2020 ජුනි 06 වන සෙනසුරාදා

වෙඩි වරුසාවකින් මොරටුව කැළඹු පාතාලයේ මරාගැනීම්

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 702

මොරටුව ප්‍රසිද්ධ වඩු වැඩවලටය. ගහට ගහක් මොරටුවේ හමුවෙන බව කතාවටත් කියැවේ. ඒ නිසා කොහේ කැපුවත් ගස් මොරටුවේදී හමුවන බවට ජනමතයක් ඇත. එකී මොරටුව පසුව බයිලා පුරයක් විය. වාද බයිලා, තරග බයිලා, බයිලා පොළවල්වලට පවා මොරටුව ප්‍රසිද්ධ විය. ඒ නිසාම බයිලා වල අහලා නැද්ද මොරටු කොල්ලෝ බයිලා කියනවා... වහලා තියෙන පාළු ගෙවල් ඉබේ ඇරෙනවා යැයි කීවේ කට කහනවට නොවේය.

මේ සියල්ල යට කරගනිමින් එකවර මොරටුව ඉහළට ආවේ කවුරුත් නොහිතන පැත්තකිනි. වැල්ලට වලියක් සාමාන්‍ය වුවත් එය අපරාධ ගුහාවක් නොවීය. අඩියක් ගැසූ පසුව එකිනෙකා කපා කොටා ගැනීම වැල්ලේ හැටිය. කරිජ්ජ පාගපු මිනිස්සු චණ්ඩි යැයි ඒ සංස්කෘතියේ පිළිගැනීමය. එහෙත් කරිජ්ජේ චණ්ඩි වෙනුවට ගොඩබිම පාතාලයට එකවර නතුවූයේ දේශපාලන බලය නිසාය. ඒ නිසාම ලීවලට, බයිලාවලට ප්‍රසිද්ධ මොරටුව පාතාලයේ අලුත් දොරක් බවට පත්විය. ඒ මොරටු සමන් නිසාය. මොරටු සමන්ගෙන් ඇදී ආ මොරටු පාතාලය අද වනවිට කොළඹ පාතාලයේ එක කොටසකි.

මේ මොරටු පාතාලයේ අලුත්ම කතාව ලියැවෙන්නේ ගල්කිස්ස පොලිස් වසමට අයත් හෝටලයක් හරහාය. ලක්මධුර හෝටලයට පසුගිය මාසයේ සිට එතරම් හොඳ කාලයක් වුණේ නැත. ඩුබායි සිට එන ඇමතුම් කීපයක් නිසාය. එලෙස කතා කළ දෙදෙනෙක් වූ අතර ඒ නමගිය පාතාල සාමාජියන් දෙදෙනකු වූ ධර්මසිරි සහ කුඩු අංජුය. මේ දෙදෙනා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අතර ඔවුන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වූ රන්ජන් සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෝ වෙති. මේ දෙදෙනා එරට සිට හෝටල් හිමිකරුගෙන් ලක්ෂ ගණනින් කප්පම් ඉල්ලන්නට වූහ. එහෙත් එය ලබාදීම අදිමදි කළ නිසා 2020 මැයි 19 වැනිදා රාත්‍රියේ මන්නා රැගත් පිරිසක් පැමිණ මුළු හෝටලයම කුඩු කළහ. එතෙක් පොලීසියට පවා පැමිණිලි නොකර සිටි හෝටල් හිමිකරු අවසානයේ පොලීසිය වෙත යන්නේය.

උඹ පොලීසියට ගියාට අපි බය නෑ, තොපේ පවුලෙන්ම පලි ගන්නවා. උඹව මරන්නේ නෑ. උඹේ ගෑනි හරි, ළමයා හරි, සහෝදරයෙක් හරි මරනවා. උඹව දණ ගස්සනවා දැනගනින්. උඹ දැන් අඬන්නේ නෑනේ... හිටපන් ඊළඟ පාර උඹට මම අඬන්න කතා කරවන්නන් යැයි ධර්මසිරිත් කුඩු අංජුත් දුරකතනය ඔස්සේ තර්ජන කළේ පොලිස් පැමිණිල්ල නිසාය. කෙසේ වෙතත් මේ සියල්ල පටිගතකර හෝටල් හිමියා පොලීසියට ලබාදුන් පසු පොලීසියේ තිදෙනෙක් හෝටලයේ ආරක්ෂාව සඳහා යොදවනු ලැබූහ.

එහෙත් ගතවූයේ දින දහයකි. 2020 මැයි 29 වැනිදා රාත්‍රියේ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් ටී 56 ගිනි අවියකින් වෙඩි වරැසාවක් එල්ල කළෝය. ඒ පොලීසිය බලා සිටියදීමය. එහෙත් පොලීසියට පවා කිසිදෙයක් කරගන්නට නොහැකි වී තිබිණි. එදිනම ඩුබායි සිට ඇමතුමක් ආවේය. ඒ ධර්මසිරිගෙනි.

කෝමද ට්‍රයල් එක. ටී 56 දෙකයි නයින් එම්.එම්. එකයි. එස්.එස්.පී. මහත්තයට කියපන් කොපු ටික අහුලන් යන්න කියලා ඇවිත්. උඹ පරිස්සම් වෙයන්..... (මෙය පටිගත කීරීමක් නිසා ස්ථාන සඳහන් නොකරමි) ඕ.අයි.සී. මහත්තයාලා උඹේ වාහනනේ පදින්නේ. උඹ පොලීසියට රොකෝඩ් කරලා දීපන්. හැබැයි අපේ අහිංසක කොල්ලෙක් හරි අල්ලලා තිබ්බොත් එස්.එස්.පී. මහත්තයා හරි පවුලේ එකෙක් හරි මරණවා කියපන්. මම බය නෑ. අපෙන් රන්ජන් සිල්වා බේරැණෙත් නෑ යකෝ. පුළුවන් නම් බේරියන් උඹ. මම ඉවසන්නේ අංජු නිසා. නැත්තන් උඹට ගහලා. පොලී සල්ලි එකතු කරපන්කෝ පුළුවන් නම් උඹ... යනුවෙන් දීර්ඝ තර්ජනයක් කරනු ලබයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය රෑපවාහිනී ආයතනවල රාත්‍රී පුවත්වල ප්‍රචාරය වීමත් සමඟ බලධාරීන්ගේ ඇස් විවෘත විය. ජනාධිපතිවරයා වහාම ආරක්ෂක අංශ ප්‍රධානීන් කැඳවා පාතාල මර්දන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළේය. විශේෂයෙන් මෙම සිද්ධිය සෙවීම සඳහා විශේෂ කාර්ය බළකායද යෙදවීය. ඒ අතර ජනාධිපතිවරයා බන්ධනාගාරයේ සිට සිදුකරන අපරාධ මර්දනය සඳහා ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායක්ද පිහිටුවීය.

මේ අතර මේ සිදුවීම ගැන පරීක්ෂණ විශේෂ කාර්ය බළකායත්, පොලීසියත් එක්ව ආරම්භ කළේය. එහිදී මීට සම්බන්ධ කීපදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඒ මේ ප්‍රහාරයට පැමිණි පිරිසය. එහෙත් මේ ගැටුම කප්පම් නිසාද, නැත්තම් වෙනත් සිද්ධියක් නිසාද යන්න හරිහැටි අනාවරණයක් නැත. එහෙත් බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව මේ පිටුපස පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක් ඇති බව ක්‍රමයෙන් අනවරණය වෙන්නට විය.

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සභිකයකු වූ පොඩි මහත්තයා ඒ දවස්වල ගමේ චණ්ඩියෙකි. ඔහුට බෑණාවරැන් දෙදෙනකු සිටි අතර එක් අයෙක් අංජුය. අනෙකා ලංසියාය. ලංසියාගේ මිතුරෙක්ද ඒ අතර විය. ඒ රොහාය. රොහා හැඳින්වූයේ ගොනාකෝවිලේ රොහා නමිනි. රොහා තරමක් හිතුවක්කාරයකු වූ අතර එය පොඩි මහත්තයාගේ චණ්ඩිකම්වලට යම් තර්ජනයක් විය. දිනක් රොහා බෝම්බ සමඟ කොටුවිය. එය පොඩි මහත්තයාගේ වැඩක් යැයි රොහාගේ ගෝලයෝ කීහ. මේ වෛරය අවසානයේ රොහා හිරේ සිට පැමිණි ගමන්ම පලිය ගන්නේ පොඩි මහත්තයාට වෙඩි තැබීමෙනි. තමන්ගේ පාතාල ගමනට පියකු වූ පොඩි මහත්තයා නැතහොත් තමන්ගේ බාප්පා ඝාතනය කිරීම නිසා යාළුකම් අත්හැරි ලංසියා සහ අංජු රොහාට එරෙහිව අවි ඔසවන්නට වූහ.

දිනක් රොහාගේ නිවසට පැමිණි ක්‍රිස්තියානි පූජකවරයකු සිය වාහනය පිටුපසට ගන්නා විට ඒ අසලින් ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළකු සමඟ රොහා පැටලුණේය. ඒ ලන්සියාගේ මස්සිනාය. අවසානයේ එය ලන්සියාගේ කන වැකී එදින නැවතත් අළුයට පුපුරු ගිනිගන්නට විය. දෙදෙනා එදින අභියෝග කරගත්තේ ජීවිතවලට කාලය ලබාදෙමිනි.

එහෙත් රොහා ඉස්සර විය. කුඩු නඩුවක් සඳහා ලන්සියා මහර උසාවියට පැමිණි අවස්ථාවේ රොහා විසින් කඩවත මහර උසාවිය ඉදිරිපිට ලංසියා වෙඩිතබා මරා දමන්නේය. ඒ මීට අවුරුදු හතර පහකට පෙරය. එතනින් පසු රොහා පාතාල චරිතයක් වූ අතර රට වටේ පාතාලය සමඟ සම්බන්ධතා ගොඩ නගාගත්තේය. කෙසේ වෙතත් රොහ සහ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා රන්ජන් අතර සම්බන්ධයක් ඇති බව කුඩු අංජුලාට කන වැකී තිබුණේය. ඒ සිය බාප්පාගේ ඝාතනයේ සිටය. මේ නිසා රන්ජන්ද සිය දේශාපලන හයිය පෙන්වමින් සිටීම අංජුලාට ඇල්ලුවේ නැත. මේ නිසාම අංජුත් අංජුගේ මිත්‍රයකු වූ ධර්මෙත් එකතුව 2018 මැයි මාසයේ දිනක රන්ජන් සිල්වා නිවස ඉදිරිපිට වෙඩිතබා ඝාතනය කළහ.

එහෙත් අංජුලාට එය සැනසීමක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූ ගොදුර රොහාය. මේ නිසාම රොහාට කිහිපවතාවක් ප්‍රහාර එල්ල කිරීමට ඩුබායි සිටින අංජුලා සැලසුම් කළහ. ඉන් එකක් වූයේ ගල්කිස්ස අධිකරණයේදී පාතාලයේ රෝසා දමා වෙඩි තැබීමයි. එම සැලැස්ම අවසානයේ පොලීසියට කොටුවිය. ඊටපසු බන්ධනාගාර බස් රථයට ප්‍රහරයක් එල්ල කිරීමට සූදානම් විය. එයද හරි ගියේ නැත. කෙසේ වෙතත් මේ වනවිට රොහාට විරැද්ධව මහාධිකරණයේ නඩු ගොන්නක් විභාග වෙමින් ඇත. එහෙත් රොහා නැත. අවසන් වරට රොහා මහර බන්ධනාගාරයේ සිටියත් එතනින්ද ඇප ලබා රොහා පිටව ගොස් ඇත.

එසේ අතුරුදන් වූ රොහා දැන් අවසනයේ මේ හෝටල් කතාවේ කොණක ගෑවී සිටින බව දැනගන්නට ඇත. ඒ රොහාගේ ගෝලයන් කිහිපදෙනෙකු හෝටල් හිමිකරු ඇසුරුකරන බවට අංජුට කන වැකී සිටි නිසාය. රොහාගේ හොඳම ගෝලයා වූ එයාර්ෆෝස් සම්පත් ඝාතනයට අංජු කීපවතාවක්ම උත්සාහ කළේය. එහෙත් හරි ගියේ නැත. එහෙත් ඒ සම්පත් හෝටලයේ අයිතිකරැ සමඟ සබඳතා ඇති බව අංජුලාට කනවැකි සිටි නිසා දැන් පවතින ගැටුම ආරම්භ වූ බව දැනගන්නට ඇත.
දකුණේ පාතාලයේ කොස්ගොඩ තාරකත් එයාර්ෆෝස් සම්පත්ලා අතරද මිතුදමක් ඇත. මේ නිසා ධර්මෙලා, අංජුලා තව තවත් සැකකළේ හෝටලේ හිමිකරු දකුණේ පාතාලය සමඟ ගනුදෙනු කරන බවය. මේ බව එක් දුරකථන සංවාදයකදී ධර්මේ පවසන්නේ උඹට කතාකළා කොස්ගොඩ තාරකගේ මල්ලි යනුවෙනි. ඒ නිසා දැන් මේ සිද්ධිය පාතාලයේ අළුයට ගින්නක එක් කතාවකි. ඒ ගින්න දැන් එළියට එන්නේ එක එක සම්බන්ධතා අනුවය. මේ නිසා අහිංසකයන් රියල් ගේම්කරුවන් බව අනාගතයේදී ඔප්පු විය හැක. රියල් ගේම්කරුවන් අහිංසකයන් බව අනාගතයේ වෙනස් විය හැක. මේ සියල්ල දැන් ඇත්තේ අතරමගය. අප ලිව්වේ ඒ අතරමග කතාය. හොඳම කතාව අවසානයේ එළියට එනු ඇත. එතෙක් අපි පොලීසියට ඉඩදී බලා සිටිමු. වීඩියෝපට වගේම හඬපටද අපට අසන්නට ලැබිණි. ඒවා ඇසූ පසු ඇතැම් කාරණා සම්බන්ධයෙන් අපටද ප්‍රශ්න ඇත. එහෙත් අපට තීන්දු කළ නොහැක. තීන්දුව නීතිය සතුය.

► ගයාන් ගාල්ලගේ