
කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා හමුවූයේ පසුගිය මාර්තු 19දාය. ඒ සමඟම කොරෝනා භීතියක් රට තුළ පැතිර ගිය අතර රජය හා සෞඛ්‍ය අංශ එක්ව වසංගතයෙන් බේරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබිණි. ඒ අතර ප්‍රධාන අංශයක් වූයේ වෙනත් රටවල සංචාරකයන් මගින් රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසාදැමීමය. ඒ අනුව මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපොළ මාර්තු 19දා වසා දැමිණි.
ඒ සමඟම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක පැමිණීම ශූන්‍ය බවට පත්වූ අතර මෙරට සංචාරක කර්මාන්තය හා බැඳුණු ක්ෂේත්‍ර රාශියකට යනඑනමං අහිමි විය. එලෙස මාස හතරක් වසා දමා තිබූ ගුවන්තොටුපොළ අගෝස්තු 1දා සිට සංචාරකයන්ට විවෘත කිරීමට නියමිත බව පසුගියදා රජය නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට දැඩි කොන්දේසි මත මෙරට සංචාරය කිරීමට අවස්ථාව සලසා දීමට නියමිතය. ඒ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ද සැලසෙන පරිදිය.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මෙලෙස පැමිණෙන සංචාරකයන් අවම වශයෙන් රාත්‍රී 5ක් මෙරට රැඳී සිටීම අනිවාර්ය බවය. ඒ අනුව දින තුනකට හතරකට මෙරටට පැමිණ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන්නේ නැත. මේ පිළිබඳව අප ඇසුවේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ මධුශානි පෙරේරාගෙනි.
PCR පරීක්ෂණ නිසා තමයි මෙලෙස අවම දින පහක් නියම කර තිබෙන්නේ. පැමිණෙන සෑම සංචාරකයකුටම ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණ කර කෝවිඩ් 19 රෝගියකු නොවන බව තහවුරැ කර ගැනීම අවශ්‍ය වෙනවා. මෙම කොන්දේසි අපි සකස් කළේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශවල උපදෙස් මතයි ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරය ගැන ඉහළින්ම කප් ගැසූ රටකි. පසුගිය මාර්තු මාසයේ ලෝකප්‍රකට සංචාරක බ්ලොග් රචකයන් කණ්ඩායමක් මෙරට සංචාරය කර පැවසුවේ කොරෝනා අවදානම හමුවේ වුවද ශ්‍රී ලංකාව යනු ආසියාවේ සුරක්ෂිතම ගමනාන්තය බවයි. කඩා වැටුණු සංචාරක කර්මාන්තය ටිකෙන් ටික ගොඩගත යුතුය. ඒ අතරම සෞඛ්‍ය නීතිවලට ද අනුකූල වීම අත්‍යවශ්‍යය. 2018 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 23කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, 2019 සංචාරක පැමිණීම ලක්ෂ 25ක් බලාපොරොත්තු විය. එහෙත් අප්‍රේල් පාස්කු ප්‍රහාරය නිසා ඒ වසරේ දෙසැම්බර් වනවිට පැමිණියේ සංචාරකයන් ලක්ෂ 19ක් පමණි. 2020 වර්ෂයේ සංචාරක පැමිණීම ලක්ෂ 25ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් කර තිබුණද ලොවම බිලිගත් කොවිඩ් 19 වසංගතය එයට තිත තැබුවේය. අප්‍රේල් වනවිට සංචාරක පැමිණීම ශූන්‍යය කරා ළඟා වූ අතර එයට පෙර පටන්ම සංචරණය සීමා කිරීමට කොවිඩ් වසංගතය දායක වී තිබුණි. ඒ අනුව සංචාරක පැමිණීම ජනවාරියේ සියයට 6.5කින් ද පෙබරවාරියේ සියයට 17.7කින්ද මාර්තුවේ සියයට 78.8කින්ද පහත වැටුණි. අප රටේ සංචාරක ක්ෂේත්රයේ සෘජු හා වක්‍ර ලෙස නිරත වූ 450,000කට රැකියා අහිමි විය. එවන් ඛේදනීය වාතාවරණයක් හමුවේ වසා දැමුණු සංචාරක ක්ෂේත්රය විවෘත කිරීමට දැන් පියවර ගනිමින් සිටී.
නව මාර්ගෝපදේශ අනුව සංචාරකයන් මෙරටට පැමිණිය යුත්තේ අවම වශයෙන් පැය 72කට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවක් අතැතිවය. එමෙන්ම ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසුව ද ගුවන් තොටුපොළේදී යළිත් PCR පරීක්ෂණයක් කළ යුතු අතර, එහි ප්‍රතිඵල ලැබෙන තෙක් කොළඹ හෝ මීගමුවේ තරු පන්තියේ හෝටලයක එක්දිනක් නවාතැන් ගැන්වීමට නියමිතයි. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් අගෝස්තු පළමුවැනිදායින් පසුව නිරෝධායන ක්‍රියාවලියකට යොමු නොකරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. දින 10ක් හෝ වැඩි කාලයක් රුඳී සිටීමට අපේක්ෂා කරන සංචාරකයන්ට PCR පරීක්ෂණ තුනකට මුහුණ දීමට සිදුවනු ඇත.
අගෝස්තු පළමුවැනිදා සිට කටුනායක සහ මත්තල මෙන්ම රත්මලාන ගුවන්තොටුපොළ ද සියලු සංචාරක නැරඹුම් ස්ථාන ද විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය පිටු 78කින් යුත් සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක්ද (Sri Lanka Tourism Operational Guidelines with health protocols) සකස් කර තම වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. සංචාරකයා රටට පැමිණීමට වීසා අයදුම් කිරීමේ සිට ගුවන් ටිකට්පත් වෙන්කර ගැනීම, හෝටල් වෙන්කර ගැනීම, සංචරණය, සෞඛ්‍ය නීතිරීති ආදී අංශ රාශියක් එහි විස්තර කෙරේ. සංචාරකයන්ට ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙන තුරැ අත්හිටුවා ඇති අතර සියලුම වීසා අන්තර්ජාලය ඔස්සේ ලබාගත යුතුය. ඒ සඳහා ඇ. ඩොලර් 100ක ගාස්තුවක් අය කෙරේ. ගුවන් මගින් මෙරටට ගොඩබැසිය යුත්තේ අන්තර්ජාලය මගින් ලබාගත් වීසා පත්‍රය සහ සෘණ PCR සහතිකයක් සමගිනි. මෙරට කරන PCR පරීක්ෂණයෙන් කොවිඩ් රෝගය ඇතැයි හෙළිවුවහොත් රෝහලකට හෝ නිරෝධායන හෝටලයක් වෙත යොමු කෙරේ. ඒ සඳහා එක් රාත්‍රියකට ඩොලර් 100ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.
සංචාරකයන්ට අතට අත දීම, සිප වැළඳගැනීම වෙනුවට ආයුබෝවන් යැයි සුබ පතන ලෙස උපදෙස් ලබා දී ඇති අතර දුම්රිය, බස්රථ හෝ ත්‍රිවිලර් වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමෙන් වැළකෙන ලෙසද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේම සංචාරක කර්මාන්තය බිඳ වැටීමට හේතුව අපි කවුරුත් දන්නා පරිදි කොවිඩ් 19 වසංගතයට ජනතාව දක්වන බිය. එම රෝගයට එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගන්නා තුරු සංචාරක කර්මාන්තය සාමාන්‍ය තත්ත්වයට එන්නේ නැහැ. ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ ප්‍රධාන කරුණක් තමයි තමන් අකමැති කිසිදෙයක් ආගන්තුකයාට හිමි නොවිය යුතු බව. ඒ වගේම මේ රෝගය නිසා නිරෝධායන කටයුතුත් සිදුවෙනවා. වෙනත් රටකට ගොස් චාරිකා කරනවා වෙනුවට නිරෝධායනය වීමට සිදුවුණොත්? ඒකට සංචාරකයා කැමති වේවිද? සංචාරකයා තම මව්බිමට නැවත ගිය පසුවත් ඔහුට නිරෝධායනය වීමට වේවිද යන ගැටලුව පවතිනවා. මෙන්න මේ හේතු මත තමයි සංචාරක කර්මාන්තයට සීමා වැටිලා තියෙන්නේ.
මුලින්ම අපි දේශීය සංචාරය දියුණු කළ යුතුයි. ඒක දකින විට විදේශීය සංචාරකයාත් අපේ රටට ඇදී එනවා. නමුත් දේශීය සංචාරකයන්ට ගැලපෙන හෝටල් ගාස්තු නෙවෙයිනේ අපේ තිබෙන්නේ. අපේ සංචාරකයන්ට ආචාරශීලීව සලකන දේශීය සංචාරක කර්මාන්තයකුත් මේ අවස්ථාවේ ගොඩනැගිය යුතුයි. එය ටිකින් ටික වර්ධනය කරගත යුතුයි.
ඒ වගේම විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීමේදී අපේ සෞඛ්‍ය කොන්දේසි අසල්වාසී රටවල සංචාරක සීමා ඉක්මවිය යුතු නැහැ. ඒ වගේම ඊට වඩා හොඳ වීම තමයි අවශ්‍ය. අපි අවම රාත්‍රී 5ක් සංචාරකයාට නියම කරන විට වෙනත් රටක් ඊට අඩු දින ගණනක් නියම කළොත් අපි අසාර්ථකයි. අපේ වීසා ගාස්තුව ඩොලර් 100යිනේ. වෙනත් රටවල ඊට අඩු ගාස්තුවක් නියම කළොත්? එක්වරම සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් අත්පත් කරගැනීම අසීරුයි. ටිකෙන් ටික තමයි දියුණු කරගත හැක්කේ. කලින් තිබූ තත්ත්වයට ඒමට වර්ෂයක්වත් යාවි. ඒ අතරතුර සංචාරක කළමනාකරණ ක්ෂේත්රයේ රැකියා තවත් ජාත්‍යන්තර මට්ටමින් පුහුණු කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවට මම යෝජනා කළා. සූපවේදීන්, වේටර්වරැ වගේ පුහුණු සේවකයන් මේ අවස්ථාවේ ඕනෑතරම් ඉන්නවා. ඩුබායි වගේ රටවල ඒ ක්ෂේත්රවල හිටපු පිරිසකුත් එහේ රැකියා බිඳවැටීම නිසා ඉදිරියේ පැමිණේවි. මේ නිසා හෝටල් කළමනාකරණ ක්ෂේත්රයේ උසස් තනතුරැවලට තවදුරටත් පුහුණු කිරීම වැදගත්.
කුසුම්සිරි විජයවර්ධන