2020 ජුනි 06 වන සෙනසුරාදා

හෙද සේවය පාරට බැස්සූ දීමනා කප්පාදුව

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ජීවිතයක්‌ තුළ සහනය හා සොම්නස රැඳී තිබෙන්නේ යහමින් මිල මුදල් හෝ කෑම බීමද ඇතුළු භෞතික සම්පත් ගොඩගැහෙන තරමට නොවේ. අප දන්නා පරිද්දෙන් නම් මිනිස්‌ ජීවිතයක සැනසීම රැඳී බැඳී තිබෙන්නේ කායික වූත්, මානසික වූත් නිරෝගීකම බෙහෙවින් තිබෙන තරමටය.

පසුගිය මැයි 12 වැනිදාට යෙදුණු ලෝක හෙද දිනයේදී ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසින් මෙම වර්ෂය සඳහා සුවිශේෂි තේමාවක් ප්‍රකාශයට පත්කර තිබුණි. එම තේමාව වූයේ “ගෝලීය වශයෙන් සෞඛ්‍ය නගාසිටුවීම සඳහා හෙදියන් ලෙස හඬ නගමු” යන්නයි.

වර්තමානෙය් COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේදී ලොව විශාලම සෞඛ්‍ය බළකාය වන හෙද හෙදියන්ගේ දායකත්වය විශාල වශයෙන් ලබාදෙනු ලබයි. මෙරට සෞඛ්‍ය සේවාව තුළද 36,000 වන හෙද නිලධාරීන්, හෙද සොයුරු සොයුරියන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද සොයුරු සොයුරියන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් මෙම ‍ෙවෙසය මැඩපැවැත්වීම, පාලනය, පරීක්ෂණ, රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා සෘජු දායකත්වයක් ලබා දී තිබේ.
කෙසේ වෙතත් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නිරත සේවක සේවිකාවන්ගේ දීමනා සහ පහසුකම් අහෝසි කිරීම ඇතුළු කප්පාදු මාලාවක් හේතුවෙන් රජයේ රෝහල් සේවකයන් අතර බරපතළ විරෝධයක් වර්ධනය වෙමින් ඇත. අතිකාල, විශේෂ, අමතර සේවා, ප්‍රසිද්ධ නිවාඩු දින  සහ කාර්ය වියුක්ත දින නිවාඩු (පැය 24 ක  සේවයෙන් පසු ලැබෙන නිවාඩු) වෙනුවෙන් ගෙවිය යුතු දීමනා නොගෙවීම, සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ නිසිලෙස සම්පාදනය නොකිරීම හා ප්‍රවාහන පහසුකම් අහෝසි කිරීම මෙම කප්පාදු වලට අයත් වෙයි.

කොරෝනා වසංගතය හමුවේ රෝගීන්ට ඍජුවම සම්බන්ධ වෙමින් සේවය කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලයට එම වසංගතය පැතිරීමට පෙර ලබාදුන් වැටුප් හා දීමනා මෙම දිනවල නොයෙකුත් හේතු දක්වමින් කප්පාදු කිරීමට බලධාරීන් විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත සිය විරෝධය පළ කර ඇත.

හෙද කාර්ය මණ්ඩලයේ මෙම වැටුප් හා දීමනා කප්පාදුව නතර කිරීමට කඩිනමින් කටයුතු නොකරන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග කරා යොමුවීමට සිය සංගමයට සිදුවන බවද හෙද සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඉකුත් 18 වැනිදා ලිපියක් යවමින් දැනුම් දී තිබේ. මෙම දීමනා කප්පාදුවත් සමග රටපුරා රෝහල් රැසක හෙද හෙදියන් පසුගිය දින කිහිපයකදීම සිය විරෝධය පළ කළහ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජාතික ව්‍යසනයක් වූ කොවිඩ් 19 වසංගතය සමග රටේ ඇති වූ තත්ත්වයට හෙද කාර්ය මණ්ඩලයේ සාමාන්‍යය රාජකාරී ක්‍රමය වෙනස් වෙලා. රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ අනුව හෙද සේවාවේ සතියේ සේවා කාලය ගණනය කිරීමේදී අනියම් නිවාඩු, විවේක නිවාඩු, රාජකාරී නිවාඩු සඳහා වන ගෙවීම් කොන්දේසි ඇතුළත් චක්‍ර ලේඛයට ආදාළව සියලු හෙද හෙදියන්ට ගෙවීම් කළ යුතුව තිබෙනවා. කෙසේ වෙතත් රටපුරා රෝහල් බොහෝමයක හෙද හෙදියන්ට ගෙවීම් කිරීමේදී චක්‍රලේඛයට පටහැනිව කටයුතු කර ඇති බවට වාර්තාවෙලා තියනවා. මේ පිළිබඳව චක්‍රලේඛයට අනුව කටයුතු කරන ලෙසට බලධාරීන්ට දැනුම් දුන්නත් තවමත් එම ගැටලුව විසඳී නැහැ. ඒ නිසා මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන්ට නොහැකි වුවහොත් ඉදිරියේදී ඇතිවිය හැකි අප්‍රසන්න තත්ත්වයන්ට අපිට මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදවත්ත

මෙම තත්ත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය ඇමතිනිය වෙත අපි දැනුම් දුන්නා. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ජා කිරීම සඳහා සාකච්ඡාවක් හෝ ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බව කනගාටුවෙන් වුණත් කියන්න ඕන. බොහෝ රෝහල්වල මුහුණු ආවරණයේ සිට අනිකුත් පෞද්ගලික ආරක්ෂක උපකරණද හෙද හෙදියන් තමන් විසින්ම සපයා ගනිමින්, පවතින ප්‍රවාහන දුෂ්කරතාද ඉවසා දරා ගනිමින් වගකීමකින් යුතුව රාජකාරී ඉටුකරමින් සිටින බව ඇතුළු සියලු බලධාරීන් විසින් දන්නා කරුණක්. එහෙත්  කොරෝනා වසංගතය හමුවේ රෝගීන්ට ඍජුවම සම්බන්ධ වෙමින් සේවය කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලයට එම වසංගතය පැතිරීමට පෙර ලබාදුන් වැටුප් හා දීමනා මෙම දිනවල නොයෙකුත් හේතු දක්වමින් කප්පාදු කිරීමට බලධාරීන් විසින් කටයුතු කර තිබීම අපි හෙළා දකිනවා.

 රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

පසුගිය  අප්‍රේල් මාසයේ අතිකාල සඳහා ගෙවීම්  හෙද හෙදියන් වෙත ලැබුණේ නැහැ. මේ වර්ෂයට ලැබිය යුතු වාර්ෂික වැටුප් වැඩිවීම තවමත් දීලා නැහැ. කොරෝනා වසංගතය ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ සැපයිය යුතු සෞඛ්‍යාරක්ෂක පහසුකම් නිසි ලෙස සම්පාදනය කෙරෙන්නේ නැහැ. දිනකට මුහුණු ආවරණ දෙකයි  දෙන්නේ. ඒවත් ප්‍රමිතියට සහ හෙද කාර්ය මණ්ඩලය අවශ්‍ය තරමට නැහැ. ඒ වගේම සමහර රෝහල්වල කාර්යය මණ්ඩලයට දෙන ප්‍රවාහන පහසුකම් මේ වනවිටත් අත්හිටුවලා තිබෙනවා. මේ සියලු ප්‍රශ්න මැද්දේ තමයි මේ හෙද හෙදියන් කටයුතු කරන්නේ. ඒ නිසා අපි සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණයෙන් යුතුව කියනවා මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න එහෙම නැති වුණොත් වෘත්තිය කියා මාර්ගයකට යන්න අපි පසුබට වෙන්නේ නැහැ.

 සටහන: හසිත් අංජන