“කොරෝනා ප්‍රශ්නය ඇතුළේ ජනතාවට ලීසිං සහනයක් දෙනවා කීවා. ඒක ක්‍රියාත්මක වුණෙත් නෑ. ලබා දුන්නෙත් නෑ. මේකට මහ බැංකුව හෝ රජය මැදිහත් වෙන්නෙත් නෑ. මේ වෙද්දී පෞද්ගලික ලීසිං ආයතන වගේම රාජ්‍ය ලීසිං ආයතනත් පාරිභෝගිකයන්ගෙන් වාරික අයකරන්න හදනවා. මුදලත් පොලියත් දෙකම ගෙවන්න දැනුම් දෙනවා. නැත්නම් නීතිය ක්‍රියාත්මක කරනවාලු. අපි මේක ගරු ජනාධිපතිතුමන්ට මතක් කරනවා. කොරෝනා ආරම්භයේදී ඔබතුමා ජාතිය අමතා ප්‍රකාශයක් කළා. එදා මෙතුමා කී ලීසිං සහනය ජනතාවට ලැබෙන්නේ නෑ. ඔබේ ඉල්ලීම ලීසිං සමාගම් හෝ මහබැංකුව ගණන් ගන්නේ නෑ. ඔබතුමාගේ ඒ ප්‍රකාශය බොරුවක් වෙලා. මේ කියන සමාගම් සමඟ පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධයි.”
නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියේ පිහිටි “චැන්චිල් ඉන්වෙස්ට්මන්ට්” නැමැති කල්බදු සමාගමක් තුළදී ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහරදී ඝාතනය කරන්නට හෝරාවකට දෙකකට මත්තෙන් ඔහු සිදුකළ සජීවී ප්‍රකාශයක් මෙසේ මුහුණු පොතට එක්කොට තිබුණි. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශ කර තිබේ.
“ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් මහබැංකුවේ ඉහළ නිලධාරියෙක් ලීසිං සහනය දෙන බව ප්‍රකාශ කළා. නමුත් ඔහුගේ ප්‍රකාශයත් දැන් බොරැවෙලා තියෙනවා. ලීසිං ආයතනවල ඉන්න පාතාලයේ මිනිස්සු දැන් අහිංසක පාරිභෝගිකයන්ගේ වාහන මඟතොටේදී පැහැර ගන්නවා. අපි මේ ගැන ඉල්ලීමක් වශයෙන් ගරු ජනාධිපතිතුමාට කියන්නේ. ලංකාවේ දැනට ලක්ෂ අටහමාරක් විතර වාහන තියෙනවා. මේවායින් 90%ක්ම ලීසිං යටතේ ගත්ත ඒවා. දැන් ලීසිං මාරයා ක්‍රියාත්මකයි. මහ බැංකුවත් ආණ්ඩුවත් පසුබසිනවා. කොරෝනා ප්‍රශ්නය ඇතුළේ දෙනවා කී සහන දැන් පැත්තකට විසිවෙලා. වහාම ඔබතුමන්ලා මේකට මැදිහත්වෙලා පියවරක් ගන්න.”
දිවයිනට බලපෑ කොරෝනා වංසගතය හමුවේ මහා පරිමාණයේ ව්‍යාපාරවල සිට එදිනෙදා වේල හරිහම්බ කරන දුප්පතා දක්වාම සියලු ආකාරයේ ඉපයීම් අඩාල වී ගියේය. නොයෙක් ආකාරයෙන් රජයට ලැබෙන බදු ආදායම පවා අහිමි වෙද්දී ජාතික ආර්ථිකයද ඇන හිටියේය. පැවති අර්බුදය හමුවේ ආණ්ඩුව නොයෙක් ආකාරයෙන් ජනතාවට සහන සලසන්නට ඉදිරිපත් වූවේය. ඒ අතර ණයවාරික හා බැංකු පොලී සම්බන්ධයෙන් විශේෂ සහන සපයන්නැයි ජනාධිපතිවරයා අදාළ ආයතන බලධාරීන්ට නියෝග කළේය. මහ බැංකුවේ වගකිවයුතු නිලධාරීන් මගින්ද ඒ බව ප්‍රකාශ කරමින් සමාජගත කළේය. එහෙත් ඇතැම් රාජ්‍ය බැංකුවලින් පවා සිදුකළේ පාරිභෝගිකයන්ගේ ණය වාරික දෙමසක් අය නොකර සිට තුන්වැනි මාසයේ හිඟ වාරික දෙකක් එකවර කපා හැරීමය. මෙය පාරිභෝගික ජනතාව කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ හා ඔවුන් කබලෙන් ළිපට වැටුණු තත්ත්වයට පත් කිරීමකි. පෞද්ගලික හා රාජ්‍ය ලීසිං හෙවත් කල්බදු ආයතනවල ක්‍රමවේදයත් ඊට වෙනස් නොවීය.
