2020 ජුනි 06 වන සෙනසුරාදා

රබර් වගාවට බැරි බැරි ගාය...

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

රබර් මෙන් දික් ඇදෙන රබර් කර්මාන්තයේ කතාව පසුගිය සති කිහිපය තුළ කරළියට පැමිණියේය. ලාංකීය වෙළෙඳ පොළේ රබර් මිල පහළ වැටීම හේතුගෙන රබර් වැවිලිකරුවන් මුහුණ දෙන ගැටලු මෙම සංවාදයට හේතුප්‍රත්‍ය විය. කෝවිඩ් සමඟ රබර් කර්මාන්තකරැවන් මුහුණදෙන ගැටලුද මීට විෂය වී තිබුණි. ඒ අනුව අපි මේ පිළිබඳ සොයාබැලීමට තීරණය කළෙමු. එහිදී කලක් තිස්සේ රබර් කර්මාන්ත ඇසුරේ වන නොවිසඳුණු ගැටලු රැසක් පිළිබඳව අප හමුවේ අනාවරණය විය.

මේ දිනවල රබර් කිලෝවක මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. එය එසේ වීමට හේතුව කෝවිඩ් වසංගත තත්ත්වය බව බැලූ බැල්මට පෙනී යතත් එය පූර්ණ සත්‍යයක් නොවේ. දේශීය වැවිලිකරැවන් නිෂ්පාදනය කරන රබර් නිෂ්පාදකයන් විසින් මිලදී ගැනීමේ ගැටලුවක් මේ පිටුපස තිබේ. ඒ සම්බන්ධව විමසීමට අපි වැවිලිකරැවන් කිහිප දෙනකු සම්බන්ධව කර ගතිමු. ඔවුන්ට අනුව මෙරට රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකර ආයෝජකයන්ගේ ක්‍රියා කලාපය කලක් තිස්සේ මෙම ගැටලුවට හේතුවී ඇත. රාජ්‍ය මැදිහත් වීම සහ මෙම ගැටලු කළමනාකරණයද නිසි ආකාරයෙන් සිදුවී නැත. අපි මේ සම්බන්ධව පස්දුන් රට රබර් වගාකරැවන්ගේ එකමුතුවෙන් විමසීමක් කළෙමු.

ඔවුන් නම් ගම් සහිතව දක්වන්නේ මෑතකාලීනව අපනයන නිෂ්පාදන සමාගම් කිහිපයක් මුළුමනින්ම සිය නිෂ්පාදන සඳහා රබර් ආනයන කිරීමට පෙළඹී සිටින බවය. එය අත්තනෝමතික ලෙස සිදුවන ක්‍රියාවකි. එසේම එම කර්මාන්තශාලා ආරක්ෂා කර ගැනීමටද රාජ්‍ය තන්ත්‍රයේ ඇතැම්හු උත්සාහ ගනිමින් සිටිති. අපනයන ආදායම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ රුකියා ගැන පමණක් සැලකිලිමත් වී සිදුකරන මෙම ක්‍රියාව හේතුවෙන් ‍මෙරට රබර් කර්මාන්තය මුළුමනින්ම දියවී යාමට පටන්ගෙන ඇත. කළුතර ඇතුළු බොහෝ ප්‍රදේශවල රබර් ඉඩම් වෙනත් වගාවන් සඳහා හෙළිපෙහෙළි කරමින් තිබේ. රබර් කිරි ලෙස කෙසේ වෙතත් යාර ගණනට අලුත්ම රබර් ගස් දැන් දරට විකිණෙමින් ඇත.

මේ කතාව එසේ ඉදිරියට ඇදෙද්දී රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයකරුවන් ඉදිරිපත් කරන්නේ ඊට හාත්පසින් වෙනස් තර්කයකි. ඔවුන්ට අනුව මෙරට සමස්ත නිෂ්පාදනයට අවශ්‍ය තරම් රබර් නැත. එසේම ගුණාත්මක භාවයේද ගැටලු තිබේ. මිල ගණන්වල ගැටලු ඊටත් වඩා විශාලය. 

ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ අපනායනකරුවන්ගේ සංගමයෙන් අප මේ පිළිබඳව විමසුවෙමු. එහි අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරාල මහතාගේ ඒ සම්බන්ධව මෙලෙස පැහැදිලි කළේය.

ලංකාවේ තියන රබර් නිෂ්පාදනය සීයට පනහක විතර අඩුවක් තිබෙනවා ඉල්ලුමට සාපේක්ෂව. දැනට ලංකාවේ රබර් නිෂ්පාදන කරන්නේ මෙට්‍රික් ටොන් හැත්තෑ පන්දහසක් පමණ. අපේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතලිස් දහක් පමණ වෙනවා. ලෝක මට්ටමින් ගත්තාම සිංගප්පූරුව, චීනය, වියට්නාමය, තායිලන්තය වගේ රටවල රබර් වෙන්දේසි තිබෙනවා. ඔවුන් තමා පළමු පෙළේ ඉන්නේ. ඒ නිසා ලෝක රබර් නිෂ්පාදනයේ මිල තීරණය කරන්නේ අන්තර්ජාතික වෙළඳපොළ. ලංකාවේ මිලත් ඒකට සාපේක්ෂව තමා අඩුවැඩි වෙන්නේ. ඒත් අපි ලෝක වෙළඳපොලේ ෆාම් ගේට් ප්‍රයිස් එකට වඩා රුපියල් විස්සක් විතර වැඩියෙන් තමා ලංකාවෙන් රබර් මිලදී ගන්නේ. එක වෙනස් වෙනවා වෙළඳපොළ මිල උච්ඡාවචනය එක්ක.

ඇත්තට ලංකාවේ රබර් නිෂ්පාදනය අඩුයි. අපි ඉල්ලන්නේ වගා වැඩිකරලා ඵලදායීතාව වැඩිකරන්න කියලා. වෙනත් රටවල් හෙක්ටයාරයකට කිලෝ එක්දහස් හයසීය දක්වා යනවා. ලංකාවේ නිෂ්පාදන තියෙන්නේ හත්සීයත් අටසීය පනහත් අතර. ලංකාවේ ඵලදායීතාව ගැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තෙන්ම ගොවියෝ ගැටලුවකට මුහුණ දෙනවා. නමුත් අපි අපනයන නිෂ්පාදන කරන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ තරඟකාරීත්වයට. අපි තරග කරන්න ඕනා මැලේසියාව, චීන, තායිලන්තය වගේ රටවල් එක්ක. ඒ නිසා අපිට බෑ ලෝක වෙළඳපොළේ එහාට ගිහිල්ලා මූලද්‍රව්‍ය ලබාගන්න.

ආයෝජන මණ්ඩලය හරහා කිසිම ආයතනයකට කවදාවත් බදු තිබුණේ නෑ. ලංකාවේ තියෙන්නේ ප්‍රමිතිගත ලෝකයේ ප්‍රබල සන්නාම. සමහර වෙලාවට අපිට තියනවා කොලිටි ප්‍රශ්න. ටොන් විසිදහ තිස්දහ මිලදී ගන්න බැරිවෙනවා ලංකාවේ. ලෝක වෙළඳපොළේ හොඳ මිලක් තිබෙනවා නම් ලංකාවේ රබර් වගාකරුවන්ට පුළුවන් අපනයනය කරන්න. අපිට විශේෂයක් කරන්න බෑ. මිල තීරණය කරන්නෙ ලෝක වෙළඳපොළේ මිල ගණන් එක්ක. සත්‍යය ප්‍රසිද්ධියේ නොකියන තත්ත්වයක් ලංකාවේ තිබෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ ඵලදායීතාව වැඩි කරන්න ගොවියන්ට සහයෝගය දෙන්න. අතරමැදි ලාභය පුළුවන් නතර කරන්න. ගොවියයි නිෂ්පාදකයයි දෙන්න එකට හමුවෙන වැඩපිළිවෙළක් සකස් කරන්න.

මෙම පැහැදිලි කිරීමත් සමඟ රබර් කතාව වෙනත් මානයකට ගමන් කරයි. ඒ අතර කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමයෙන්ද අප මේ පිළිබඳව විමසීමක් කළෙමු. ඔවුන්ට අනුව අානයනකරැ කියන කරුණුවල සාධාරණ බවක් ඇතත් ඇතැම් සමාගම් තම මාසික අවශ්‍යතාවට වඩා වැඩියෙන් රබර් ආනයනය සිදුකරයි. කෙසේ වෙතත් වගාකරුවන් හා සිදුකළ සංවාදයේදී පෙනීගියේ තවදුරටත් දේශීය රබර් ගොවියා වෙනුවෙන් පෙනී සිටින ආයෝජකයන් සහ ආයතනද මෙරට තුළ පවතින බවයි. කෙසේ වෙතත් එය රබර් වගාව ඇත්තේ අනතුරකය. 

ඒ අනුව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන්ද මේ සම්බන්ධව විමසීමක් කළෙමු. ඔහුද දීර්ඝ ලෙස පවතින තත්වය පැහැදිලි කළේය.

ලංකාවේ තිබෙන රබර් කර්මාන්තශාලා සඳහා විශාල ලෙස රබර් ආනයනයක් සිදුවෙනවා. ලංකාවේ නිෂ්පාදන වගේම ප්‍රමාණයක් පිටරටින් ආනයන කෙරෙනවා. ඒ නිසා දේශීය රබර් ගොවියාට මිල පිළිබඳ විශාල ගැටලුවක් තිබෙනවා. නමුත් මෙතැන ගැටලුව තමා දේශීය වෙළඳපොළට වඩා ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල අවම වීම. ලංකාවේ සිටින රබර් කර්මාන්තකරුවන්ගේ සහ දෙශීය විදේශීය ආයෝජයනුත් මෙතැනදී කරුණක් මතුකරනවා. ඒ තමා තරගකාරී මිලකට රබර් ලබාගත්තේ නැත්නම් ඔවුන්ගේ නිමි භාණ්ඩවලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන තරගකාරීත්වය අඩු වෙනවා කියන කාරණය. ඒ පදනම මතක තමා ආයෝජන මණ්ඩලය බී.ඕ.අයි. යටතේ තීරුබදු රහිතව ලංකාවට රබර් ආනයනය කරන්න කටයුතු කරලා තියෙන්නේ.
අපේ දේශීය රබර් ගොවියා ආරක්ෂා කර ගැනීම කියන ප්‍රමුඛ පරමාර්ථයෙන් තමා රජය කටයුතු කරන්නේ. නමුත් එහිදී අපිට සැලකිල්ලට ගන්න වෙනවා මේ රබර් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තශාලාවල කටයුතු කරන ලක්ෂයකට අධික සේවක පිරිස ගැනත්. විශේෂයෙන්ම ඔවුන් මෙරටට ගෙන එන විදෙශ විනිමය සම්බන්ධයෙනුත් සැලකිලිමත් වෙන්න වෙනවා. උදාහරණක් විදිහට පසුගිය වසර කිහිපය තුළදී රුපියල් බිලියන එකසිය හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් විදේශ විනිමය ප්‍රමාණයක් රබර් ආශ්‍රිත නිෂ්පාදනවලින් ලංකාවට ලැබිලා තියෙනවා. ඒ හැකියාව ලැබිලා තියෙන්නේ අපේ නිෂ්පාදන තරගකාරී මිලකට ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමට හැකිවීම නිසා.

රජයක් හැටියට මේ පාර්ශ්ව දෙකම පිළිබඳ අපි සංවේදී වෙන්නට අවශ්‍යයි. දේශීය ගොවියාට සාධාරණය මිලක් නොලැබෙන පදනම මත ජනාධිපතිතුමා තුළ මාස තුනක කාලයකට රබර් ආනයනය නතර කරලා තිබෙනවා. රටේ සහ ලෝකයේ තිබුණ තත්ත්වයක් එක්ක නිෂ්පාදන ධාරිතාව අඩුවීම නිසා. රබර් මිලේ අඩුවක් මේ වෙද්දී සිද්ධවෙලා තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා රටේ තත්ත්වය සහ ලෝකයේ තත්ත්වය යහපත් වීමත් සමඟ ආනයන තහනමේ බලපෑම මත ඉදිරියේ රබර් මිල යහපත් වෙයි කියලා. අපි ඉතාම දැනුවත් වර්තමාන තත්ත්වය පිළිබඳව. කෝවිඩ් අර්බුදය ආරම්භ වුණාම බැසිල් රාජපක්ෂ මැතිතුමා වගාකරැවන් කර්මාන්තකරැවන් එක්ක සාකච්ඡා වට දෙකක් පැවැත්තුවා. ජනාධිපතිතුමත් අදාළ අංශ දැනුවත් කරලා තිබෙනවා.

රබර් කතාව අවසානයක් කරා පැමිණවීම පහසුකම් නොවන බව මෙම ප්‍රකාශ හරහාද අවබෝධ වේ. මෙරට රබර් වෙනුවෙන් බොහෝ ආයතන පවතින බවද රාජ්‍ය සේවකයන් රැසක් සිටින බවද අවසානයේ සිහිපත් කළ යුතුය. එමනිසාම සක්‍රීය කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත කිරීමට කවුරු කවුරුත් සූදානම් විය යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා