ලංකාවේ කුඩු ජාවාරමට දෙවැනි නොවන ජාවාරම කුමක්ද? යන්න විමසුවොත්, ඇතැම් විට ඔබට පිළිතුරක් නැත. එසේත් නැතිනම් පිළිතුරු වැලක් ඇත. ඒ ඔබේ දැනුමේ ප්‍රමාණය අනුවය. ඇත්‍තටම ලංකාවේ කුඩු ජාවාරමට දෙවැනි නොවන ජාවාරම කුමක්ද? පැහැදිලිවම එය වකුගඩු ජාවාරම බව කිව යුතුමය. එය කුඩු ජාවාරම හා සමානව පවතින සමාජ අභ්‍යන්තරයේ මහා පරිමාණයෙන් සිදුවන ජාවාරමක් වී ඇත.
රජරට ලක්ෂයකට ආසන්න වකුගඩු රෝගීහු සිටිති. බදුල්ලේද ඉන් අඩකි. ඒ සියල්ලෝම ජීවිත කාලයේම වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින්, ඖෂධ ආධාරයෙන් හුස්ම ගනිති. එසේ නම් මෙවැනි තත්ත්වයක සිදුවන ජාවාරම කුමක්ද? ඔබ ඇතැම්විට මෙය දන්නවා ඇත. ඇතැම්විට නොදන්නවාද ඇත. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ දන්න නොදන්න හැමදෙනාටම දන්න සිංහලෙන් මේ මහා පරිමාණයෙන් සිදුවන වකුගඩු ජාවාරම ගැනය.
ඉස්සර සාමාන්‍යයෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අය විමසා පත්තරේ දැන්වීම් පළවෙයි. එක් එක් ලේ වර්ගයට අයත් වකුගඩු ඉල්ලමින් පළකරන දැන්වීම් එමට ඇත. එහෙත් දැන් ඉඳහිට එකක් දෙකක් පළවුවත් ඉස්සර මෙන් නැත. ඇත්තටම ඒ වකුගඩු ජාවාරම නිසාය. ඉස්සර මෙන් දැන්වීම් පළකරන්නට පුවත්පත් පවා ඉදිරිපත් නොවේ.
දැනට ලංකාවේ වකුගඩු බද්ධ කිරීම් පිළිගත් රජයේ සහ පෞද්ගලික රෝහල්වල කරන බව දන්නා දෙයකි. එහෙත් ඔබ නොදන්නා කරුණ නම් අද වනවිට ඇතැම් නිවෙස්වල, ඩිස්පෙන්සරිවල, කුඩා ප්‍රමාණයේ වෛද්‍ය ආයතනවල පවා මේ වකුගඩු බද්ධ කරන බවය. ඒ මෙය ජාවාරමක් ලෙස සිදුකිරීම නිසාය. දැනට ලංකාවේ වකුගඩු ජාවාරමේ ඒජන්තවරුන් 500කට ආසන්න පිරිසක් ජීවත් වෙති. එසේම ඊට අනුබල දෙන වෛද්‍යවරුද රැසක් වෙති. අනුබල දීමටත් වඩා මේ ජාවාරමේ නියැලෙන, යැපෙන වෛද්‍යවරුන් ලෙස නම් කළ හැක.
සාමාන්‍යයෙන් වෙනත් රටක, එසේත් නැතිනම් කෝටිපතියකුට වකුගඩුවක් අවශ්‍යය යැයි සිතන්න. ක්ෂණයකින් තැරුව්කරුවකු ඊට සම්බන්ධ වන අතර අදාළ වකුගඩුව සඳහා ලක්ෂ 15 සිට 30 දක්වා ලංසු තබයි. විශේෂයෙන් විදේශිකයකු නම් නියත වශයෙන්ම ලක්ෂ 30ක් වනු ඇත. ඊටපසුව අවශ්‍ය වකුගඩුවට අදාළව අයෙකු සොයාගන්නා අතර ඔහුගේ වකුගඩුවේ ගාස්තුව අවම ලක්ෂ 02ක් සහ උපරිමය ලක්ෂ 05 කට යටත්වනු ඇත. මීට සම්බන්ධ වන ජාවාරම්කරුගේ හිතවතකු වන වෛද්‍යවරයා ශල්‍යකර්මයටත් ඇතුළුව ලක්ෂ 7 - 10ක් ගනු ඇත. ඉතිරිය තැරුව්කරුටය. ඊටපසු හැමෝටම හොරෙන් කොහේ හෝ මුල්ලක අවදානම් රුසක් මැද මේ ශල්‍යකර්මය සිදුකරනු ඇත.
විශේෂයෙන් විදේශිකයෙක් නම් අදාළ වකුගඩු පරිත්‍යාගශීලී පුද්ගලයා එම රටට රැගෙන යෑම ජාවාරම්කරුවන් අතින් සිදුවෙයි. පසුගිය කාලයේ දෙමළ තරුණයන් රුසක් ඕස්ට්‍රේලියාවට ගොස් තිබුණේ මේ වකුගඩු ජාවාරමට එක්ව වකුගඩු විකිණීම සඳහා බවට තොරතුරු ලැබී තිබේ. විශේෂයෙන් එක් අවස්ථාවක ලියුම්කරුට තොරතුරක් ලැබුණේ යාපනය වැල්වැටිතුරේ තරැණයන් හිටපු ගමන් අතුරුදන් වන බවය. එසේ අතුරුදන් වන්නන් මාසයකට පසුව නැවත පෙනී සිටින බවත් එවිට ඔවුන් දුර්වල වී සිටින බවත්ය. පසුව සොයා බැලීමේදී තහවුරු වුණේ වකුගඩු ජාවාරම්කරැවන් මේ තරැණයන්ව මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවට රුගෙන යන බවය. එසේ රැගෙන යන්නන්ගෙන් දකුණු ඉන්දියාවේදී ශල්‍යකර්ම කොට වකුගඩුව ගන්නා බවත් ඒ සඳහා ලක්ෂ දෙක තුනක මුදලක් ලැබෙන බවත් දැනගන්නට ලැබිණි.
කෙසේ වෙතත් එම විස්තරය ලියා වැඩිකල් ගියේ නැත. දකුණු ඉන්දියාවේදී මේ වකුගඩු ජාවාරමට සම්බන්ධ පිරිසක් එරට පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු එහිදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක් සම්බන්ධ බවට නම් ගම් පිටින් ප්‍රකාශ කළහ. පසුව එය මෙරට පොලීසියට ලබාදී රහස් පොලිස් පරීක්ෂණයක් පවා ආරම්භ විය. එහෙත් තවමත් ජාවාරම්කරුවන් නිදැල්ලේය. එපමණක් නොව පසුකලෙක යාපනය ශීක්ෂණ රෝහලේ පවා මෙම ජාවාරම සිදුවිය. ඇතැම් වෛද්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් චෝදනා පවා එල්ල වූ අතර ඔවුන්ගේ නම් ගම් සමාජයේ හෙළිදරව් විය. එහෙත් සියල්ල එසේ සිදුවුවත් තවමත් මේ ජාවාරම යහමින් රට තුළ ක්‍රියාත්මක වෙයි.
1987 අංක 49 දරණ පනතේ 17 වන වගන්තියට අනුව වකුගඩුවක් විකිණීම හෝ මිලදී ගැනීම අවුරුදු දෙකකට නොවැඩි සිරදඬුවමක් සහ රුපියල් 15000 නොඅඩු දඩයකට යටත්වන බව සඳහන්ය. එහෙත් අද හැමතැනම සිදුවන්නේ මේ වකුගඩු විකිණීමය. දුප්පත්කමෙන් බේරීමටත්, හදිසි මුදල් සොයා ගැනීමකටත් මේ වකුගඩු විකිණීම පුරුද්දක් කරගෙන ඇත. එහෙත් කරැමය නම් මේ ලබාගන්නා මුදලින් සුවදායක ජීවිතයක් ගත කිරීමට හීන දැකීමය. වකුගඩු ලබාදුන් පසු ජීවත්වීම ලෙහෙසි පහසු නැත. ඒ නිසා මෙය එක් පැත්තකින් ලොකු අවදානමකි. ඒ වගකීමකින් තොරව මෙම සැත්කම සිදුකරන නිසාය. ඒ නිසා මෙවැනි සැත්කමක් සිදුකළ පසු කිසිවකු වෛද්‍යවරයකු හමුවට යන්නේ නැත. ඒ එක පැත්තකින් මේ සැත්කම්වලට වාර්තා නැත. තව පැත්තකින් මෙය ලබාගත්ත කෙනෙක් දන්නේ නැත. ඒ නිසා මෙවැනි සැත්කමක් කළ පසු ඉන්න වෙන්නේ බඩේ ගින්දරෙන්ය. ඒ නිසා මෙය එක් පැත්තකින් බරපතළ ඛේදවාචකයකි.
මේ අතර තවත් කනගාටුවට කාරණයක් නම් සිද්ධිය නම් මිලදී ගන්නා අයට වංචා කිරීමය. එය වෛද්‍යවරයා ඇතුළු අය විසින් එක්ව සිදුකරන බොරැවකි. එනම් විවිධ නිදන්ගත රෝගවලින් පෙලෙන අයගේ වකුගඩු නිරෝගී වකුගඩු ලෙස ලබාදීමය. එසේ ලබාදීමෙන් පසුව වසරක් ගිය පසු ඒ රෝගියාට තව තවත් ජීවිතේ අනතුරේ වැටී දුක් විඳීමට සිදුවනු ඇත. එහෙත් මේ මාෆියාවේ මෙවැනි තුච්ඡ වැඩ එමටය. කෙසේ වෙතත් ලියුම්කරු විසින් සිදුකරනු ලැබූ සොයාබැලීම්වලදී මේ ජාවාරම්කරුවන් ඇතැම් භික්ෂුන් වහන්සේලාගෙන් පවා මේ වකුගඩු ලබාගැනීම මුදලට කරන බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙතද වාර්තා වී ඇත.
කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ ඇතැම් අවස්ථාවල මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළත් ඒවා ඔහේ සිදුවුණා මිස සිදුවූ පිළිගත් පරීක්ෂණයක් නැත. ඒවා සෞඛ්‍ය අමාත්‍යංශයේම ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීම මත වසා දමා ඇත. ඒ නිසා මේ වකුගඩු මාෆියාව මර්දනය කිරිම ලේසි නැත. කුඩු පාතාලය මර්දනය කළත් මෙය මර්දනය කිරීම ලේසි නැත. ඒ මේ පිටුපස පිළිගත් වෛද්‍යවරුන් පිරිසක්ද සිටින බැවිනි. ඒ නිසා සෑම පරීක්ෂණයක්ම ඔහේ පාවී ගියා මිස වැරදිකරුවන් අල්ලා ගැනීමක් සිදුවුණේ නැත. මේ සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකළ යුතු කාලය දැන් එළඹ ඇත. යාපනයෙන් මීගමුවටත් මීගමුවෙන් කොළඹටත්, එතනින් එහාටත් යනතෙක් බලා නොසිටිය යුතුය. මෙය ඉක්මනින් නතර නොකළහොත් දුප්පත් මිනිසකුට කිසිදිනෙක වකුගඩුවක් බද්ධ කර ගැනීමට නොහැකිවනු ඇත. දැන් ජාවාරම සිදුවෙමින් පවතින නිසා එය ඉක්මනින් අවසන් කළ යුතුමය.
ගයාන් ගාල්ලගේ