මේ දිනවල ජනතාව මැසිවිලි නගන්නේ දිනෙන් දින සෑම බඩුවකම මිල ඉහළ යාම පිළිබඳවය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මෙන්ම, දෛනිකව පාවිච්චි කරන දත්බෙහෙත්, බුරුසු, සබන්, පවුඩර් සහ ආලේපන වර්ග ආදියේ මිල වැඩිවෙමින් පවතී. ඒ හැර පැණිබීම, පැණිරස කෑම, කේක් සහ බේකරි නිෂ්පාදන, විස්කෝතු වර්ග ආදියේ ද මිල ක්‍රමයෙන් ඉහළ නගිමින් පවතී. කොරෝනා වසංගත සමයේ රසායන ද්‍රව්‍යවල මිල අසාධාරණ ලෙස ඉහළ නැග තිබුණි.
මෙලෙස බඩු මිල ඉහළ යාමට ප්‍රධාන හේතු දෙකක් ඇති බව ව්‍යාපාරිකයෝ පවසති. එක් හේතුවක් වන්නේ අවිචාරවත් ලෙස නිතරම සිදුවන බදු සංශෝධනයි. අනික් හේතුව පසුගිය දිනවල විශාල වශයෙන් ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය පහළ බැසීමය. අපේ රටේ දේශීය නිෂ්පාදන රැසකටම අවශ්‍ය වන අමුද්‍රව්‍ය ගෙන්වන්නේ විදේශ වලිනි. ඒ නිසා දේශීයව නිෂ්පාදනය කරන ද්‍රව්‍යවල මිල ද රුපියලේ විදේශ අගය මත රඳා පවතී.
විවෘත ආර්ථික රටාව පවතින රටක මිල තීරණය වන්නේ ඉල්ලුම සහ සැපයුම් න්‍යාය මත නමුදු අපේ රටේ බඩු මිලට ඉල්ලුම - සැපයුම බලනොපාන බව පෙනේ. රටේ සෑම ද්‍රව්‍යයකම මිල තීරණය කරනුයේ ව්‍යාපාරිකයන් වන අතර ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල රජය මගින් ද තීරණය කෙරේ. කෙසේ වුවද භාණ්ඩවලට කවුරැන් හෝ නියම කරන මිල ගෙවා පාරිභෝගිකයා ඒවා රුගෙන යා යුතුය. එසේ නැතුව ඔවුන්ට වෙන විකල්පයක් නැත. අපේ රටේ අතිරික්තයක් ඇතැයි පුරසාරම් දොඩන සහල් මිල මෙයට හොඳම උදාහරණයකි. රටේ නිෂ්පාදනය කරන සහල් මිල කළමනාකරණය කළ නොහැකි බලධරයන් සිටින රටක සෙසු ද්‍රව්‍යවල මිල ගැන කියනුම කවරේද?
අපේ රටේ ජනතාවගෙන් වැඩි කොටස ස්ථිර මාසික ආදායමක් ලබන අයයි. ඔවුන්ගේ ආදායම වෙනස් වන්නේ මඳ වශයෙනි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් ද, ස්වයංරුකියාලාභීන් ද මෙම කොටසට අයත්ය. මොන ආණ්ඩුවක් බලයට පත්වුවද දුක් විඳින්නේ ඔවුන්ය. මේ සියලු දෙනාම යැපෙන්නේ ජාතික ආදායමෙන් 20% ක් පමණ වූ සුළු කොටසකින් වීම නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත.
ආහාර හා පෝෂණ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතන රාශියක් ඇති අතර, එයට අමතරව පළාත් සභා යටතේ ද ආහාර නිෂ්පාදනයට හා මිලට බලපෑම් කළ හැකි අංශ ගණනාවකි. එහෙත් අවාසනාවකට මෙන්, ඒ කිසිදු ආයතනයකින් රටේ සාගින්දරින් පෙළෙන ජනතාවට සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ට රටේ වෙළෙඳ මාෆියාව පාලනය කිරීමට නොහැකිවීම එයට හේතුවය. වෙළෙන්දෝ විවිධ හේතු ඉදිරිපත් කරමින් නීතිරීතිවල හිඩැසින් රිංගා ගොස් ජනතාව සූරා කති.
රටේ බඩු මිල ඉහළ යාම පිළිබඳ විවිධ අංශ මගින් ඉදිරිපත් කෙරෙන අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.
බේකරි නිෂ්පාදකයෝ අමාරුවේ
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ එම්.කේ. ජයවර්ධන
රජය පසුගියදා සිදුකළ අසාධාරණ මිල වැඩි කිරීම නිසා බේකරි හිමියන් විශාල අමාරැවක වැටිලා. ජනතාව මිල වැඩි යැයි අපට දොස් කීවද අප මිල වැඩි කරන්නේ වෙනත් කරන්න දෙයක් නැති නිසයි. කැමැත්තෙන් කරන දෙයක් නොවෙයි. එයට හේතුව මිල වැඩිවන විට ඉල්ලුම අඩුවීමයි. බේකරි නිෂ්පාදනවලට පාවිච්චි කරන සියලුම අමුද්‍රව්‍යවල මිල එකට එකක් වැඩි කරලා තියෙනවා.