ලීසිං පහසුකම යටතේ රථවාහන මිලට ගත් පිරිසට කොරෝනා වෛරසය හා ක්‍රියාත්මකව පැවති ඇඳිරි නීතිය හමුවේ කිසිදු ආදායමක් ඉපදවීමට අවස්ථාවක් තිබුණේ නැත. එබැවින් ණයවාරික දෙක තුන ගෙවීමට නොහැකිවීමේදී කල්බදු සමාගම් පාරිභෝගිකයන්ට අනතුරු අඟවා තිබුණේ වහාම නියමිත ගෙවීම සිදුකරන ලෙසය. ගෙවීම පැහැර හරින පාරිභෝගිකයන් සතු රථවාහන මඟතොටේදී පැහැර ගැනීමට ක්‍රියාකර තිබුණේ සීසර්වරුන් විසිනි. ඔවුන් බොහෝවිට පාතාල ක්‍රියාකාරීන් බවට වාර්තා වේ. අණක් ගුණක් නැති ඔවුන් කෙසේ හෝ තම කොන්ත්‍රාත්තුව හෝ අදාළ මුදල ලබාගැනීමේ අපේක්ෂාවෙන් අනුන් සතු වාහන පැහැරගැනීම සිදුකරති. මෙය කාලයක පටන් අප රටේ පවතින ආර්ථික හා සමාජ පරිහානියේ එක් පැතිකඩකි.
කොරෝනා අර්බුදයෙන් පසුව මෙවැනි සිදුවීම් ගණනාවක් එකදිගට වාර්තා වෙමින් පැවතිණ. ඒ අතර මේ සිද්ධියට අදාළ ත්‍රිරෝද රථ රියැදුරකු වශයෙන් කටයුතු කරන පුද්ගලයාද ලීසිං පහසුකම යටතේ රථය මිලදී ගෙන ස්වයං රැකියාවක නිරතව සිට ඇත. ආණ්ඩුව ණයවාරික සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස දන්වා තිබුණු අතර මේ පුද්ගලයාට වාරික කිහිපයක් ගෙවීමට තිබී ඇතැයි කියති. අවසානයේ වාහනය සීසර්වරුන් විසින් පැහැරගෙනයාම නිසා ගැටලුව උග්‍ර වීමත් සමඟ එම පුද්ගලයා තම ගැටලුව ඉදිරිපත් කර තිබුණේ ඔහු නියෝජනය කරන ලංකා ස්වයංරුකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය වෙතය. එහිදී ක්‍රියාත්මක වූ එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ගැටලුවට විසඳුමක් ලබාදීමට උත්සාහ කොට තිබුණි.
ඒ අනුව සිය සංගම් සාමාජිකයාගේ පැමිණිල්ල හා තවත් එවැනි කාරණා රාශියක් මුල්කර ගනිමින් සංවිධාන වූ සුනිල් ජයවර්ධන මහතා ඝාතනය වීමට දින දෙකකට පමණ කලින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් එහි සහකාර ලේකම්වරයකු හමුවී තමන් සතු කරුණු වාර්තා කොට ඇත. එහිදී සහකාර ලේකම්වරයා මැදිහත් වී අදාළ කල්බදු සමාගමට කරුණු දන්වා සිදුකළ ඉල්ලීමේදී එම සමාගම නැවත වාහනය මුදාහැරීමට එකඟ වී ඇත. මෙය නිල නොවන වශයෙන් සිදුකළ සාකච්ඡාවක් බවටද සඳහන්ය. ඉන් පසුදින සුනිල් ජයවර්ධන මහතා සහ එම සංගමයේ ලේකම් මහින්ද කුමාර යන අය මිරිහාන පිහිටි “චැන්විල් ඉන්වෙස්ට්මන්ට්” ආයතනයට ගොස් තිබුණි. එහෙත් අදාළ සමාගම රථය නැවත ලබාදීම ඒ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කර ඇත.
