
කොරෝනා වෛරසයේ ආගමනයත් සමඟ අද රටපුරා ජනතාව ගෙවතු වගාවට යොමු වී සිටිති. කුඩා පැල්පතේ පටන් රජ මාලිගාව දක්වා මෙය රැල්ලක් ලෙස මේ වනවිට පැතිර ගොස් තිබේ. අද අප ඔබට ලියන්නට යන්නේ ගෙවතු වගාවෙන් දිවි දිනූ ගොවියන් හා ගෙවිලියන් කිහිප දෙනකු පිළිබඳ කතාවකි. වසර ගණනක් තිස්සේ ඉතා සරු ගෙවතු පවත්වාගෙන යමින් සිය ආර්ථිකයද සරු කරගැනීමට මෙම ගොවි ගෙවිලියෝ සමත් වී තිබේ. මේ හේතුව නිසාම මේ අයට ගෙවුණු වසර ගණනාව තුළදී මෙන්ම කොරෝනා වසංගත කාලයේද එළවළු පළතුරු වලින් නම් කිසිදු අඩුවක් තිබුණේ නැතිය. එපමණක් නොව මේ ගෙවුණු අමාරු මාස කිහිපය තුළදී ඔවුන්ගේ ගෙවත්තේ එළවළු ටික අහල පහළ ගෙවල්වලටද ඉතා ප්‍රයෝජනවත් වීය. මේ නිසාම ගෙවතු වගා පවත්වාගෙන යන මේ ගොවි ගෙවිලියන් පිළිබඳව අප කළ සොයා බැලීමකි මේ.
අපි පාරම්පරිකවම කරන්නේ ගොවිතැන. මහා පරිමාණ ගොවිතැනට අමතරව එදා ඉඳන්ම අපි ගෙදර කෑමට වෙනම ගෙවත්තක් හැදුවා. ඒක අදත් එහෙමම අපි කරගෙන යනවා. ගෙදර ඉඩමේ කොටසක අපි බඩඉරිඟු, වට්ටක්කා, මෑ කරල්, මිරිස්, රාබු වගේ විවිධ එළවළු අපි වගා කරනවා. මේකෙන් ලැබෙන අස්වැන්නෙන් අපි ගෙදර පරිභෝජනයට අරන් ඉතුරු වෙන එළවළු ටික කඩේට ගිහින් දෙනවා. ඒකෙන් අතමිටත් සරුවෙනවා. කිසිදු හිඟයකින් තොරව පිරිසිදුවට අපි ගෙදර හදාගත්ත එළවළු ටික අපි ආහාරයට ගන්නවා. අද වනවිට රටේ හැමතැනම ගෙවතු වගා පටන් අරගෙන තියෙනවා. ඇත්තටම ඒක හොඳයි. කඩෙන් කනවාට වඩා තමන් වවාගත්ත එළවළු ටිකක් කන්න තියෙනවා කියන්නේ ලොකු දෙයක්.
මම කාලෙක ඉඳලා මේ ගෙවත්ත පවත්වාගෙන යනවා. ඇත්තටම මුලදී නම් ටිකක් අමාරු වුණා මේක කරගෙන යන්න. මොකද මම වස විසෙන් තොරව තමයි මේ ගෙවත්ත පවත්වාගෙන යන්නේ. කොහොම හරි අද වනවිට සාර්ථකව මේ ගෙවත්ත පවත්වාගෙන යනවා. ගෙදරට අපි දන්න කාලෙකින් එළවළුවක් කඩෙන් ගෙනත් නෑ. පහතරට එළවළු වගේම උඩරට එළවළුත් මගේ මේ ගෙවත්තේ වගාකරලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය සියලු පොහොර සැකසීම්, වගාවට හානිකරන කෘමීන් සඳහා කෘමි උගුල් ඇටවීම, ගෙවත්තට ඉසීම සඳහා අවශ්‍ය වන කාබනික දියර පවා අද වනවිට නිවසේදීම හදා ගන්නවා. මගේ ගෙවත්තේ මේ වෙනකොට එළවළුවලට අමතරව විවිධ ඖෂධ පැලෑටි හා පළතුරු වර්ගත් වගාකරලා තියෙනවා. අද වනවිට ගේ ඉස්සරහා වස විසෙන් තොර එළවළු පළතුරු වෙළෙඳසළකුත් කුඩාවට පවත්වාගෙන යනවා. ඒ තුළින් අද මගේ ආර්ථිකය පවා සරුවෙලා තියෙනවා. මම අනිත් කාන්තාවන්ගෙනුත් ඉල්ලනවා නිකන් නිකරුණේ ගෙදරට වෙලා ටීවී එක ළඟට වෙලා කාලය ගතකරන්නේ නැතිව ගෙදර තියෙන ඉඩකඩේ හරි තමන්ගේ කෑමට ඕනකරන එළවළු ටිකක් පළතුරු ටිකක් හදාගන්න මහන්සි වෙන්න කියලා. අද ගොඩක් ගෙවල්වල අඹ ගෙඩියත් කඩෙන් ගෙනත් කන්නේ. අඹ ගහක්වත් හිටවගන්න අපේ සමහර අය අපොහොසත් වෙලා තියෙනවා. අද වනවිට සෞභාග්‍යා ගෙවතු වගා සංකල්පය මුළුරටට හඳුන්වා දී තියෙනවා. ඒ තුළින් අපි දකිනවා ගොඩක් අය ගෙවතු වගාවට නැඹුරු වෙලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්.
අද වනවිට මම ගෙවත්තක් පවත්වාගෙන යනවා ඉතා සාර්ථක ලෙස. ගෙදරට ඕන කරන සියලුම එළවළු ගෙවත්තේ වගාකරලා තියෙනවා. පසුගිය කාලේ කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ කඩවල් පොළවල් ඔක්කොම වහලා දැම්මා. ඇත්තටම සමහරුන්ට කන්න එළවළු ටිකක් ගන්න තැනක් නැති වුණා. නමුත් ඇත්තටම ඒ වෙනකොට අපිට නම් එළවළුවලින් කිසිදු අඩුවක් තිබුණේ නෑ. ගෙවත්තෙන් ලැබෙන එළවළු ටික අපි ගෙදර පරිභෝජනයටත් අරන් අතිරික්තය කඩවලට දමනවා. ඒකෙන් අද මගේ අතමිටත් සරුවෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ අහළ පහළ හිතවතුන්ටත් අස්වැන්න නෙළුවාම දෙනවා. දවසට පැය දෙකක් මහන්සි වෙනවා නම් ඒ හොඳටම ඇති ගෙවත්තක් පවත්වාගෙන යන්න. පුරුද්දක් විදියට ඒ කාලේ ඉඳන්ම මේ විදියට ගෙවත්තක් පවත්වාගෙන ආවා. අද වනවිට මෑ කරල්, කවුපි, මිරිස්, රාබු, තක්කාලි, බණ්ඩක්කා, වම්බටු, තලන බටු ඇතුළු එළවළු වර්ග රැසක් මගේ ගෙවත්තේ වගා කරලා තියෙනවා. නිවෙස්වල ඉන්න අනිත් අයටත් අපි ආරාධනා කරනවා ගෙදර කෑමටවත් පොඩි ගෙවත්තක් පවත්වාගෙන යන්න කියලා.

මම උඩරට එළවළු තමයි ගොඩක් මගේ ගෙවත්තේ වගා කළේ. ගොඩක් අය මට කිව්වා උඩරට එළවළු මෙහේ හදන්න බෑ. අපරාදේ වියදම් කරන සල්ලි කියලා. නමුත් මම උත්සාහය අතහැරියේ නෑ. අද වනවිට කවුරැත් වගා කරන්න බෑ කියපු උඩරට එළවළු මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ මම වගාකරලා තියෙනවා. බෑ කියලා දෙයක් නෑ. උත්සාහ කළොත් කරන්න බැරි දෙයකුත් නෑ. ගෙදර වැඩ ඉවරවෙලා දවසට පැය තුන හතරක් මගේ ගෙවත්ත වෙනුවෙන් කාලය වෙන්කරගෙන තියෙනවා. අද වනවිට මගේ ගෙවත්තේ ගෝවා, කැරට්, රාබු වගේ එළවළුවලට අමතරව පහත රට එළවළුත් හදාගෙන තියෙනවා. අද මගේ ගෙදර පරිභෝජනයට වගේම ඉතිරි වන වැඩි භෝග ටික වෙළඳපොළට දැමීම නිසා මගේ ආර්ථිකයක් සරුවෙලා තියෙනවා. පසුගිය මාස කීපයේ ඇති වූ වසංගත තත්ත්වයේදී අවට සියලුදෙනාටම මගේ ගෙවත්තේ එළවළු ටික තමයි ප්‍රයෝජනවත් වුණේ. ගෙවත්තක් හදාගෙන යනවා කියන එම මහා අමාරු දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් කැමැත්ත හා ආසාව විතරයි ඕන වෙන්නේ.
ලුණුගම්වෙහෙර ව්‍යාපාරය ආරම්භයත් එක්ක ඉඩම් ලැබිලා තමයි මම මේ ප්‍රදේශයට පදිංචියට ආවේ. එදා ඉඳන්ම මම විවිධ භෝග වගාකිරීම තමයි කළේ. නමුත් මට එක බෝගයක් දමලා හොඳ මිලකට දෙන්න බැරි වුණා. පස්සේ මම වගා කිරිම නවත්තලා දමලා ගෙවතු වගාව පටන් ගත්තා. අද ගෙවතු වගාව නිසා ආර්ථිකමය වශයෙන් මට ගොඩක් වාසි ඇතිවෙලා තියෙනවා. එදා මම කළේ මොකක් හරි එක බෝගයක් වගා කළ එකයි. ඒ වගාවේ පළදාව එනකොට මිලක් තිබුණොත් හොඳයි. නැතිවුණොත් ඉතින් වෙච්ච මහන්සිය ඔක්කොම වතුරේ. නමුත් අද මට ගෙවතු වගාව නිසා කවදාවත් පාඩුවක් වෙලා නෑ. එක අතකින් මගේ ගෙදර කෑමට ඕනකරන සියලුම එළවළු ටික මට මගේ ගෙවත්තෙන්ම ලැබෙනවා. අතිරික්ත භෝග ටික අලෙවි කිරීම කරනවා. තුඹකරවිල, වට්ටක්කා, දඹළ, මෑකරල්, මිරිස් වගේ පහතරට හැදෙන එළවළුවලට අමතරව කැරට්, බෝංචි, බීට්රූට්, අල, ගෝවා වගේ උඩරට එළවළුත් මම වගා කරලා තියෙනවා. ඉතින් කවුරුත් කියනවා මේ කාෂ්ඨක පළාතේ උඩරට එළවළු හදන්න බෑ කියලා. නමුත් මම අද කාටත් ඔප්පු කරලා තියෙනවා උඩරට එළවළුත් අපිට මේ පැත්තේ හදන්න පුළුවන් කියලා. මේ වෙනකොට ශීතල දේශගුණයේ පමණක් හැදෙන කොකොවා පවා මගේ ගෙවත්තේ වගා කරලා තියෙනවා. අද ඒ තුළින් ලොකු මුදලක් මට ලැබෙනවා. අද මුළු රටේම ගෙවතු වගා හදන්න පටන් අරන් තියෙනවා. ඉතින් මට ඒ හැමදෙනාටම කියන්න තියෙන්නේ ගෙවතු වගාව සාර්ථක වෙන්න නම් ඒකට කැමැත්ත හා ආසාව තියෙන්න ඕනේ කියන එකයි. දවසකට පැය දෙකක් තුනක් තමන්ගේ ගෙවත්ත එක්ක ඉන්න පුළුවන් නම් ලැබෙන මානසික සුවය කියලා නිම කරන්න බැරිතරම්.
මම දැන් අවුරුදු 18ක් තිස්සේ ඉඳන් මේ ගෙවතු වගාව කරගෙන යන්නේ. ඉස්සර ගෙවතු වගාව පටන් ගන්නකොට මට සමහර අය හිනා වුණා. මොන පිස්සු වැඩක්ද මේක කියලත් ඇහුවා. මම ඉස්සර වෙලාම මිරිස් පැල, වම්බටු, දඹළ, තලන බටු, පිපිඤ්ඤා, වට්ටක්කා පැළ දහය දහය වගේ තමයි හිටෙව්වේ. හැබැයි අද වෙනකොට මගේ ගෙවත්තේ එළවළු, පළතුරු වර්ග රැසක් වගා කරලා තියෙනවා. වෙනදා රසායනික පොහොර යොදලා තමයි මම මේ ගෙවත්ත කරගෙන ගියේ. නමුත් අද වෙනකොට සම්පූර්ණයෙන්ම රසායනික පොහොරවලින් ඉවත්වෙලා කාබණික පොහොරවලින් විතරයි මේ ගෙවත්ත කරගෙන යන්නේ. කාබනික පොහොර විතරක් යොදලා හදන නිසා මහා අස්වැන්නක් නැතත් අපි වස විසෙන් තොරව එළවළු ටික පළතුරු ටික අපිට කන්න පුළුවන් වෙලා තියෙනවා. අනුන්ටත් අපි අද වස කවන්නේ නෑ. කාබනික පොහොරවලට යොමු වීම නිසා. අද වෙනකොට අපි ගොඩක් ගෙවතු වගා කරන අය කාබනික පොහොර විතරක් දමලා මේ වගාවන් කරගෙන යනවා. මට ඕන කාබනික පොහොර ටික මමමයි නිෂ්පාදනය කරගන්නේ. ඒ නිසා මුළු මහත් රටේම ඉන්න කාන්තා පිරිමි හැමෝගෙන්ම මම ඉල්ලනවා ඔබත් ඔබේ ගෙවත්තේ පොඩියට හරි එළවළු ටිකක් පළතුරු ටිකක් හදාගන්න කියලා. මිරිස් කරල් ටික කඩෙන් ගෙනත් කනවට වඩා තමන්ගේ අත්දෙකෙන් ඉන්දපු පැලයකින් මිරිස් කරල් ටික කඩාගෙන කනකොට පුදුම ආඩම්බරයක් තියෙන්නේ. ඒ නිසා ඔබත් අදම ගෙවත්තක් ආරම්භ කරන්න කියලා මම ඉල්ලනවා.
සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර