2020 ජුනි 13 වන සෙනසුරාදා

මරාගෙන මැරෙන්න දතකන මොරටු-ගම්පහ ගෝඩ් ෆාදර්ලා

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 362

මොරටුවේ හෝටලයකට වෙඩිතබා කප්පම් ඉල්ලීමේ සිද්ධියත් සමඟ නැවතත් පාතාල ලෝකය ගැන ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ දක්වා ඇස් යොමුවී ඇත. මේ නිසාම අද වනවිට පාතාල මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී ඇති අතර පොලීසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පාතාලය පසුපස හඹා යති. මේ නිසාම ඇතැම් පාතාලයන් පැන යනවා සේම තවත් පාතාලයෝ ආරක්ෂක අංශවලට පෙර ක්‍රියාත්මක වී තම විරුද්ධවාදීන් ඝාතනයකට සැරසෙමින් සිටිති. මේ නිසා දැන් පාතාලය සිටින්නේ නැට්ට ගිනිගත් හනුමාන් සේය. හැබැයි ඒ කියා මෙවැනි අපරාධකරුවන් වීරයන් කිරීමට අපට කිසිත් උවමනාවක් නැත. හේතුව ඔවුන් අපරාධකරුවන් මිස වීරයන් නොවන නිසාත් එසේම ඔවුන්ට හිමි කතාවක් ඇති නිසාත්ය.

මොරටුවේ ගැටුමේ ඇත්තම රූපය එකිනෙකට විරුද්ධ පාතාල කල්ලි දෙකක් අතර කතාවකි. එහෙත් ඒවා එළියට එන්නේ නැත. කෙසේ වෙතත් රත්මලානේ රොහාන් කණ්ඩායමත්, මොරටුවේ අංජුගේ කණ්ඩායමත් එකිනෙකා මරාගන්නේ දැන් අවුරුදු ගණනාවක සිටය.

මේ නිසාම අංජුගේ අයත්, රොහාගේ අයත් දෙපැත්ත බෙදී එකිනෙකා මරාගත්තේ එකිනෙකා ඉස්සර වෙමිනි. රොහාගේ කල්ලියේ සහ රොහාට සමීප බොහෝ දෙනෙක් මැරැම් කෑවේ අංජුගේ රහසිගත වෙඩික්කරු හරහාය. ඔහු සැඟව සියලු මිනීමැරුම් කළත් ඔහු වෙනුවෙන් හිරේ ගියේ වෙන වෙන පිරිස්ය. වෙඩික්කරු කවුරුත් නොව ගොනාකෝවිලේ රාජාය. රාජා අංජුගේ හොඳම ගෝලයාය. ඒ නිසා ගල්කිස්ස පොලීසිය විසින් මොරටුවේ හෝටලයකට වෙඩිතැබීම ගැන පරීක්ෂණ සිදුකරන මොහොතේ ඊට ගෝනාකෝවිල රාජා සම්බන්ධ බව දැනගත්තේය. එහෙත් ඔහු හිටි තැනක් දන්නේ නැත. මේ නිසාම පාතාල ලෝකය සම්බන්ධයෙන් දැනුමක් තියෙන දෙදෙනකු බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යොදාගත්තේය. එක් අයකු ඒ මොහොතේ බස්නාහිර උතුරු ප්‍රදේශ බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරය. ඔහු දැන් විශේෂ කාර්ය බළකායේ අණ දෙන්නාය. දෙවැනියා වීරකැටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාය. ඔහු පොලිස් පරීක්ෂක කැලුම් සංගීත්ය. ඔහුව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා කැඳවා ගත්තේ මෙකී පරීක්ෂණ සඳහාය.

සංගීත් විසින් සිදුකරනු ලැබූ විමර්ශනවලට අනුව රාජාගේ අපරාධ ලැයිස්තුව දිගුය. ඒ රාජා දැනට වසර කීපයකට පෙර උක්කුවා නැමති අයකු ඝාතනය කිරීම, අමල් සිල්වා නැමති අයකු වෙඩි තබා ඝාතන කිරීම, ගොනාකෝවිලේ රොහාගේ ගෝලයකු ඝාතනය කිරීම (අංජුගේ මල්ලි වන ලංසියා සමඟ) රොහාගේ මාමා කෙනෙකු වාද්දුව දුම්රිය ස්ථානයේ වෙඩි තබා ඝාතනය, ගොනාකෝවිලේ බබී ඝාතනයට තැත් කිරීම සහ ගල්කිස්ස ප්‍රදේශයේ කුඩු විකිණීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එරෙහිව තිබුණේය. කෙසේ වෙතත් තවත් චෝදනා තිබුණද ඒ සඳහා අංජු විසින් විවිධ තරුණයන් ඒ නඩු වෙනුවෙන් ඉදිරිපත් කර තිබිණි.

රාජා අවසානයේ ඝාතනය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වූ හිටපු නගර සභා මන්ත්‍රී රන්ජන් සිල්වාය. ඒ බව රාජා විසින්ම රන්ජන් සිල්වාගේ පවුලේ අයට දන්වා තිබිණි. එම ඝාතනයෙන් පසුව රාජා අංජුගේ සහයෙන් ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය. ඒ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් හරහාය. ඊටපසුව මාස කිහිපයකින් නැවත ඔහු ඉන්දියාවට ආවේය. එසේ පැමිණ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වෙමින් කුඩු ව්‍යාපාරයක් සිදුකරගෙන ගියේය. එහෙත් එය මඟ දමා බෝට්ටුවකින් රාජා නැවත ලංකාවට පැනගත්තේය. එසේ පැමිණි රාජා සිදුකළ පළමු ප්‍රහාරය මේ මොරටුව හෝටලයෙන් කප්පම් ඉල්ලීම සහ වෙඩි තැබීමය. ඒ සැඟවී සිටිමිනි.

පොලිස් පරීක්ෂක සංගීත් විසින් ලබාගත් තොරතුරු අනුව රාජා දිවුලපිටිය ප්‍රදේශයේ නිවාසයක සැඟවී සිටින බව දැනගන්නට ලැබිණි. ඒ අනුව බල්ලපාන මරඳගහමුල ප්‍රදේශයේ පාළු නිවසක් පොලිස් නිලධාරීන් විසින් වටකරනු ලැබූ අවස්ථාවේ පොලීසියට වෙඩී තැබීමට ගොස් අවසානයේ පොලිස් වෙඩි පහරින් රාජා මියගියේය. ඒ අනුව මොරටුව පාතාලයේ එක් කතාවක් එසේ නිමවිය. එහෙත් තවම අංජුත්, ධර්මසිරිත් ඉන්නේ ඩුබායිවලය. ගෝනාකෝවිලේ රොහා හොයාගන්නට නැත. එසේ නම් මොරටු පාතාලයේ අවසානය තවම නිමවී නැත.

මේ අතර බන්ධනාගාරයේ සැඟව වීරයකු වන්නට පෙරැම් පුරණ තවත් පාතාල සාමාජිකයකු වන්නේ මාකිලංගමුවේ සංජීවය. දකුණේ පාතාලයත්, උතුරේ පුනරැත්ථාපන එල්ටීටීඊ සමාජිකයනුත් සමඟ සම්බන්ධ වෙමින් සංජීව සිහින මවන්නේ රටේ සිටිය යුතු එකම පාතාලය තමන් යැයි සහතික කිරීමටය. දැනට සංජීවගේ අණින් කළ ඝාතන, ඝාතන තැත් කිරීම්, කප්පම් ගැනීම් ගණන් කළ නොහැකි තරම්ය. ඒ අනුව සංජීව තවත් අපරාධයක් සඳහා ඝාතනයකට සූදානම්ව සිටියදී පසුගියදා එය නවතාලන්නට හැකිවිය.

එය සිදුවූ ජූනි 06 වැනිදා කෙහෙල්බද්දර ප්‍රදේශයේ රථවාහන රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෝටර් රථයක් නැවැත්වූහ. ඒ මෝටර් රථයේ සිටි අයගේ රියදුරු බලපත්‍රයත්, හැඳුනුම්පතත් පරීක්ෂා කරමින් සිටියදී ඊට පසුපසින් පැමිණි බස් රථයක්ද නවතාලනු ලැබිණි. ඒ නිසා මෝටර් රථය පාරේ අයිනට ගන්නා ලෙස පොලීසිය සංඥා කළේය. ඒ අවසරයෙන් මෝටර් රථය වේගයෙන් එම ස්ථානයෙන් පැන ගියේය. පසුව පොලිස් නිලධාරීන් මොටර් රථය පසුපස පැන්නුවත් විවිධ මාර්ගවලින් නොපෙනී ගිය මෝටර් රථය හසු නොවීය.

එම මෝටර් රථය මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේ පාර අසල නතර කෙරිණි. එයින් බැසගත් අයකු පොහොර උරයක් මාර්ගය අසලින් තබා මෝටර් රථයේ නැගී පැන ගියේය. මෙය දුටු අසල කාන්තාවක් කුණු දමා යන්නට ඇතැයි සැකයෙන් එම පොහොර උරය පරීක්ෂා කළේය. එහිදී එම පොහොර උරයේ තිබී ටී 56 අවියක් සහ හිස් මැගසින් හතරක් හමුවිය. පසුව එම කාන්තාව පොලීසියට කතා කොට එම ආයුධ පෙන්වා තිබිණි.

එසේම ගම්පහ පොලීසිය විසින් වාහනය සම්බන්ධයෙන් සොයාබැලීමේදී එය නාරාහේන්පිට අයකුගේ බව තහවුරු විය. පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තහවුරු වුණේ එය ඔහුගේ මස්සිනා විසින් රැගෙන ගිය බවය. ඒ රාගම ප්‍රදේශයටය .ඒ අනුව රාගමදී පිරිස අත්අඩංගුවට ගනු ලැබීය. පසුව සොයාබැලීමේදී තහවුරු වුණේ නාරාහේන්පිට ප්‍රදේශයේ පොළව යට සඟවා තිබූ ගිනි අවියක් රැගෙන යාමට පැමිණි බවය. ඒ සංජීවගේ අණ උඩය. පසුව එම ගිනි අවිය යතුරු පැදියකින් පැමිණි පිරිසකට ලබාදෙන ලෙසත් දන්වා තිබිණි. කෙසේ වෙතත් දැනට දැනගන්නට ඇති තොරතුරු අනුව මෙම ප්‍රහාරය සුදානම් වී ඇත්තේ 8 වැනිදා ගම්පහ අධිකරණයේ පවතින නඩුවක් සඳහා සහභාගිවීමට පැමිණෙන ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වෙඩිතබා ඝාතනය කිරීමටය. එම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සංජීව කිහිප වතාවක් උත්සාහ කළ අතර අවසානයේ ඇතැම් දූෂිත පොලිස් නිලධාරීහුද ඊට අනුබල දෙන්නට වූහ. ඇතැම් සැලසුම් පාතාලයට වඩා තිබුණේ ගම්පහ ප්‍රදේශය බාරව සිටි එහෙත් දැන් නැති ඇතැම් දූෂිත පොලිස් ලොක්කන්ටය. ඒ නිසා පසුගිය කාලයේ සංජීව යැපුණේ එම නිලධාරීන්ගේ හයියෙනි.

කෙසේ වෙතත් එම ප්‍රහාරය වැළකී යාමත් සමඟ අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කරනවිට හෙළිවූ තවත් කරුණක් විය. ඒ අනුව සංජීවගේ අනියම් සබඳතාවක් ඇති කඩවත ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසේ තිබී කුඩු ග්‍රෑම් 500ක් සොයා ගැනීමට හැකිවිය. එම කුඩු බන්ධනාගාරයේ සිට දුරකථනය හරහා සම්බන්ධ වෙමින් එවා තිබුණේ සංජීව බව තහවුරු වී ඇත. ඒ අනුව සංජීවගේ කුඩු ජාවාරමේ කොටසක්ද හෙළිවිය.

මේ අතර සංජීවගේ තවත් ගෝලයෙක් පසුගියදා කොටුවුණේය. ඔහු ගම්පහ කප්රුක ව්‍යාපාරයේ හිමිකරු ඝාතනයට අවශ්‍යව සිටි එස්.එෆ්. මහේෂ් නැමති පුද්ගලයාය. ඔහු රට පැනසිටි අතර ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පැමිණ හෝටලයක සැඟව සිටියදී කොටුවිය. ඒ සමයේදී මේ ඝාතනය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය කතා පැතිරුණත් ඇත්තටම එම ඝාතනය වී ඇත්තේ කප්පම් ආරවුලක් නිසාය. කෙසේ වෙතත් ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවෙයි.

විශේෂයෙන් මොරටු පාතාලයත්, ගම්පහ පාතාලයත් එකට එකතු වුණේ ඩුබායි අංජුගේ සහෝදරයා වන ලංසියා මහර උසාවිය ඉදිරිපිට ඝාතනයටය. ඒ ඝාතනයට සංජීවගේ හොඳම ගෝලයකු වුණ අයකුගේ සේවය ලබාගනු ලැබීය. ඒ සියල්ල ලබන සතියේ ඔබට දිගහරින්නෙමි.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03