බේකරි නිෂ්පාදන සඳහා වැඩිපුරම පාවිච්චි කරන්නේ පාම් ඔයිල්. සියයට අනූවක් මිල වැඩි කරලා. කිලෝවක මිල රැපියල් 550 – 600කින් ඉහළ ගිහින්. පොල්තෙල් රුපියල් 550 ක් වෙලා. මාගරින් රුපියල් 650 වෙලා. මේ තත්ත්වය මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වහාම වැඩි කරන්න වෙලා. එසේම සීනි කිලෝව මේ වන විට රුපියල් 150 ක් පමණ වෙලා. මාළු සහ මස් මිල ද වැඩිවෙලා. මේ සියල්ල බේකරි නිෂ්පාදනවලට ගන්නා අමුද්‍රව්‍යයි.
ආපනශාලා නඩත්තු වියදම් වැඩියි
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ පසුගිය කොරෝනා වසංගත සමයේ ආපනශාලා වසා තැබීමට සිදුවීම නිසා තම ව්‍යාපාරිකයන්ට විශාල හානියක් සිදු වූ බවය. එසේම රටේ සෑම අංශයක්ම මේ වන විට විවෘත වෙමින් පවතින නමුත් තවමත් ආපනශාලා සම්පූර්ණයෙන් විවෘත කර ව්‍යාපාර කටයුතු කරගෙන යාමට වගකිවයුත්තන් අවසර ලබා නොදීම අසාධාරණයක් බව ඔහු කියා සිටී.
&ආපනශාලා විවෘත කරන්නට පසුගිය සතියේ අවස්ථාව සලසා දීමට සැලසුම් කර තිබුණද, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමන බව සැලවීමත් සමඟ යළිත් වසා දැමීමට උපදෙස් දී තිබෙනවා. මෙය හරිම අසාධාරණයක්. රෙස්ටුරන්ට්වල මත්පැන් බොන්න ඉඩ දීලා තියෙනවා නම් පාරිභෝගිකයකුට හෝටලයකට ගිහින් බත්වේලක් කන්න අවසර නොදෙන්නේ ඇයිද කියන එක විශාල ගැටලුවක්. පසුගිය දිනවල බදු ඉහළ දැමීම නිසා සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගියා. ඉතින් එයට සමානුපාතිකව ආපනශාලාවල අලෙවි කරන ද්‍රව්‍යවල මිල වැඩි කරන්න වෙනවා. ආණ්ඩුව කියන විදිහට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමේදී වැඩිපුර ජලය පාවිච්චි වෙනවා. එසේම සබන් ද්‍රව්‍ය සහ විෂබීජ නාශකවලටද වැය කරන්න සිදුවෙලා තියෙනවා. මේ නිසා 10% - 20% ප්‍රමාණයකින් සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැංවිය යුතුයි.
නව බදු ගැසීමත් එක් හේතුවක්
කොළඹ ව්‍යාපාරික සංගමයේ ජාතික සංවිධායක එම්.එස්.ඒ. මුනීර්
රැපියල අවප්‍රමාණ වීම නිසා පිටරටින් ගෙන්වන සියලුම භාණ්ඩවල මිල ඉහළ නැග්ගා. එසේම ආනයන බදු ඉහළ දැමීමත් සිදු වුණා. මේ දෙආකාරයටම මිල ඉහළ ගිහින් තියෙනවා. සබන්, සුවඳ විලවුන්, දත්බෙහෙත්, විශේෂයෙන්ම විෂබීජනාශක දියර, රසායන ද්‍රව්‍ය, පැණිරස ආහාර ද්‍රව්‍ය, කාඩ්බෝඩ්, කඩදාසි, පොලිතීන් වැනි ඇසුරැම් ද්‍රව්‍යවල මිල වැඩිවෙලා. මේ මිල ඉහළ යාම ද භාණ්ඩවල මිලට එකතු වෙනවා. කෝවිඩ් වසංගතය නිසා විෂබීජනාශක, සබන් හා රසායනික ද්‍රව්‍යවලද ඉල්ලුම ඉහළ ගියා. ඒ නිසාද මිල ඉහළ නංවා තියෙනවා.
බඩු ප්‍රමාණ අඩු වුණාම තියෙන අය මිල වැඩිකර අලෙවි කිරීම නවත්වන්න අමාරැයි. වෙළෙඳපොළ තරගකාරීත්වය මත මිල අඩුවන නමුත් ඒ මතම සැමවිටම මිල පහළ නොයන බව පෙනෙනවා. අද පවතින තත්ත්වය එයට හොඳ උදාහරණයක්.
