
යටදොල පරකැටිය පැත්තෙ ඔට්ටුවට කුකුළු පොරදානවා. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා පුරුද්දට ජාවාරමට වැඩේ කරනවා. මේකට ඈත ඉඳන් සමහර මිනිස්සු ඇවිත් ඔට්ටු අල්ලනවා. අද හවසටත් කට්ටිය ලෑස්ති වෙනවා වැඩේට. මේක ගමේ මිනිස්සුන්ටත් හරිම වදයක් වෙලා තියෙන්නේ
කුකුළන් පොරට යොදවා ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් වන තොරතුරක් නිර්නාමික දුරකතන ඇමතුමක් ඔස්සේ මතුගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාට ලැබී තිබුණේ පසුගිය 3 වැනිදාය.
නිර්නාමික දුරකථන පණිවුඩයක් මගින් වුවද ලැබුණු තොරතුර ඉතා පැහැදිලි එකක් බවට හඳුනාගැනීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් ලැබුණේ මුදල් ඔට්ටුවට සිදුකරන කුකුළන් කෙටවීමේ ස්ථානය වැටලීමටය. මතුගම යටදොල පල්ලෙහා හන්දිය අසළින් අලුත් ගම්ගොඩ පාරේ හමුවන අධිවේගී මාර්ගයේ පාලම අසළින් වමට යන අතුරු මාර්ගයක ගෙවල් කිහිපයකට දුරින් පිහිටි කැලෑරොදක් ළඟ හිස්බිමක් වෙත යන පාරක විස්තර ඔත්තුකරු විසින්ම දන්වා තිබිණ.
ලද තොරතුර සම්බන්ධයෙන් ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම්වත් කර මතුගම මූලස්ථාන පොලිසියේ පාලන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුද්‍රිගු මහතාට අදාළ වැටලීම සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබිණ. ඒ සමඟ වැටලීමට අවශ්‍ය පිරිස අතරට උප පොලිස් පරීක්ෂක රත්නසිරි, සාජන් (63530) ප්‍රසන්න පොලිස් කොස්තාපල්වරුන් වන (70205) ජනක සහ (50965) ප්‍රසාද් යන අයද යොමුකර තිබිණ.
ඔත්තුකරුගේ තොරතුරු අනුව යටදොළ පරකැටිය ප්‍රදේශයේ අලුත්ගම්ගොඩ ප්‍රදේශයෙන් දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්නයේ පිහිටි ස්ථානයක් වෙත පිරිස ළඟා වූහ. ගෙවල් කිහිපයක් පිහිටි ගම්මානයක් කෙළවරේ ඒ කැලෑ රොදකින් වටවූ පිට්ටනියක් වැනි තැනකට රහසේ ළඟා වූ නිලධාරීන්ට යතුරුපැදි කිහිපයක් හා ත්‍රීරෝද රථ කිහිපයක් නවතා තිබෙන බව දකින්නට ලැබී ඇත. ඒ අතරින් තව ටික දුරක් ගියවිට පුද්ගලයන් කිහිපදෙනකු ඒකරාශී වී සිටින බවත් ඔවුන් අසල කුකුලන් දෙදෙනකු සිටින බවද දැක ඇත.
ඉතා සූක්ෂම අයුරෙන් එහි ළඟාවූ නිලධාරීන් තමන් හමුවේ රැඳී සිටි පිරිස වටකර රඳවා ගැනීමෙන් අනතුරුව කුකුළන් කෙටවීම හා ඔට්ටු ඇල්ලීමට සෘජුව සම්බන්ධ බව හඳුනාගත් පුද්ගලයන් දොළොස් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඊට අමතරව ඔට්ටු ඇල්ලූ රුපියල් පන්දහසක මුදලක්ද පොලිස් භාරයට ගැණින. මේ පිරිස අතර පුරුද්දට හා ජාවාරමට කුකුළන් කොටවන මීට ඉහතදීත් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකුද සිටි බව වැටලීම සිදුකළ මතුගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුද්‍රිගු මහතා පැවසීය. පිරිස අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනෙකු දර්ගා නගරයේ සිට පැමිණි අයවෙති. ඔවුන් ව්‍යාපාරිකයන් වශයෙන් කටයුතු කරන පිරිසකි. සැකකරුවන් සමඟ යතුරුපැදි 4ක් හා ත්‍රීරෝද රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර නීත්‍යානුකූල පියවර ගැනීමට නියමිතය.

පොලිස් භාරයට ගත් කුකුළන් දෙදෙනාගෙන් එකකුට අනෙකා කෙටීම නිසා හිස හා ගෙල පෙදෙස දැඩිලෙස තුවාල වී තිබුණු බවත් එම කුකුළා දිනකට පසු මියගිය බවත් මතුගම පොලිසිය වාර්තා කළේය.
කුකුළන් පොරට යෙදවීම හා ඔට්ටු ඇල්ලීම කාලයක සිට පැවති නමුත් අද එය පහත් ක්‍රියාවක් වශයෙන් ජනතාව විශ්වාස කරන්නේ සත්ත්ව හිංසනය නිසාය. කෙසේ වෙතත් කුකුළු පොර සඳහා යෙදවීමට හදන කුකුළන්ට විශේෂ සත්කාර ආහාර සමඟ තවත් ප්‍රතිකාර ලබාදීමට හිමිකරුවෝ වගබලා ගනිති. ඇතැම් ප්‍රදේශ මේ සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර දංකොටුව කොච්චිකඩේ වැනි ප්‍රදේශවල කුකුළන් කෙටවීමේදී ඔට්ටුව රුපියල් 35,000 – 100,000 අතර පවතින බවද වාර්තා වේ.
පොරට යොදවන කුකුළන් පුහුණු කරවීම සඳහා දැන් පුහුණුකරුවෝද සිටිති. මේ සඳහා යොදාගන්නා කුකුළන් වැඩි බරක් සහිත නොවිය යුතුය. එවැනි සත්ත්වයන්ගේ පිහාටු ඉතා අඩුවෙන් පැවතීම විශේෂය. එමෙන්ම පාද ශක්තිමත්ව හා තියුණුව පැවතීමත් විශේෂ ලක්ෂණයකි. මෙම පොර කුකුළන්ගේ අනවශ්‍ය පිහාටු ඉවත් කිරීම සිරිතකි. එසේම ඉඳුල් වතුරින් නාවා පාද තලා ශක්තිමත් කිරීමටද හිමිකරුවෝ ක්‍රියාකරති. ධාන්‍ය වර්ග බහුළව ආහාරයට දීමත් මස් ආහාර අඩුවෙන් දීමටත් හිමිකරැවෝ වගබලා ගනිති.
කුකුළු පොර සඳහා එම ස්ථානයේදී ඔට්ටු ඇල්ලුවද බොහෝවිට ඔට්ටු අල්ලන්නන් පොර පිටියට පැමිණීමට මත්තෙන් රහසේ ඔට්ටු අල්ලන බවද වාර්තා වේ.
සූදුවක් වශයෙන් කුකුළන් කෙටවීම නීතියෙන් තහනම් එකකි. එහෙත් ඇතැම් ප්‍රදේශවල සමහරු ජාවාරමට හා පුරුද්දට එහි නිරත වෙති. මතුගම පරකැටිය ප්‍රදේශයේදී පොලීසියට කොටු වූ කුකුළු පොර පිටියත් එවැන්නකි. ඒ පිළිබඳව මතුගම මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර