2020 ජුනි 06 වන සෙනසුරාදා

අරාබියෙන් බුබුළු දමන කොවිඩ් පොකුර

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ දසවැනි මරණය පසුගිය 25 වැනිදාද 11 වැනි මරණය ජුනි පළමුවැනිදාද වාර්තා විය. මින් අයෙක්  පනස් එක් හැවිරිදි කාන්තාවක වන අතර අනෙක් තැනැත්තා 45 හැවිරිදි පුද්ගලයෙකි. මේ දෙදෙනාම පසුගියදා කුවේටයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි. වැලිසර නාවික හමුදා කඳවුරෙන් හැර බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් රෝගියකු වාර්තා නොවී තිබූ පසුබිමක් තුළ කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පුද්ගලයන් 466 දෙනකු මෙරටට රුගෙන විත් තිබිණි. ශ්‍රී ලංකාවේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමට බලපෑවේ එරටින් පැමිණි පුද්ගලයන් අතුරින් 339 දෙනකුම කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබීම හේතුවෙනි.

කුවේටයේ සිට පැමිණි පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් නීති විරෝධී ලෙස එරට රැඳී සිට පසුව පොදු සමාව යටතේ නීත්‍යානුකූල ලෙස එරටින් බැහැර වීමට අවසර ලද පුද්ගලයන්ය. ඔවුනට එම රෝගය වැළඳී තිබුණේ එරටදී බැවින් ඔවුන් මෙරටට පැමිණියේ රෝගීන් ලෙසිනි. කුවේටයට අමතරව කටාර්, ඩුබායි, මාලදිවයන, බංග්ලාදේශය, බෙලාරුස්, ඉන්දුනීසියාව, සිංගප්පූරැව වැනි රටවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවල රඳවා සිටි පුද්ගලයන්ගෙන් පිරිසකට රෝගය වැළඳී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අපට අද තියෙන ප්‍රශ්නය වී ඇත්තේ රෝගය වැළඳුණු ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමයි. කුවේට් රාජ්‍යයයේ සිට මෙරටටට පැමිණි 466 දෙනාම මේ වන විට පළමුවැනි වටයේ පීසීආර් පරීක්ෂණයට ලක් කර තිබෙනවා. තවත් දින දහයකින් ඔවුන් යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතයි. මෙම රෝගය මෙරට ප්‍රජාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා සෑම අයුරකින්ම අප කටයුතු කරනවා. යනුවෙන් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් තවත් 40,000කට අධික පිරිසක් සිටින්නේ යැයි ආරක්ෂක අමාත්‍යාංයේ ලේකම් කමල් ගුණරත්න මහතා  ප්‍රකාශ කරයි. රජයක් ලෙස  අපගේ වගකීම හා යුතුකම වන්නේ මෙවැනි අවස්ථාවක ඔවුන්ට මෙරටට පැමිණීමට අවස්ථාව සැලසීම වුවද එවැනි අවස්ථාවක් ලබා දිය යුත්තේ රටේ දැනට සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලකින් යුතුව යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

විදේශයන්හි සිට මෙරට පැමිණෙන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා ඔවුන් මෙරටට පැමිණීම වළක්වන්න බැහැ. එහෙත් ඔවුන් කිසියම් කළමනාකරණයකට යටත් කළ යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි 

ජූනි 4 වනවිට සමස්ත ආසාදිතයන් බවට පත්වූ පිරිස 1749  කි. සාමාන්‍ය ජනයා අතරින් හඳුනා ගැනුණේ 310කි. එහෙත් පසුගිය අප්‍රේල් 30 වැනිදායින් පසු සාමාන්‍ය ජනතාව අතුරින් කිසිදු රෝගියකු හමු වූයේ නැත. සමස්ත ආසාදිතයන් අතුරින් 811ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ. තවමත් රෝගය ව්‍යාප්ත වන්නේ නාවික හමුදාවේ සාමාජිකයන් අතර පමණි. එම සංඛ්‍යාව 814කි. ඔවුන් අතුරින් 426 දෙනෙක් සුවය ලබා සිටිති. විදේශයන්හි සිටි පැමිණි පුද්ගලයන් 583 දෙනෙකු මේ වන විට ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඔවුන් අතර විදේශිකයන් තිදෙනක්ද වෙති. මේ වන විට ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුළ  විදේශයන්හි සිට මෙරට පැමිණි ශ්‍රමිකයන් හා සිසුන් 5300කට අධික සංඛ්‍යාවක් නිරෝධයනය වෙමින් සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් සියල්ල  International Health Regulations  හෙවත් ලෝක සෞඛ්‍ය සම්මුතීන් නැමැති ගිවිසුමකට අත්සන් තබා ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටියි. එම සම්මුතීන්ට අනුව කිසිදු රෝගියකු වෙනත් රටකට බලහත්කාරයෙන් යැවිය නොහැකිය. පරිපාලනමය කරුණු මත පදනම් වුවද රෝගයක් පැතිරීමට දේශසීමා බලපාන්නේ නැත.. රටවල් අතරද වගකීම් පවතී. විශේෂයෙන්ම භූමියෙන් වෙන්ව ඇති රටවල් අතර ගැටලු සහගත තත්ත්වය සාගර මගින් වෙන්ව ඇති රාජ්‍යයන්හි ඇති ගැටලුවලට වඩා සංකීර්ණය. ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සාමාජික රටවල් සමඟ මෙවැනි සම්මුතීන්ට එළඹ ඇත්තේ එහෙයිනි 