අනතුරුව සිදුකළ ප්‍රකාශයක් වීඩියෝ ගතකර සුනිල් ජයවර්ධන මහතා අන්තර්ජාලයට මුදාහැර එතැනින් පිටව ගොස් තිබුණි. පසුව පිරිස සූදානමින් සිට ඇත්තේ අදාළ කරුණට එරෙහිව එම සමාගම ඉදිරිපිට ඊට පසුදින උද්ඝෝෂණයක් සිදුකිරීමටය. ඊට අවශ්‍ය වටපිටාව සකසා ගැනීම සඳහා සුනිල් ජයවර්ධන ඉකුත්දා සවස එම ස්ථානයට ගොස් තිබුණි. එම අවස්ථාවේ මහින්ද කුමාර මහතාට පළමුවෙන් පහරදී ඇති බවත් ඔහු එළියට ගොස් නැවත එන අතරේ සුනිල් ජයවර්ධන මහතාට පහරදී බිම දමා ඇති බවත් කියති. මේ පහරදීමට සීසර්වරැන් කණ්ඩායමක් සමඟ සමාගමේ හිමිකරු යැයි පවසන තැනැත්තාද සම්බන්ධ බව කියති.
පහරදීම සිදුවූ කල්බදු සමාගම රජය අනුමත නොකළ එකකි. ඒවා ජනවහරේ ගොඩ ෆිනෑන්ස් නමින් හඳුන්වති. ජනතාවට පොලියට මුදල් දෙන රථවාහනවල පොත තබාගෙන මුදල් නිකුත් කරන මෙවැනි ගොඩ ෆිනෑන්ස් ආයතන ජනතාවගේ මුදල් හූරා කති. රජයේ නිසි වැඩපිළිවෙළක් හෝ මහ බැංකුවේ නිසි නියාමනයක් නොවන නිසා මෙවැනි ව්‍යාපාරිකයන්ට සිතූ සේ ජනතා මුදල් කොල්ලකෑමට අවස්ථාව ලැබී තිබේ.
කිසිදු නීතිමය අවසරයකින් තොරව පවත්වාගෙන යන මෙම ගොඩ ෆිනෑන්ස් ආයතන හිමිකරුවෝ ඔවුන්ගේ මුදල් බලයෙන් පාතාල සාමාජිකයන් යොදවා ජනතා අයිතියත් ජනතා මුදලුත් ගසාකමින් සිටිති. මේ ආයතනවලට නියාමනයක් අධීක්ෂණයක් හෝ රාජ්‍ය මැදිහත්වීමක් නොමැත. මෙවැනි සිදුවීම්වලට එරෙහි පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට නිතිපතා ලැබෙමින් පවතින බවද වාර්තාවේ. එහෙත් පාරිභෝගික අධිකාරි පනත යටතේ මෙවැනි ගැටලුවකට මැදිහත්වීමට අවස්ථාවක් නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කරයි.
මෙවැනි හේතු රාශියක් නිසා අද ජනතාව අසරණය. ඔවුන්ට වග කියන්නට රාජ්‍ය මැදිහත්වීමක් නැත. එවැනි නියාමනයක් හෝ අධීක්ෂණයක් නොවුණු පසුබිමක දේශපාලනඥයන් නොයෙක් ප්‍රකාශ සිදුකරන්නේ දේශපාලන වාසිය තකාය. මෙවැනි පරිසරයක් තුළ සිය වගකීම ඉටුකරන්නට පෙරට ආ සිවිල් සමාජ ක්‍රියාකාරික සුනිල් ජයවර්ධන මහතා මැර ප්‍රහාරයකින් ඝාතනය වීම දරුණු ඛේදවාචකයකි.
සුනිල් ජයවර්ධන මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා බාරදුන් අපේක්ෂකයෙක් වීම විශේෂය. මොහු පාපන්දු සලකුණ යටතේ ස්වාධීන අංක - 04 කණ්ඩායම් නායකයාද වේ.
එපමණක් නොව ඝාතනයට එරෙහි සැකකරුවන් අට දෙනෙක් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙති. මේ සියල්ල පසුපස වන අර්බුදයට නිසි විසඳුම් නොදී වගකිවයුතු පාර්ශ්වවලට හා ආණ්ඩුවට කර ඇරිය නොහැකිය.
සමන්ත ප්‍රදීප් විල්තෙර