ඉඳිආප්ප - ආප්ප පවා මිල වැඩිවෙලා
පාරිභෝගිකයන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ
පසුගිය කොරෝනා වසංගත සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉතා විශාල ලෙස හදිසියේ වැඩි කළා. එයට නිශ්චිත හේතුවක් දැක්වූයේ නැහැ. අනවශ්‍ය ආනයන අවම කිරීම සඳහා මෙම බදු පැනවීම කළ බව වගකිවයුත්තන් පැවසුවත් අනවශ්‍ය නොව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට ද බදු ගහලා මිල අසාමාන්‍ය ලෙස වැඩි කරලා තියෙනවා. මේ හේතුවෙන් ව්‍යාපාරිකයන්, ජාවාරම්කරැවන් ඉතාම අසාධාරණ ලෙස සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ නංවා පාරිභෝගිකයන් ගසාකන්න පටන් අරන්.
අද සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ඉඳිආප්පයේ, ආප්පයේ පටන් මිල ඉහළ ගිහින්. හාල් මුදලාලිලාට හසු වූ රජයට අන්තිමට නතර වෙන්න සිදුවූයේ සහල් මිල සෑහෙන්න ඉහළ දාලයි. පාන් ඇතුළු සියලුම පිටි නිෂ්පාදනවල මිල දිනපතා ඉහළ යනවා. කොරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාවට වෙළෙඳපොළට ගිය විට එළව එළවා පහරදෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සීනි, තේ කොළ ආදියේ මිල ඉහළ යාම නිසා තේ කෝප්පයක්වත් බොන්න ලැබෙන්නේ නැහැ. පැණිබීමවල පැණිරස කෑමවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා.
මිල පාලනයක් නැති නිසා අපට මැදිහත් වෙන්න බෑ
මේ පිළිබඳ අදහස් දක්වන පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ - පාරිභෝගික කටයුතු සහ තොරතුරැ - අසේල බණ්ඩාර පවසන්නේ සමහර ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බව පෙනෙන නමුත් ඒවායේ මිල පාලනයක් නොමැති නිසා ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට මැදිහත් වීමට නොහැකි බවය.
පාරිභෝගික සේවා අධිකාරියට මැදිහත් වීමට පුළුවන් උපරිම අලෙවි මිල නියම කළ භාණ්ඩවලට පමණයි. උදාහරණයක් වශයෙන් කිවහොත් වැඩි මිලට පාන් අලෙවි කරන බවට පැමිණිල්ලක් ලැබුණොත් ඒ පිළිබඳ අපට වැටලීම් කරන්න පුළුවන්. එහෙත් පාන්පිටිවලින් හෝ හාල්පිටිවලින් තනන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිය කියා ඒවා පිළිබඳ අපට මැදිහත්වන්න බැහැ. අධික මිල ගණන්වලට අලෙවි කරලා අසාධාරණ ලෙස පාරිභෝගිකයන් සූරාකෑම අනුමත කරන්න බැහැ. එය සදාචාර සම්පන්න ද නැහැ. එහෙත් නීතියෙන් අපට එය වළක්වන්න බැහැ. ඉල්ලීමක් කරන්න නම් පුළුවන්. අනිත් අතට තරගකාරී වෙළෙඳ රටාවක දී ඕනෑම භාණ්ඩයක මිල අසාධාරණ ලෙස ඉහළ ගිය විට පාරිභෝගිකයන් එයට ඇති ඉල්ලුම අඩු කරනවා. එවිට අලෙවිය පහළ යන්න පුළුවන්. එසේ වූ විට නිෂ්පාදකයාට එය අහිතකර ලෙස බලපානවා. එබැවින් ස්වයං පාලනයක් ඇතිවෙන්න පුළුවන්.
තේ කෝප්පයේ මිල ඉහළ යාම පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට මැදිහත් විය නොහැකිදැයි විමසූ විට ඔහු පැවසුවේ තේ කෝප්පයේ මිල ද එක එක තැන්වල වෙනස් වන බවයි. තේ කෝප්පයේ ප්‍රමාණය, එයට පාවිච්චි කරන තේ කොළ වර්ගය, දමන පිටි ප්‍රමාණය, සීනිවල තත්ත්වය අනුව මිල අඩු වැඩි වන අතර තේ කෝප්පයක් මෙලෙස විය යුතු යැයි ඒකාකාරී ප්‍රමිතියක් නිර්ණායකයක් කිසිවිටෙකත් නියම කළ නොහැකි බව ඔහුගේ අදහසය. හෝටල් දහයක තේ කෝප්පය දහ ආකාර විය හැකිය. ඒ අනුව මිල ද වෙනස් වෙයි. සීනි හෝ තේ කොළ මිල ඉහළ යාමට ප්‍රථම වුවද තේ කෝප්පයේ මිල එකිනෙකට වෙනස්ව පැවතුණි.
යසවර්ධන රුද්රිගු