මෙරටින් හමුවූ පළමු රෝගියා වූ චීන කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලබන තෙක් චීනයට යැවීමට පියවර නොගත්තේ එම සම්මුතීන්ට අනුවය. එහෙත් කුවේට් රාජ්‍යය එම සම්මුතීන් කඩකොට තිබේ. ඔවුන් ශ්‍රීලංකාවට තමන්ගේ ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන ආවේ රෝගය වැළඳුණු පිරිසකි. ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කළ බව පැවසුවද පැමිණි කිසිවකු සතුව එවැනි පීසීආර් පරීක්ෂණ වාර්තාවක් නොතිබිණි. සම්මුතිය අනුව කටයුතු කරන්නේ නම් රටකින් තවත් රටකට යෑමට පුද්ගලයකුට අවසර ලබා දීමට පෙර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණයක් සිදු කොට ආසාදියන් නොවන අය පමණක් නියමිත රට වෙත යැවිය යුතුය. රෝගීන් බවට හඳුනා ගැනුණොත් ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව පමණක් නියමිත රටට යැවිය යුතුය. ඇතැම් රාජ්‍යයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මුතීන්ට ගරැ නොකිරීම කණගාටුවට කරැණකි.

විදේශවල සිට මෙරටට ගෙන්වා ගන්නා පිරිස අතරින් විශාල සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ඔවුන් එම රටවලදීම පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එවැනි ක්‍රියාමාර්ගයක් තුළින් රෝගීන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පහසු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කරයි. 

මේ සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා සමඟ කරන ලද සාකච්ඡාවකදී සියලු පරීක්ෂණ නිසි පරිදි සිදු කොට ඒ සම්බන්ධයෙන් සහතික කළ යුතු බවට නිර්දේශ කර තිබේ. විදේශවල සිට ලංකාවට පැමිණි පළමු දිනයේම පීසීආර් පරීක්ෂණ සිදු කෙරී ඇතිදැයි යන්න හඳුනා ගැනීම ගැටලුවක් බව පවසන වෛද්‍ය නවීන් ද සොයිසා ඔවුන් පැමිණෙන රටින් ආසාදිතයකු නොවන බවට වන වෛද්‍ය සහතිකයක් රුගෙන ඒම අනිවාර්ය කළ යුතු යැයි කියා සිටී.

ශ්‍රී ලාංකිකයන් මෙරටට රුගෙන ඒම වැළැක්විය නොහැකි වුවද එසේ ගෙන ආ යුත්තේ එම දිනට කළ හැකි පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අනුව බවද,. ඔවුන් පැමිණි විගස යළි පීසීආර් පරීක්ෂණයකට යොමු කොට දින 14ක හෝ 28ක නිරෝධායනයකට යටත් කළ යුතු බවද පවසා වෛද්‍ය සොයිසා යම් හෙයකින් ආසාදිතයකු හමුවුවහොත් ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය හා ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල සම්බන්ධයෙන්ද කඩිනමින් පියවර ගැනීමට එමගින් හැකිවනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරයි. 

විදේශවලින් මෙරටට පැමිණෙන ආසාදිතයන් නිසා ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම තර්ජනයක් පවතින හෙයින් රෝහල්වල  කාර්යක්ෂමතාව හා දැඩි සත්කාර ඒකක වැඩි කිරීමට පියවර ගන්නා ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම ඔවුන් සිටින රටවල වගකීමක් බවද ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කර ඇති ක්‍රමවේද සපුරා ඇති පිරිස පමණක් රුගෙන එන ලෙසට ගුවන් සමාගම් දැනුම්වත් කිරීමෙන් රෝගී පුද්ගලයන් මෙරටට ගෙන ඒම සීමා කළ හැකියැයිද වෛද්‍ය සොයිසා සඳහන් කරයි.

විදේශවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවැත්විණි. ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර කොවිඩ් 19 ආසාදිත නොවූ පුද්ගලයන් පමණක් මෙරටට එවන ලෙස විදේශ රටවලට දැනුම් දිය යුතු බවට එහිදී තීරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට හා, විදේශ කටයුතු  අමාත්‍යාංශයට දැනුම් දීමටද විදේශ රටවලදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර මෙරට ගෙන්වන ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපොළේ දී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරැව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව පසුගිය ජුනි 1දා සිට ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලු ගුවන් මගීන් ගුවන් තොටුපළේදීම පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීම ආරම්භ විය. පසුගිය දෙවැනිදා අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරැවේ සිටි මෙරටට පැමිණි මගීන් 281 දෙනකු පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබා ගැනීමට කටයුතු කෙරිණි. එම සාම්පල කොළඹ වෛද්‍ය පර් යේෂණ ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨය සහ උණ රෝහල වැනි ස්ථානවල පරීක්ෂාවට ලක්කොට කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා