2020 ජුනි 13 වන සෙනසුරාදා

වරායේ හිරවූ කන්ටේනර 4000

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

පසුගිය මැයි මස 21 දින රජය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ඇතැම් භාණ්ඩවලට ආනයන සීමා පැනවීම නිසා ඇණවුම් කර ගෙන්වා තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් 400ක් පමණ මාසයක පමණ කාලයක් තිස්සේ කොළඹ වරාය පර්යන්තයේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

ආනයන සීමා කිරීමේ අභිලාෂයෙන් පැනවූ මෙම කොන්දේසි හේතුවෙන් ඇතැම් භාණ්ඩ ආනයනය කරනවිට එකවිට මුදල් නොගෙවා මාස 3 සිට 6 දක්වා ණය අයිරා මත ගෙවිය යුතු යැයි නියම වී තිබේ. එසේම සමහර භාණ්ඩ සඳහා ආනයන බදුද ඉහළ නංවා තිබේ.

කෙසේ වුවද මෙම නියෝග පැනවීමට මත්තෙන් ණයවර ලිපි (LC) නිකුත් කර තිබූ වාහන ආදී විවිධ භාණ්ඩ සඳහාද මෙම නීතිය බලපැවැත්වෙන බවට මුදල් අමාත්‍යංශය රෙගුලාසි පනවා තිබේ. ඒ නිසා පෙර ඇණවුම්කර නැව්ගත කර තිබූ භාණ්ඩ සහ මේ දක්වා පැමිණෙන භාණ්ඩ නිදහස් කර ගැනීමේ ගැටලුවක් උද්ගත වීමෙන් ආනයනකරුවෝ අමාරුවේ වැටී සිටිති. මෙම නීති පෙර දාතම් කිරීම හෙවත් එයට පෙර ආනයනය කළ ඒවාටද බලපැවැත්වෙන බවට නියම කිරීම නිසා මුලදී ආනයනය කළ භාණ්ඩවලටද අධික බද්දක් ගෙවීමට සිදුව තිබේ. ඒ වනවිට නිදහස් කර නොගෙන ගුදම්වල තිබූ භාණ්ඩවලටද මෙම නීතිය අදාළ කර තිබෙන නිසා ඒවා ගුදම්වලින් පිටතට ගත නොහැකිව ගොඩගසා තිබෙන බව දැනගන්නට ඇත.
මුලින් ගෙනා භාණ්ඩවලට හෝ එකල පැවැති නීති අනුව භාණ්ඩ මුදාගැනීමට අවස්ථාව ලබා නොදීම නිසා ආනයනකරැවන්ට සිදුව ඇති දුෂ්කරතාව අති විශාලය. ඔවුන්ට විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු හා රේගු ගාස්තු ගෙවන්නට සිදුව ඇති අතර නිදහස් කර ගැනීම ප්‍රමාද වනවිට ගෙවිය යුතු මෙම ගාස්තුද දිගටම ඉහළ යාම සිදුවේ.

එසේම මෙලෙස භාණ්ඩ වරායේ රඳවා තබාගැනීම නිසා ගුදම්වල සහ පිටත පරිශ්‍රයේ ඉඩ ඇහිරී තිබෙන අතර දිගටම එන භාණ්ඩවලට අවශ්‍ය ඉඩ ලබාදීමටද දුෂ්කරව ඇති බව වාර්තා වේ. මෙම භාණ්ඩ වහාම නිදහස් කර ගන්නා ලෙස වරාය අධිකාරිය ඇණවුම්කරුවන්ට දන්වා ඇති නමුත් විශාල වශයෙන් අතිරේක මුදලක් ගෙවීමට සිදුවීම නිසා ඔවුන් ඒවා රුගෙන යාම ප්‍රමාද කරමින් සිටී.

මෙම තත්ත්වය මත ඉදිරියේදී රටේ ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිය හැකි අතර මිල ඉහළ යාමක්ද සිදුවිය හැකි බවට වෙළෙන්දෝ අනතුරැ හඟවති. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසන්නේ මෙම භාණ්ඩ නිදහස් කිරීමට යම් ප්‍රමාණයක නීතිමය තත්ත්වයක් බලපා ඇති බවය. එය ඉදිරියේදී නිරාකරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මේ පිළිබඳ නීතිමය ගැටලුවක් උද්ගතවෙලා තිබෙනවා. ගැසට් නිවේදනය ප්‍රකාරව ක්‍රියා කරනවා නම් දැනට වරායට ළඟා වී ඇති කිසිදු භාණ්ඩයක් මුදාහරින්න බැහැ. ඒත් ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කිරීමට පෙර ගෙන ආ භාණ්ඩ මෙම නීතියට යටත් කළ යුතුද යන්න ප්‍රශ්නයක්. ඒ අය වාහන නැව්ගත කරනවිට මේ ගැන දැනුම්වත්ව සිට නැහැ. ඒත් ඒවා ලංකාවට ආවට පසු මේ අලුත් නීතිය අනුව කටයුතු කිරීමට සිදුව තිබීම නිසා මෙම ප්‍රශ්නය උද්ගතව තිබෙනවා. අපටත් හැමදාම මේවා ගුදම්වල පුරවාගෙන ඉන්න බැහැ. අලුතින් ගෙනෙන ඒවාට ඉඩ ලබාදිය යුතුය. ඒ නිසා මෙම ගැටලුව නිරාකරණය කරගෙන ඉදිරියට කටයුතු කළ යුතුව තිබෙනවා.

ප්‍රකට ආනයන සමාගමක් වන එන්.එස්.බී. ෂීපින් හි මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙයමාල් පෙරේරා පවසන්නේ මාර්තු මස මැද සිට භාණ්ඩ කන්ටේනර් 60,000ක් පමණ වරායේ හිරවී තිබූ අතර එම ප්‍රමාණය මේ වනවිට 4000 දක්වා අඩුව තිබෙන බවය. කොරෝනා වසංගතයේ ඇඳිරි නීතිය පැවැති වකවානුවේදී අප්‍රේල් මස අග වනවිට බොහෝ භාණ්ඩ නිදහස් කරගෙන ඇති බව ඔහු පවසයි. මේ වනවිට ඉතිරිව ඇත්තේ විවිධ ගැටලු පවතින නිදහස් කර ගැනීමට අපහසුම කන්ටේනර් බව ඔහු කියයි.
පසුගිය සමයේ විශාල කන්ටේනර් ප්‍රමාණයක් වරායේ හිරවී තිබුණු අතර වරාය පරිශ්‍රය ඒ සඳහා ඉඩ නොමැති තත්ත්වයටද පත්ව තිබූ බව ඔහු කියා සිටී. එහෙත් ආයතනය යම් යම් සහන දී ඒවා මුදාගැනීමට පහසුකම් සැලසූ නිසා බොහෝ සංඛ්‍යාවක් දැනට රැගෙන ගොස් තිබේ. ඉතිරි කන්ටේනර්ද ඉදිරියේදී රැගෙන යනු ඇති බව ඔහුගේ අදහසය.

මෙම කන්ටේනර්වල අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති අතර වැඩි වශයෙන් ඇත්තේ වාහන, වාහන කොටස් සහ යන්ත්‍ර සූත්‍ර මෙන්ම විවිධ කර්මාන්ත සඳහා ආනයනය කළ ද්‍රව්‍ය වෙයි. වාහන ආනයනයේදී ආණ්ඩුව අලුතින් පැනවූ රෙගුලාසි මෙම තත්ත්වයට බලපෑවාද යන්න තමාට පැවසිය නොහැකි බව ඔහු කියයි. ඔහු පවසන්නේ මේ බොහෝ භාණ්ඩ ගෙනැවිත් ඇත්තේ ආනයන සීමා පැනවීමට පෙර බවය. ඒ නිසා මේ අය වැඩි දෙනෙකුට එම රෙගුලාසි බලපෑමට ඉඩක් නැත. කෙසේ වුවද ව්‍යාපාරිකයන්ට දෙන සහන පාවිච්චි කර මේවා ඉක්මනින් ඉවත්කර ගැනීම අවශ්‍ය බව පවසන මෙහෙයුම් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වරායට ගෙන්වන භාණ්ඩ එකවිට මුදාහැරීමක් කිසිදු විටෙක සිදු නොවන අතර ඒවා මාසය - මාස 1 ½ වශයෙන් විවිධ හේතු නිසා වරායේ සිරවී තිබීම සාමාන්‍ය දෙයක් බවය.

විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වන මාලබේ සුසිලාරාම පාරේ ඩබ්ලිව්. ප්‍රියන්ත විජේසිංහ තමා බලවත් උත්සාහයකින් ජපානයෙන් ගෙන්වූ වාහනයක් නිදහස් කරගත නොහැකිව දැනට වරායේ හිරවී තිබීම පිළිබඳ මෙලෙස පැවසීය.
ජපානයේ සිටින මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් මා එක්තරා සමාගමකින් වාහනයක් වෙන්කර ගෙන ඒ සඳහා එල්.සී. විවෘත කර අදාළ මුදල් බැංකුවට ගෙව්වා. මාස දෙකක් විතර කාලයකදී තමා වාහනය කොළඹ වරායට ආවේ. ඒත් එය තවමත් නිදහස් කරගත නොහැකිව වරායේ හිරවී තිබෙනවා. එයට හේතුව වාහන ආනයනය පිළිබඳ රජය අලුතින් පැනවූ රෙගුලාසිවලට අවනත විය යුතුව තිබීමයි. එහෙත් විදේශ විනිමය පිටරට ඇදීයාම සීමා කිරීමට අදාළව භාණ්ඩ ආනයනය සීමා කිරීමට පෙරදියි මා මෙම වාහනය ඇණවුම් කළේ. එහෙත් එයට මෙම රෙගුලාසි අදාළ කරගැනීම කොතරම් දුරට සාධාරණද? මැයි මාසයේ මුල සිට මේ දක්වාම වාහනය නිදහස් කර ගැනීමට උත්සාහ කළත් තවමත් සහනයක් ලැබුණේ නැහැ.

මා ඉතාම අපහසුවෙන් ඉතිරි කරගත් මුදල් සහ අවුරුදු 35ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමේදී ලැබුණු විශ්‍රාම පාරිතෝෂික මුදල් දී වියදම් කර තමා මේ වාහන සිහිනය සැබෑකරගන්න සූදානම් වුණේ. අප රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් නොවන නිසා වාහන ආනයනය කිරීමේදී තීරැබදු නිදහස ලැබෙන්නේ නැහැ. සියලුම බදු ගෙවලයි මෙය ගෙන්වන්නේ. ඉතින් ඒ සඳහාද බාධක දැමීම නිසා අප වැනි අපට විශාල අසාධාරණයක් සිදුව තිබෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙවැනි නීති දැම්මාට කමක් නැහැ. එහෙත් අපි වැනි එක වාහනයක් ගෙන්වන සාමාන්‍ය අයට හිරිහැර සිදුවීමයි ගැටලුව.

දැනට වරායේ හිරවෙලා ඇති භාණ්ඩ අතරේ තවත් මෙවැනි වාහනද තියෙනවා. ප්‍රමාද වෙනවිට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමෙන් තවත් කබලෙන් ලිපට වැටීමක් සිදුවෙනවා. වාහන පාවිච්චි කරන්න ඕනෑ දේශපාලනඥයන් සහ සුපිරි රාජ්‍ය සේවකයන් පමණද කියලා විමසිය යුතුයි.

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ මෙලෙස වරායේ හිරවී ඇති කන්ටේනර් තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවක් නොමැති බවය. තම සංගමයේ සාමාජිකයන් ගෙන්වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාගැනීමට පසුගිය කොරෝනා ව්‍යසන සමයේ ඇඳිරි නීතිය බලපැවැත්වූ කාලයේ යම් ප්‍රමාදයක් තිබුණද ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට පසුව හැකි වූ බව ඔහු පැවසීය. යම් හෙයකින් වරායේ හිරවී තිබුණා නම් අල, ලූනු, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නරක්වීමට ඉඩ තිබුණු නිසා කඩිනමින් නිදහස් කර ගැනීමට හැකි වීමෙන් එම ගැටලුව නිරාකරණය වූ බව ඔහු කීවේය. තමාට ලැබී ඇති තොරතුරු අනුව වරායෙන් නිදහස් කර ගැනීමට ප්‍රමාද වී ඇත්තේ වැඩිවශයෙන් මෙරට කර්මාන්ත සඳහා ගෙන්වූ අමුද්‍රව්‍ය සහ වාහන හා වාහන කොටස් ආදිය බව ඔහු කීවේය.

කෙසේ වුවද ගෙන්වූ වාහන සඳහා මුදල් ගෙවීම ප්‍රමාද වනවිට එම සමාගම්වලට වැඩිපුර ප්‍රමාද ගාස්තුවක් ගෙවන්නට සිදුවන බව මෙරට ප්‍රකට වාහන ආනයන සමාගමක ආනයන කළමනාකරුවකු පැවසීය. ඔහු කීවේ මාස දෙකක පමණ කාලයක සිට මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුවද එය නිරාකරණය කර ගැනීමට නොහැකි වූ බවය. ආණ්ඩුව පනවා ඇති ආනයන භාණ්ඩවලට මුදල් ගෙවීම දින 90ක් ප්‍රමාද කිරීමේ රෙගුලාසිය නිසා සිදුවන්නේ ආනයන කරන භාණ්ඩවලට අතිරේක මුදලක් විදේශ සමාගම්වලට ගෙවන්නට සිදුවීම බව ඔහු කියයි. මෙතෙක් කල් තම ආයතන වාහන ආනයනය කළේ එම සමාගම්වලට එවෙලේම මුදල් ගෙවීමෙන් නිසා සහ තම ව්‍යාපාරික සම්බන්ධතා නිසා යම් අවම මිලකට වාහන ආනයනය කිරීමට හැකිවූ නමුත් එවෙලේම මුදල් ගෙවීමට නොහැකිවීම නිසා වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ආනයනය කරන වාහනවල මිල ඉදිරියේදී සියයට දහයකින් පමණ වැඩිවීමට ඉඩ ඇති බව ඔහු කීවේය.

තවත් සමාගමක ප්‍රකාශකයකු පැවසුවේ දැනට වරායේ හිරවී ඇති වාහන නිදහස් කර ගැනීමට අදාළ සාකච්ඡා මෙම දිනවල අදාළ අංශ සමඟ පවත්වාගෙන යන අතර තවත් සතියකින් පමණ මෙහි අවසානයක් දැකිය හැකි බවයි. එහෙත් එම තීරණ තමන්ට වාසිදායක හෝ අවාසිදායක වන්නේදැයි තවම කිව නොහැකි අතර යම් අසාධාරණයක් සිදුවුවහොත් වාහන ආනයනකරුවන් ඒ පිළිබඳ අනාගතයේදී ක්‍රියාත්මක වන බවද කීවේය.

වර්තමාන තත්ත්වය පිළිබඳ කරුණු සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් තිස්සේ ලියුම්කරු විසින් කරන ලද උත්සාහය ව්‍යර්ථවූයේ ඔහු දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ බැවිනි.

 යසවර්ධන රුද්රිගු