2020 ජුනි 13 වන සෙනසුරාදා

විරෝධතා රැල්ලෙන් කොවිඩ් තවත් දරුණුවෙයි!

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සතිය මුල නරක ආරංචියක් රැගෙන ආවේය. ඒ බැලූ බැල්මට නොපෙනුණත් ලොවපුරා කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය තවදුරටත් උත්සන්න වී ඇති බවටය. ඇතැම් යුරෝපා රටවල වෛරස ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබුණද සමස්ත ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් දරුණු තත්ත්වයට පත්වෙමින් පවතින බව එම සංවිධානය පෙන්වා දුන්නේය.

මෙහිදී වඩාත් දරුණු අනතුරු ඇඟවීම ආවේ ඇමෙරිකාව සම්බන්ධයෙනි. මේ වනවිට ඇමෙරිකාව තුළ කොරෝනා වෛරසය මිලියන 2 ඉක්මවා ඇත. රටපුරා 112,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එවන් අසීරැ අඩියක සිටියදී ඇමෙරිකාව තුළ පසුගියදා තොග පිටින් පැවති උද්ඝෝෂණ රැළි හේතුවෙන් කොවිඩ් අවදානම නොසිතූ මට්ටමකට ඉහළ යන්නට හැකි බවට දැන් අනතුරු ඇඟවීම් ලැබී තිබේ. ඒ අනුව කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමඟ අනතුරට ලක්ව තිබෙන කළු ජාතික ජීවිතවලට සාධාරණය ඉල්ලා ඇමරිකාව පුරා මෙන්ම ලොවපුරා පැතිරී ගිය විරෝධතා හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ක්ෂණික වැඩිවීමක් ඉදිරි දිනවලදී දැකගත හැකි වනු ඇති බවයි ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබුණේ.

මේ හේතුව නිසා එළඹෙන සැප්තැම්බරය වනවිට ඇමරිකාව තුළ තවත් 100,000ක් පමණ මෙම වෛරසය ආසාදනය වීම නිසා මියයනු ඇති බව හාර්වඩ් ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා කියා ඇත. ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එළඹෙන ජූනි 27 වැනිදා වනවිට Covid 19 මරණ 118,000ත් 143,000ත් අතර ගණනක් වනු ඇති බවටද පුරෝකථනයක්ද නිකුත්කර තිබේ.
මේ වනවිට ලොවපුරා සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව +7500000 (හැත්තෑ පන් ලක්ෂයට) ආසන්නව ඇත. ලෝකයේ මිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් දැන් නව කොරෝනා වෛරසය බිලිගෙන හමාරය.
ඉකුත් සති 2ක කාලය තුළ ගතවූ දින 10න් 9කම දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති රටවල් ගණන ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. මේ වනවිට එය 16කි. සවුදියද අලුතෙන් මේ ගොඩට එක්ව ඇත. නමුත් දැන් වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ ලතින් ඇමෙරිකාවයි.

එම ලතින් ඇමෙරිකා කලාපයේ සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂ 12 ඉක්මවයි. එහි වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව +60,000 පන්නා තිබේ. ඒ අනුව පෙනී යන්නේ ලතින් ඇමෙරිකාව කොවිඩ් වසංගතයට එරෙහි සටනින් පරාජයට පත්වෙමින් සිටින බවය. ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ රට වන්නේ බ්‍රසීලයයි. මේ වනවිට කොවිඩ් මර්දනයට නිසි පියවර නොගෙන අන්තනෝමතික ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ ලෝකාපවාදයට ලක්ව සිටියි. කොරෝනා කාලේ ඇමෙරිකානු ජනාධිපතිගෙන් පසු ලොව වැඩියෙන්ම විවේචනයට උදහසට ලක්වූ රාජ්‍ය නායකයා බොල්සොනාරෝය. එවන් තත්ත්වයක් තිබියදී බොල්සොනාරෝ රජය ජූනි 4 වැනිදා සිට රටේ වසංගත තත්ත්වය පිළිබඳ නිල  වාර්තා ඉදිරිපත් කිරීමෙන්ද වැළකී සිටියහ. පසුව ජාත්‍යන්තර බලපෑම නිසා පසුගිය සති අන්තයේ සිට ඒ වාර්තා නැවත එළියට දැමූ අතර එයින් සනාථ වුණේ ලොව ඇමෙරිකාවට පසු වැඩියෙන්ම වසංගතයේ බලපෑමට හසුව ඇති රට බ්‍රසීලය බවටය.

මේ සතිය වෙද්දී බ්‍රසීලයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව +39,797ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර අද වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන +775,184   ඉක්මවයි. මේ යන අන්දමට ගියහොත් ජූනි 20 වැනිදා පමණ වනවිට බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් ගණන මිලියනයකට සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 50,000ට ළඟාවනු ඇතැයිද නවතම අධ්‍යයනයකින් පුරෝකථනය කර හමාරය.

කලාපයේ සෙසු රටවල් අතරින් මෙක්සිකෝව, පේරැ සහ චිලී රාජ්‍යයේ කොවිඩ් බලපෑමද තවදුරටත් ඉහළ යමින් තිබේ. ඉකුත් සතියේ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වුණේද චිලී රාජ්‍යයෙනි. එම සංඛ්‍යාව 649 කි. එරට ආසාදිත ගණන +148,496ක් ලෙස ඉහළ නැඟ ඇත. පේරුවල ආසාදිත ගණන +208,823 පන්නා තිබුණි. එරට මරණ සංඛ්‍යාව +6000ට ආසන්නව ඇත. වඩාත් දරුණු ප්‍රතිපල අත්විඳින්නේ මෙක්සිකෝවයි. ඉකුත් සති අන්තය වනවිට එරට ආසාදිත පිරිස +134000 පන්නා තිබුණි. මරණ +16065ක් වූ අතර සතියේ මුල ලොව වැඩිම කොවිඩ් මරණ සඛ්‍යාවක් වාර්තා කරමින් චීලීය තැබූ වාර්තාව මෙක්සිකෝව සති අන්තයේදී බිඳ දැම්මේය. ඒ අලුත් මරණ +708ක් එක් දිනකදී වාර්තාවට එක්කර ගනිමිනි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල කැපවීම හේතුවෙන් තවමත් කොවිඩ් මාරකය පාලනය කර ගැනීමට අපේ රට සමත්ව තිබේ. මෙරට මරණ සංඛ්‍යාව තවමත් 11කට සීමා වී තිබේ. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව +1,152 කි. සමස්ත ආසාදිත පිරිස +1869කි. දිනක් තුළ වාර්තා වූ අවම ආසාදිතයන් ගණන ලෙස පසුගිය සතියේ එක් තැනැත්තෙක් පමණක් වාර්තාවීම හාස්කමකි. ඇමෙරිකානු කළු ජාතිකයා වෙනුවෙන් සෞඛ්‍ය නීතිරීති නොතකා උද්ඝෝෂණයට එක්වූ පිරිස හේතුවෙන් තවදුරටත් මේ සංඛ්‍යාව ඉහළ නොගියහොත් රට තුළ තත්ත්වය තවමත් පාලනයකට ලක්ව පවතිනු නිසැකය.

එසේ වුවද අපේ අසල්වැසියන් ගැන නම් අසන්නට ඇත්තේ නරක ආරංචියකි. මේ වනවිට පාකිස්තානයේ කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂය ඉක්මවා තිබේ. එය සති අග වනවිට +125370 පන්නා තිබුණි. එහි මරණ ගණන +2458කි. බංග්ලාදේශයේ ආසාදිත පිරිස +81240 පන්නා හමාරය. එරට මරණ සංඛ්‍යාව +1087කි. 

දැන් ඉන්දියාව ඇත්තේද ඉතාමත් අසාධ්‍ය තත්ත්වයකය. එය දැන් ආසියාවේ ඉතාලිය බවට පත්ව හමාරය. මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයින්ගේ ඉහළ වර්ධනය සමඟ මුම්බායිහි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින අතර අගනුවර වන දිල්ලියේ රෝහල්වල ඇත්තේ දැඩි තදබදයකි. ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබේ. ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානයද වන මුම්බායි නුවරද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඉකුත් සඳුදා (8) පස්වරුව වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 85,975කි. එදාම එම වෙලාවටම ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 84,191කි. රටේ රෝහල්වලට රෝගීන් බාර නොගැනීම නිසා එටින් පළා යන පිරිසද ඉහළ ගොසිනි. එහි බලපෑම ඉකුත් සතියේ ලංකාවටද දැනුණේය. මුලින්ම තාත්තයි - දුවයි ජෝඩුවක් ලංකාවේ පිහිට පතා බෝට්ටුවක නැගී ආහ. දෙවැනුව ලෝක බෝරා ජාතිකයන්ගේ  නායකයා සිය අනුගාමිකයන් 45ක් සමඟ නිරෝධායනයට ලංකාවේ පිහිට පැතුවේය. නවතම වාර්තාවලට අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව +288,203කි.    මරණ සංඛ්‍යාව +8,123 කි. සමස්ත කොවිඩ් ආසාදිත රාජ්‍ය අතර ඉන්දියාව 06 වැනි ස්ථානයේ (එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව සහ මහා බ්‍රිතාන්‍යය) පසු වුවත් මරණ සංඛ්‍යාව අනුව ඉන්දියාව පසුවන්නේ 12 වැනි ස්ථානයේ වීම විශේෂත්වයකි.

මේ වනවිට දකුණු ආසියාවේ අඩුම කොවිඩ් බලපෑම එල්ලවූ රට වන්නේ ආසාදිතයන්  65 දෙනෙක් පමණක් හමුවී ඇති භූතානයයි. ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සුපුරුදු පරිදි වර්ධනය වෙද්දී එංගලන්තය ලොව කොවිඩ් මරණ වැඩිම රටවල් අතර 02 වැනි තැනට පත්ව ඇත. ඒ +41,128ක් මරණ වාර්තා වීමත් සමගිනි. නමුත් ආසාදිත සංඛ්‍යව අනුව එරට වැටෙන්නෙ 04 වැනි තැනටය.

මේ අතර සුබ ආරංචියක්ද ඉකුත් සතියේ දොරට වැඩියේය. ඒ නවසීලන්ත රජයේ  නිවේදනයකි. තමන් වසංගත ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. එයින් කියා ඇත්තේ පසුගිය පෙබරවාරි මස 28 වැනිදා සිට මේ දක්වා කිසිදු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී නොමැති බවයි. 

නවසීලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1504 වන අතර ඉන් ආසාදිතයන් 1482 ක්ම සුවය ලබා ඇත. වෛරසය ආසාදනය වීමෙන් එරට සිදු වූ මරණ සංඛ්‍යාව 22 කි.

 සුගත් පී. කුලතුංග ආරච්චි.