2020 ජුනි 13 වන සෙනසුරාදා

සහන වැඩේට පුප්පන ලීසිං ෂයිලොක්ලා

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

කොවිඩ් 19 වෛරසය ලක්ෂ හතරකට අධික මිනිස් ජීවිත බිලිගනිමින් ලොව පුරා පැතිර ගියේ තවත් විශාල පිරිසකගේ ජීවිත අගාධයට හෙලමිනි. ආයතන රුසක් වසා දැමුණු  අතර විශාල පිරිසකට රැකියා අහිමි කෙරිණි. 

අප රටේ බොහෝ පිරිසක් මූල්‍ය ආයතනවලින් විවිධ ණය, ලීසිං පහසුකම් ලබාගෙන තිබූ අතර ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයටද බහුල ලෙස හුරැවී සිටිති. කොවිඩ් වසංගතය හේතුවෙන් එලෙස ණය පහසුකම් ලබාගත් බොහෝ පිරිසකගේ ආදායම් මාර්ග ඇනහිටීම හේතුවෙන් නියමිත දිනයට ණය වාරික, ලීසිං වාරික හා ක්‍රෙඩිට්කාඩ් ණය ගෙවිය නොහැකි විය. මේ අය සම්බන්ධයෙන් සානුකම්පිතව බැලූ රජය මෙම ණය ගෙවීම සඳහා මාස හයක සහන කාලයක් ලබාදෙන ලෙසට මූල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කර තිබිණි.

එහෙත් මූල්‍ය සමාගම් මහජනතාව පත්ව ඇති අපහසුතා ගණනකට නොගෙන මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා ලෙස කටයුතු කිරීමට පටන් ගෙන ඇතැයි පැවසේ. එහෙයින් එයට පිළියමක් පතා සමස්ත ලංකා රථවාහන ණයවාරික ගෙවන්නන්ගේ සංගමය හා එයට සහය දැක්වීම සඳහා එක්ව සිටින සිංහල රාවය සංවිධානය, පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සංගමය. පාරිභෝගික අයිතීන් සුරුකීමේ සංවිධානය වැනි සංවිධාන ඒකාබද්ධව තම ඉල්ලීම් සඳහන් ලිපියක් ජනාධිපතිවරයා වෙත බාර දීමට පසුගිය 12 වැනි සිකුරාදා දිනයේ කටයුතු කළේය. එම ඉල්ලීම් වනුයේ ලීසිං හා වෙනත් ණය වාරික ගෙවීම සඳහා රජය විසින් ලබාදෙන බවට පොරොන්දු වූ මාස හයක සහන කාලය දඩ පොලී අය කිරීමකින් තොරව ලබාදෙන ලෙසත්, ජාත්‍යන්තර පාසල් හා ළදරුපාසල්වලින් වසා තිබූ කාලය සඳහාද මුදල් අය කරන හෙයින් ඒ සඳහා සහනයක් ලබාදෙන ලෙසත්, ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කරන පොලිය සඳහා මාස හයක සහනය ලබාදෙන ලෙසත් රන්භාණ්ඩ උගසට තැබූ අය සඳහා පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන් පොලිය අය නොකරන ලෙස හා ව්‍යාපාරික ස්ථානවල මාර්තු අප්‍රේල් කඩ කුලිය සඳහා සහනයක් සහ මාර්තු අප්‍රේල් වැටුප් නොලද පිරිසට වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසටත්ය. 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා රථවාහන ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු දිමිත්‍රි නාලක ලංකාපුර:

ජනාධිපතිතුමා ලීසිං සහ වෙනත් ණය ලබාගත් පුද්ගලයන් සඳහා මාස හයක සහන කාලයක් ලබාදෙන ලෙසට මූල්‍ය සමාගම්වලින් ඉල්ලා සිටියා. මූල්‍ය සමාගම් එයට එකඟ වුවත් ඇතැම් සමාගම් එය ඉටුකළේ නැහැ. ණය සහනය දුන් ඇතැම් මූල්‍ය සමාගම් එසේ ලබාදුන් සහනය වෙනුවෙන් පොලියක් අය කර තිබෙනවා. අප සංගමය ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා පැවසූ පරිදි මාස හයක සහන කාලය ලබාදෙන ලෙසට හා ඒ සඳහා පොලියක් අය නොකරන ලෙසටයි.
බැංකු හා මූල්‍ය ආයතන දිනපතා දුරකතන ඇමතුම් ලබාදෙමින් නියමිත වාරික ගෙවන ලෙසටත්, එසේ නොකරන්නේ නම් ලීසිං මත ලබාගත් වාහන බාර දෙන ලෙසටත්  ණය ලබාගත් පුද්ගලයන්ට බලපෑම් කරනවා. මේ වනවිට රට ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් තිබුණත් ව්‍යාපාර හරිහැටි කරගෙන  යා නොහැකියි. මම ව්‍යාපාරිකයෙක්. එහෙත් මගේ ව්‍යාපාර කටයුතු තවම ආරම්භ කර නැහැ. උපකාරක පන්ති පවත්වන ගුරැවරැන්ට තවම පන්ති ආරම්භ කිරීමට අවසර නැහැ. මෙවැනි වාතාවරණයක් යටතේ මූල්‍ය ආයතන ජනතාවට ණය වාරික ගෙවන ලෙසට බලකිරීම අසාධාරණයි. මාස හයකට සහන කාලයක් දෙන්නේ නම් ඒ සඳහා දඩ පොලියක් ගෙවන ලෙසට ඇතැම් මූල්‍ය ආයතන ප්‍රකාශ කරනවා. අප මේ ඉල්ලා සිටින්නේ ණය ගෙවීම සඳහා සහන කාලයක් විනා එම කාලයේ ණය නොගෙවා සිටීමට නොවෙයි. සහන කාලයෙන් පසු අපි මේ සියලු ණය ගෙවන්න සූදානම්. එමෙන්ම නිරෝධායන කාලයේ රජයේ සියලු සේවකයන්ට වැටුප ලැබුණා. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් 20- 30- 50වගේ ප්‍රතිශතයකින් වැටුප් කපා හැරලා. තවත් පිරිසකට රුකියා අහිමිවෙලා. ඒවාටත් පිළියමක් අවශ්‍යයි. යනුවෙන් පවසයි.

සමස්ත ලංකා රථවාහන ණයවාරික ගෙවන්නන්ගේ සංගමය මෙම සහනය ඉල්ලා මින් ඉහතද ලිපි යොමුකර තිබේ. එහෙත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. එහෙයින් පොලී අනුපාත අයකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මහබැංකුව මගින් චක්‍රලේඛයක් මෙතෙක් නිකුත් කර නොමැති බවද මේ සම්බන්ධයෙන් මහ බැංකුව මැදිහත් විය යුතු බවද එම සංගමය කියා සිටී. ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉටුකිරීමට මූල්‍ය ආයතන ක්‍රියා නොකරන බවද එම සංගමය ප්‍රකාශ කරයි.
සමස්ත ලංකා රථවාහන ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ  ණයකරැවන් වෙනුවෙන් සහනයක් ලබා ගැනීමේ ක්‍රියාවලියට සහය දක්වන සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් ශාලික පෙරේරා සඳහන් කළේ රට නිරෝධායනයට ලක් කර තිබූ මාස දෙකකට අධික කාලයේ සියලු ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු බලධාරියකු නොමැති බවයි. බොහෝ පිරිස් පැමිණ මෙයට මැදිහත් වන ලෙසට අපගේ ස්වාමින්වහන්සේගෙන් හා අප සංවිධානයෙන් ඉල්ලා සිටියා. ඒ නිසා අප සමස්ථ ලංකා රථවාහන ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ වැඩපිළිවෙළට මැදිහත් වුණා.

තම ඉල්ලීම් සඳහා පැහැදිලි ප්‍රතිචාරයක් නොලැබුණහොත් තම සංගමයට සම්බන්ධ ලක්ෂයකට අධික සාමාජිකයන් සමඟ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කිරීමට සමස්ත ලංකා රථවාහන ණයවාරික ගෙවන්නන්ගේ සංගමය ඇතුළු අනෙකුත් සංවිධාන තීරණය කර තිබේ. එහෙත් එවැනි ක්‍රියාමාර්ගයකට යෑමට පෙර සාමකාමී ඉල්ලීම් මගින් මෙයට විසඳුමක් ලබාගැනීමට ක්‍රියාකරන බව සිංහල රාවය සංවිධානය පවසයි.
ලීසිං වාරික සම්බන්ධ අර්බුදය හේතුවෙන් මේ වන විට ජීවිතයක්ද අහිමි වී තිබේ. එම කනගාටුදායක ඉරණමට මුහුණ පා ඇත්තේ සමස්ත ලංකා ස්වයංරැකියා හා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාය. ඔහුගේ සංගමයේ සාමාජිකයකුගේ ත්‍රිරෝද රථයක වාරික ගෙවීම ප්‍රමාද වීම නිසා ලිසීං සමාගම මගින් රුගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම සමඟ සාකච්ඡා කොට ත්‍රිරෝද රථය නිදහස් කර ගැනීමට සුනිල් ජයවර්ධන ඔහුගේ ලේකම්වරයා සමඟ එම ලීසිං ආයතනය වෙත ගිය අවස්ථාවේ ඇති වූ කතාබහකදී එම ආයතනයේ පිරිසක් ජයවර්ධන මහතාට සහ ලේකම්වරයාට පහර දී ඇතැයි පැවසේ. එම පහර දීම හේතුවෙන් සුනිල් ජයවර්ධන මහතා මරණයට පත්ව ඇති අතර ඔහුගේ ලේකම්වරයා තුවාල ලබා රෝහල් ගතකර තිබේ. සිංහල රාවය සංවිධානයේ මහ  ලේකම් ශාලික පෙරේරා සඳහන් කරන්නේ සහනයක් ඉල්ලන්නට යන ජනතාවට පහර දී මරා දැමීමට තරම් ලීසිං සමාගම් බලවත්ව ඇති බවයි. මෙම ගැටලුව තව දුරටත් ව්‍යාප්ත වීමට ඉඩ නොදී වහා විසඳීමට රජය පියවර ගතයුතු බවද ඔහු සඳහන් කර සිටී

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා