2020 ජුනි 13 වන සෙනසුරාදා

යළිත් නාඩි වැටෙන පොදු ප්‍රවාහනය

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

කෝවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා මාස දෙකකට වැඩි කාලයක් නතර කර තිබූ පොදු ප්‍රවාහන සේවය ජූනි මස 8 වැනි දින යළි සාමාන්‍ය පරිදි ආරම්භ වුණි. මේ අනුව සුපුරුදු පරිදි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන් තම රාජකාරිවලට පොදු ප්‍රවාහන සේවය මගින් කාර්යාලවලට පැමිණිය ද එම පැමිණීම්වල යම් අඩුවක් දක්නට ලැබුණි. වි‍ශේෂයෙන් දෛනිකව සෑම උදෑසනකම විවිධ පැතිවලින් කොළඹ නගරයට තම රාජකාරි කටයුතුවලට පොදු ප්‍රවාහන සේවය මගින් කොළඹට එන මගීන්ගේ අඩුවක් මෙන්ම පෞද්ගලික බස්රථවලද යම් අඩුවක් දක්නට ලැබුණි.

කෝවිඩ් වසංගතය නිසා අපිට මගීන් බස්රථවල ගෙන යා හැකිවන්නේ ආසනගත මගීන් පමණයි. මේ නිසා කොරෝනා වසංගතයට පෙර තිබුණු ආදායමෙන් සියයට පනහක් මේ වෙද්දී බස්රථ හිමියන්ට අඩුවෙලා තියෙනවා. ඊට අමතරව බස්රථවල අලුත්වැඩියා කටයුතු, ටයර්, ටියුබ්, මේ සියල්ලේ මිල ඉහළ ගොස් තිබෙනවා. නමුත් අපේ ආදායම දෛනිකව සියයට පනහක් අඩුවෙලා තියෙනවා. ඒ නිසා මේ සේවාව ඉදිරියට මේ විදිහට පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. දැනටමත් ධාවනය වන බස්රථවල අඩුවක් තියෙනවා. මේ වන විට බස්රථ ධාවනය වන්නේ සියයට හැටක් හැත්තෑවක් අතර ප්‍රමාණයක්. යැයි සමස්ත ලංකා බස්හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් දේශයට පැවසීය.
විශේෂයෙන් මේ තත්ත්වයට වැඩි වශයෙන් මුහුණදෙන්නේ කෙටිදුර ධාවන බස්රථහිමියන් බව ඔවුහු කියති. කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා බස්රථවල සහ දුම්රියවල මගීන් ගෙන යා හැක්කේ ආසන ප්‍රමාණයට අනුව බව රජය මගින් ලබා දී ඇති උපදෙස් මාලාවේ සඳහන් වේ. නමුත් මේ වන විට පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ හා දුම්රියවලද ආසනවලට වඩා වැඩි පිරිසක් ගමන් කරන බව දක්නට ලැබුණි. විශේෂයෙන් රාජකාරි සඳහා එන මගීන් සහ නැවත නිවෙස බලා යන මගීන් වැඩි වශයෙන් දක්නට ලැබුණි. 

මාධ්‍යවලින් කියන්නේ බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් ගෙන යනවා කියලා. හැබැයි ඉතින් අපිට එහෙම අතරමඟින් බස්රථයට නගින නිසා වාඩිවෙලා යන්න නම් සීට් ලැබුණේ නෑ. ඒ නිසා අපි ආවේ බස් එකේ හිටගෙනයි. කොරෝනා වසංගතය එන්න කලින් සමහරදාට අපි බස්වල ආවේ තනි කකුලෙන් හිටගෙනයි. සමහරදාට අපි වැල්ලවත්තෙන් බස් එකට නගිද්දී එන්න සිද්ධ වුණේ ෆුට්බෝඩ් එකේ. ලබන සතිය වෙනකොට සුපුරුදු පරිදි එහෙම තමයි අපිට එන්න සිද්ධ වෙන්නේ. යැයි මාර්ග අංක 154 බස්රථයක ගමන් ගත් රැවන් කුලසිංහ දේශයට පැවසීය.

කෝවිඩ්-19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳව රජය විසින් උපදෙස් මාලාවක් ඉදිරිපත් කෙරුණි. එහිදී බස්රථයේ හෝ දුම්රිය ආසන ගණනට සරිලන මගීන් සංඛ්‍යාවක් සමඟ ධාවනය කළ යුතු බව සඳහන් වුවද කාර්යාල දුම්රිය බොහෝමයකම මගීන් පෙර පරිදි සිටගෙන යාමක් ද දක්නට ලැබුණි. සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

කෙසේ වුවද කාර්යාල දුම්රිය මගින් කොළඹ කොටුවට එන බොහෝ දුම්රිය මගීන් පෙර පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බවද දක්නට ලැබුණි. එමෙන්ම බස්රථවලින් කොළඹට එනු ලබන මගීන්ගෙන් ඇතැමුන් බස් නැවතුම අසල ඇති ජල කරාම මගින් අත් සේදීමක් සිදු නොවන බවක් දක්නට ලැබුණි. නමුත් තවත් සමහරුන් ඉතා ඕනෑකමින් සෞඛ්‍ය අංශය විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අත් සෝදා බස්රථවල ගමන් කරන අයුරු ද අපට දක්නට ලැබුණි. කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සුපුරුදු පරිදි දක්නට ලැබුණි. කෝවිඩ්-19 වසංගතය පවතින කාලයේ දී අත්‍යාවශ්‍ය සේවා සඳහා රාජකාරීවලට වාර්තා කරනු ලබන සේවකයන් වෙත ලබා දුන් ටෝකන් ක්‍රමවේදය මේ වන විට අවසන් කර ඇති අතර ඕනෑම මගියකුට ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව දුම්රියේ යාමට අවසරය හිමිව ඇත.

දුම්රිය ගමන්වාරවල යම් සාමාන්‍ය තත්ත්වයක් පැවතියද, පෞද්ගලික බස්රථවල යම් අඩුවීමක් දක්නට ලැබුණි.
ආදායම අඩු නිසා බස් ධාවනය කරන එක අපිට හරි පාඩුයි. මේ දවස්වල සේවකයන් දෙන්නගේ පඩි බේරලා ඩීසල් ටික ගහලා ඉවර වුණාට පස්සේ සත පහක ආදායමක් ලැබෙන්නේ නැහැ. මේ තියෙන තත්ත්වයත් එක්ක බස් කර්මාන්තය ඇදවැටීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා සීට් ගණනට මගීන් ගෙනියන එක කරන්න හරි අමාරුයි. යැයි අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව ඔවුන් රජයට යම් යෝජනාවක් කර ඇත. එනම් මෙම කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් වනතුරු විශේෂිත මිලකට ප්‍රවේශපත්‍රයක් ලබා දිය යුතු බවයි. එනම් අර්ධ සුඛෝපභෝගී ප්‍රවේශපත්‍ර මිලට සමාන මිලකට මේ කාලය තුළදී මගීන්ගෙන් අයකරගත යුතු යැයි ඔවුහු යෝජනා කරති. එවිට බස්රථවල ආසන ගණනට සරිලන ප්‍රමාණයකට මගීන් ගෙන යා හැකි යැයි ඔවුහු පවසති.

මේ විදිහටවත් අපිට සහනයක් නොලැබුණොත් මේ කර්මාන්තය බිඳවැටීම වළක්වාගන්න හරි අමාරුයි. මාස තුනක් පමණ නිසි පරිදි ධාවනය නොවීම නිසා බස්හිමියන් ලොකු කරදරයකට අද මුහුණ දෙනවා. කොරෝනා වසංගතයට පෙර සේවකයන්ට ලබා දුන්නු වැටුපෙන් හරි අඩක් තමයි දැන් සේවකයන්ට ගෙවන්නේ. ඒ නිසාම සේවකයන් පවා මේ රැකියාවලින් දැන් ඉවත්වෙන තත්ත්වයට පත්වෙලා. මේ රටේ පෞද්ගලික බස්රථ 20,000 පමණ තියෙනවා. එයින් බස්රථ 16,000 ක් පමණ කෙටිදුර ධාවනයේ යෙදෙනවා. මේ සියල්ලම අද පුදුම අපහසුතාවයකට ලක්වෙලා. මේ නිසා අඩුම තරමේ මේ කොරෝනා වසංගතය අවසන් වනතුරැවත් අර්ධ සුඛෝපභෝගී බස්රථවල ප්‍රවේශපත්‍ර මිලටවත් ධාවනය කරන්නට ඉඩ ලබාදෙන්න යැයි අපි යෝජනා කරනවා. යැයි සමස්ත ලංකා බස්හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් දේශයට පැවසීය.

කෙසේ වුවත් මගීන් පවසන්නේ මෙම වසංගතය යම් තරමකට පාලනය වුවද රාජකාරි සඳහා ඒමට අවශ්‍ය බස්රථ පහසුකම් ඇතැම් අතුරු මාර්ගවල නොමැති බවය.
කෝච්චියට එන්න ස්ටේෂන් එකට අපිට අතුරුපාරක බස් එකක් තියෙනවා. ඒක මේ දවස්වල එන්නේ නැහැ. දවස් දෙකක්ම කෝචිචිය පරක්කු වුණා. බස් තාමත් හරියට එන්නේ නැහැ. ආවත් පාරේ එන්නේ හරි හෙමිහිට. මිනුවන්ගොඩ සිට රාජකාරියට පැමිණෙන ලසන්ත හේරත් පැවසීය.

කාර්යාල දුම්රියන් සුපුරුදු පරිදි උදේ ධාවනයට යොදවනවා. අනෙකුත් දුරගමන් සේවා දුම්රියන් වගේම සාමාන්‍ය දුම්රිය සේවාවන් සේවය සඳහා යොදවලා තියෙනවා. එමෙන්ම රාත්‍රී තැපැල් දුම්රිය සේවාවන් ද ධාවනයට යොදවා තියෙනවා. යැයි දුම්රිය දෙපාර්තමේන්තු සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවසීය.

කෙසේ වුවද ඇතැම් දුම්රියපොළවල ශරීර උෂ්ණත්වය මැනීමේ කටයුතු සිදු කරන අතර ඇතැම් දුම්රියපොළවලින් එම සේවාව සිදුවන්නේ නැත. දැනට පවතින සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත ඉවතලන ද්‍රව්‍ය දමන කසළ භාජන දුම්රිය නැවතුම්පොළ අසලින් ඉවත් කර ඇති අතර මගීන් විසින් ඉවතලන ද්‍රව්‍ය දුම්රිය ස්ථාන පරිශ්‍රය තුළ දැමීමෙන් වළකින්න ලෙස සඳහන් කර ඇති දැන්වීම් කොටුව ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයකම ප්‍රදර්ශනය කර ඇති බව දක්නට ලැබුණි.
කාර්යාල සේවා සඳහා පැමිණෙන ඇතැම් දුම්රියවල මගීන් වැඩිවීමක් දක්නට ලැබුණද, ඇතැම් දුම්රියවල එතරම් මගීන් පිරිසක් දක්නට නොලැබුණි. ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සුපුරුදු පරිදි සිදුවේ.

පොදු ප්‍රවාහන සේවයේ දී බස්රථ මගින් කාර්යාලයට පැමිණෙන සේවකයන්ගේ ද යම් අඩුවක් තවමත් දක්නට ලැබේ. ඇතැම් සේවකයන් තවමත් සේවයට වාර්තා කරනු ලබන්නේ තම පෞද්ගලික වාහන මගිනි. මේ නිසාම වෙනදා තරම් මාර්ග තදබදයකින් තොරව බස්රථ මගින් සේවයට වාර්තා කිරීමේ හැකියාවක් පවතී. මේ අතර මංතීරු නීතිය ක්‍රියාත්මක වන බැවින් එය වාහන තදබදය අඩු කර ගැනීමට තවත් ප්‍රබල හේතුවකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනු ලබන්නේ කෝවිඩ්-19 සම්බන්ධයෙන් ඇති දුර්වලම අවස්ථාව වන්නේ ප්‍රවාහන සේවය බවය. එබැවින් අනිවාර්යයෙන්ම ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාමට කටයුතු කළ යුතු බවත්, පැරණි තත්ත්වයට එය වර්ධනය වුවහොත් ඒ තුළ විශාල අනතුරක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයා - සුමුදු හේවාපතිරණ