂඥ පශ්චාත් උපාධිය හදාරමින් සිටින ඔහු කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය වෘත්තියට පිවිසි අයෙකි. විවාහකයකු වන සැකකරැගේ බිරිය මාලිගාවත්ත වකුගඩු රෝහලේ හෙද නිලධාරිනියක ලෙස කටයුතු කරන්නීය.

34 හැවිරිදි මොහු හොරණ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරැවකු වුවද බොරුල්ල කොටා පාරේ තාවකාලිකව පදිංචිව සිට ඇත. මංකොල්ලය සිදුකළ අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා බොරැ කොණ්ඩයක් පැළඳ සෙල්ලම් පිස්තෝලයක් හා බෑගයක් සන්තකයේ තබාගෙන සිටීම නිසා කොල්ලය කලින් සැලසුම් කොට තිබෙන බව පැහැදිලිය.

උගත් වෛද්‍යවරයකු වන සැකකරු වැදගත් පවුල් පසුබිමක සිටින්නකු බව අනාවරණය වී තිබේ. මොහු මෙවැනි ක්‍රියාවක නිරත වූයේ ඇයිදැයි පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරැ පවසා ඇත්තේ ඔහු මානසික අවපීඩනයෙන් පසුවන බවය. එහෙත් කොල්ලය පසුපස වෙනත් බලපෑමක් ඇතිදැයි පොලීසිය විමසිල්ලෙන් පසුවෙයි. මේ අතර අනාවරණය වී තිබුණේ සැකකරැට ලක්ෂ ගණනක ණයක් පවතින බවත් එය ගෙවීමේ අරමුණෙන් කොල්ලය සිදු කරන්නට ඇති බවය.

ලක්ෂ 79ක මුදල් කොල්ලකා පිස්තෝලයක් අතැතිව පලාගිය සැකකරැ මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට දායක වූ නිලධාරීන් නිසා මිනිත්තු කිහිපයක් තුළදී ගැටලුව නිරාකරණය කර ගැනීමට සමත්ව තිබේ. මෙම නිලධාරීන්ගේ වීර මෙහෙවර වැඩබලන පොලිස්පතිවරයා ඇගයීමට ලක්කොට ඇත.

සැකකරු දින දෙකක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලැබී තිබුණු අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර