2020 ජුනි 13 වන සෙනසුරාදා

සින්දු ලියන සින්දු කියන සින්දු හදන විශේෂඥ දොස්තර

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

මනාව ඇඳපැළඳ ගත්ත වෙදනලාවක් අතේ දරාගත්ත කෙනෙක් රෝහල් කොරිඩෝරයක් දිගේ ඉක්මන් ගමනින් පියවර තියනවා. තමන්ගේ ඉදිරියේ හමුවෙන හැම කෙනෙකුටම සිනාවකින් සංග‍්‍රහ කරමින් ඔහු යන්නේ රෝහලේ සූතිකාගාරය දෙසටයි. සූතිකාගාරයේ ඉන්න අම්මලා තමන් දස මාසයක් ආදරයෙන් කුසේ හොවාගෙන හිටිය නොදුටුව කිරිකැටියා ටික වෙලාවකින් මොන වගේ අපහසු අවස්ථාවක හිටියත් මේ යන පුද්ගලයා ඒ අම්මලාගේ දෑතට අරගෙන දෙන්නේ මෙලොව ඉන්න දෙවියෙක් වගෙයි. රෝහලේ ට්‍රොලිවලින් නැගෙන කර්කෂ නාදය මව්වරුන් ප‍්‍රසව වේදනාවෙන් කෑගහන හඬ ටික මොහොතකින් සිඟිත්තන් අඬන නාදය සහ කතුරු සිරින්ජර – සේලයින් වැනි වෛද්‍ය උපකරණවලින් නැගෙන හඬ මොහුගේ දෙසවනට ගෙන එන්නේ සප්ත ස්වරයේ නාද සංකලනයන්. මොකද එහෙම කියන්නේ අද අපි ඔබට කියන විශේෂඥ වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් වුණාට ඔහු සංගීතඥයකුගේ භුමිකාවත් මනාව සිදුකරන කෙනෙක්. මේ කතාබහ සිදුකරන්නේ ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ හෙවත් නිහාල් රාජපක්ෂ වෛද්‍යතුමත් එක්කයි.

මුලින්ම ඔබ කවුද කිව්වොතින්...?

මම ප‍්‍රසව හා නාරි විශේෂ්ඥ වෛද්‍යවරයෙක්. 1990 වසරේ තමයි මම විශේෂඥ වෛද්‍යවරයෙක් වුණේ. අවුරුදු 40ක් මම වෛද්‍ය වෘත්තියේ නියැලෙනවා. මුළු කාලයේම මම දිස්ත‍්‍රික් වෛද්‍යවරයෙක් විදිහටත් රජකාරි කටයුතු කළා.

මම රටේ හැමතැනම වගේ සේවය කරලා තියෙනවා. මාතලේ, වතුපිටිවල, මාරවිල, මොණරාගල වගේ දුර ප‍්‍රදේශවල වැඩකරලා ඊටපස්සේ රාගමට මාරුවීමක් ලැබුණා. මම විශේෂඥ වෛද්‍යවරයෙක් වුණේ 1990 වර්ෂයේ වුණාට මම ඒ තනතුරට අදාළව සේවය  කරන්න පටන් ගත්තේ 1993 දී.

පවුලේ තොරතුරු ටිකකුත් කියලා ඉඳිමු නේද...?

මගේ බිරිඳ රමණි රාජපක්ෂ. ඇය ලේඛිකාවක්. අපිට පුතාලා තුන් දෙනෙක් ඉන්නේ. දැනට ඒ ගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ තමයි ජීවත් වෙන්නේ .ලොකු පුතාලා දෙන්නා සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා විදියට සේවය කරනවා. බාලම පුතා වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔහු මෙල්බර්න්වල අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. මමයි බිරිඳයි තමයි ගෙදර ඉන්නේ. මගේ බිරිඳත් උපාධිධාරිනියක්. ඒත් ඇය නම් රැකියාවක් කළේ නැහැ. ඇය තමයි පුතාලට උගන්වන වැඩවලටයි, ගෙදර වැඩයි ගැන හොයා බැලුවේ.
ඔබ ඇතුළු ඔබගේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධයි. කොහොමද ඒකට මූලික අඩිතාලම වැටුණේ කියලා ඔබ හිතන්නේ?

මගේ තාත්තාගේ උපන් ගම කඩුගන්නාව. ඒත් මම නම් ඉපදුනේ කළුතර. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඒ හින්දා මට රට වටේම පාසල්වලට යන්න අවස්ථාව ලැබුණා. මම උසස් පෙළ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. ආනන්ද විද්‍යාලයේ විද්‍යා අංශයට ඇතුළත්වෙලා උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගියා.

වෛද්‍යවරයෙක් වුණු ඔබ කොහොමද සංගීතය පැත්තට යොමුවුණේ..?

මගේ තාත්තා ළඟ සංගීත භාණ්ඩ කිහිපයක් තිබුණා. මැන්ඩලින් එකකුයි ඩෝලෙකුයි, බටනලාවක් එහෙමත් තිබුණා. මම බටනලාවයි මැන්ඩලින් එකයි වාදනය කරලා තියෙනවා. ඒ ගැන ඉගෙන ගෙන එහෙම නෙවෙයි. වතුපිටිවල රෝහලේ වැඩකරන කාලේ මගේ ෆෙයාර්වෙල් පාර්ටි එක තිබුණා. එදා සංගීතය සැපයුවේ ඒ කාලේ තිබුණ මාරිම්බා කියන සංගීත කණ්ඩායම. ඒ 92 වගේ. එදා මට මගේ පාර්ටි එක නිසා සින්දුවක් කියන්න කියලා ගොඩක් දෙනෙක් කිව්වා. ඒත් ඉතින් මම එයාලට කිව්වා මම වචන දන්නෙත් නැහැ. අනිත් එක මම කවදාවත් සින්දු කියලත් නැහැ කියලා. ඒ වෙලාවේ අනෝජා කිව්වා ඩොක්ටර් මොකක්ද.... සින්දුවක් කියන්නකෝ කියලා ඔන්න එයා කොළයක් අරගෙන වචන ටික මට ලියලා දුන්නා. මම එදා පළවෙනි වතාවට සංගීත කණ්ඩායමක් එක්ක (චන්දන ඇල්ලෙන් නාලා...) කියන ගීතය ගායනා කළා. ඒක කියලා ආවාම මටත් හොඳට කියවුණා කියලා තේරුණා. එදා මාව උනන්දු කළ මගේ යාළුවා ආනන්ද කුලසේකර. ඊටපස්සේ මට සුමිත් ප‍්‍රියංකර කියලා කී බෝර්ඩ් වාදනය කරන දක්ෂ ශිල්පියෙක් ඉන්නේ... එයා හමුවුණා. 

ඊට පස්සේ...?

එයාගෙ මාර්ගයෙන් මම උපාලි රන්තිලකව අඳුන ගත්තා. ඒකත් හොඳ කතාවක්. සුමිත්ගේ වයිෆ්ට බබා ලැබෙන්න ඉන්න වෙලාවේ එයාගේ රියැදුරා විදියට තමයි උපාලි ආවේ. සුමිත් මට අඳුන්නල දුන්නේ එයා එයාගේ මස්සිනා කියලා විතරයි. වැඩිය එයා ගැන මම දැනගත්තෙත් නැහැ. ටික කාලයකින් ඔන්න උපාලිගේ බිරිඳට බබාව ලැබෙන වෙලාවෙත් මම තමයි එයාලාගේ වෛද්‍යවරයා. එයාලා ටිකට් කපාගෙන යන දවසෙ මම උපාලිගෙන් මොනවද කරන්නෙ ඇහුවාම තමයි මට කිව්වේ මම සින්දු කියනවනෙ කියලා. ආ... ඊට කලින් තව දෙයක් කියන ඕන. මම මාතලේ රෝහලේ වැඩ කරද්දී කී බෝර්ඩ් එකක් අරගෙන ඉගෙන ගත්තා. මට ඉගැන්නුවෙ තිස්ස ඒකනායක කියලා ගුරැවරයෙක්. මටත් වඩා බාල කෙනෙක්. ඒත් එයා දක්ෂ කෙනෙක්. මම කාර්යබහුල නිසා සතියකට පැයක් විතර ආසාවට ඉගෙන ගත්තා.

ගීතයක් පටිගත කරලා එළියට දමන්නෙ කොහොමද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. ඒත් උපාලි රන්තිලකගෙන් තමයි මම මුලින්ම ගීතයක් පටිගත කරවා ගත්තේ. මම රාගමට ආවට පස්සේ සංගීතය ගැන පොත් ටිකක් අරගෙන විෂය ගැන ඉගෙන ගත්තා. මම නොටේෂන් ලියන්නත් පුහුණු වුණා. ඔය අතරේ මට මනෝජ් පීරිස්ව අඳුනගන්න ලැබෙනවා. එයා තමයි ඒ කාලේ ගොඩක් සංගීත වැඩසටහන් කළේ. එයා ඉතින් මාව වැඩසටහන්වලට ගෙන්වලා ගීත ගයන්න අවස්ථාව දුන්නා. මම පළවෙනි වැඩසටහනේදී කිව්වේ (අමර පෙම් ලතාවේ...) ගීතයයි (චන්දන ඇල්ලෙන්....) ගීතයයි. මගෙ පුතාලාට සංගීතය ඉගෙන ගන්න  ඕන වුණා. අපේ ළඟ පාතනෙ උපාලි රන්තිලක ඉන්නේ. එයා සතයක්වත් නොගෙන සංගීතය ඉගැන්නුවා මගේ පුතාලට. අද ඒ ගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ හොඳ සංගීතවේදීන් විදියටත් වැඩ කරනවා.

ඔබ ගී පද රචකයෙක්, ගායන ශිල්පියෙක් වගේම තනු නිර්මාණය කරන්නෙක් විදිහටත් කටයුතු කරනවා. ඔබ විසින් ලියන ලද, ගයන ලද ගීත ගැනත් කියමු නේද..?

මම ගී පද ලියලා සංගීත නිර්මාණය කළා දමිත් අසංකගේ දරාගන්න බැහැ, අමිලා නදීශානි, උපාලි රන්තිලක ගයන සිහින ලොවෙන් බැස, සුරේශ් ගමගේ සහ අනුරාධා නන්දසිරි ගයන සරා, නිරෝෂා විරාජිනී සහ වෛද්‍ය රනිල් ජයසේන ගයන ඔබ නෙත් කොනින්, නාමල් උඩුගමගේ ගයන සඳ අයිතිය, උරේශා රවිහාරි, සුරේශ් ගමගේ ගයන ඔබ තරම් හඳට, නෙලූ අධිකාරි ගයන පූජාසනේ, මායා දමයන්ති සහ මම ගායන කරන ලද මාගම් තොටෙන් ඇතුළු තවත් ගීත බොහෝ ප‍්‍රමාණයක් තියෙනවා. ගීත 100කට වඩා වැඩියි කියන්න පුළුවන්. නාමල් උඩුගම ගැයූ සඳ සාවී ගොඩක් ජනප‍්‍රිය වුණා. මටම කියලා මගේ ගෙදර සංගීතය වෙනුවෙන් ස්ටුඩියෝ එකකුත් තියෙනවා. මට වීඩියෝ එඩිටිනුත් කරන්න පුළුවන්. ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණුගේ ලොකු දුව නිපුනි මෙන්ඩිස් එක්කත් ඩුවට් එකක් කියලා තියෙනවා.

නිර්මාණකරණයට ඒ කියන්නෙ ලියන්න පටන් ගත්තේ කොයි කාලේ වගේද..?

මම පාසැල් යන කාලෙ ඉඳලා පුවත්පත්වලට කවි ලියලා දමනවා. ඒ කාලෙ ටිකිරි පත්තරෙයි මිහිර පත්තරෙයි මගේ කවි පලවෙනවා. මාත් එක්ක ජනප‍්‍රිය සංගීත කණ්ඩායම් බොහොමයක වගේම කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙද්දී හිතවතුන් විදියට කටයුතු කරනවා. හැමෝම මම ලියූ සංගීත්වත් කළ ගීත ගැන ඇගයීම් කරනවා.

බිරිඳයි පුතාලා තුන්දෙනයි සංගීතයට යොමුවෙලා ඉන්නවා නේද? ඒ ගැනත් කියමු නේද..?

මගේ බිරිඳ ලේඛිකාවක්. එයා ලිව්ව පළවෙනි නවල් එකටම හොඳ අලෙවියක් තිබුණා. දැන් ඒකේ දෙවැනි කොටස ලියනවා. එයා ගීතයක් ලිව්වා. ඒක ගිය සතියේ යූ ටියුබ් එක හරහා නිකුත් කළා. ඒක ගායන කළේ අමිලා නදීශානි. මම තමයි සංගීතවත් කළේ. එක දවසට මෙතෙක් මා කළ ගීතවලින් වැඩිම වීව්ස් තිබුණේ මේ ගීතයට. ආදරේ ආදරේ අමිලා නදීශානී කියලා ඒක හැමෝටම යූ ටියුබ් එකෙන් බලන්න පුළුවන්.

ඔබේ දරුවෝ ජීවත්වෙන්නේ රටින් පිට.... ඔවුන් සංගීතය සමඟ දක්වන ළැදියාව කෙබඳුද?

පුතාලා තුන්දෙනා කුඩා කාලයේ ඉඳන් සංගීතය හැදෑරුවා. ඒ ගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගිහින් එහේ ස්ටුඩියෝ එකක් පටන් ගත්තා. මුලින්ම මගේ මෙහේ ස්ටුඩියෝ එකේ තිබුණ සංගීත භාණ්ඩ අරගෙන ගියත් මේ වෙද්දී නවීන තාක්ෂණය තියෙන ඒවා ඒ ස්ටුඩියෝ එකේ තියෙන්නේ. ඉසුරු කුසුමාල් රාජපක්ෂ, පවිත් සෞභාග්‍ය රාජපක්ෂ, සහ හිමාල් ශාන්ත රාජපක්ෂ කියන්නේ මගේ පුතාලා තුන්දෙනා. ඉසුරු නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අමෙරිකාවේ තිබුණු සොෆ්ට් ෆෙයාර් තරගයකට ඉදිරිපත්වෙලා පළවෙනි ස්ථානය හිමිකර ගත්තා ලෝකයෙන්ම. පුතාලා තුන්දෙනාම සංගීතයට මහත් ළැදිකමක් දක්වනවා වගේම එයාලා සංගීත වැඩකටයුතුත් ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන කරගෙන යනවා. බාලයා හිමාල් බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ඔලිම්පික් එකක් ගැන මුද්දර නිර්මාණය කිරීම තරගයක් තිබුණේ ඒකෙන් පළවෙනි තැන හමුවුණේ එයාට. ඉන්දියාවේ තමයි ඒ සම්මන ලබාදීම සිදුවුනෙත්. එයා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදියට ඉගෙන ගත්තට අයියලා දෙන්නට වඩා සංගීතයට එයා දක්ෂයි. එයා සංගීතය පිළිබඳ උපාධියකුත් හදාරනවා.

 චන්දන වරාවිටගේ