2020 ජුනි 06 වන සෙනසුරාදා

මිහිඳු හිමි ගෙනා සසුන වනසන්නේ ඇතැම් භික්ෂූන්මයි

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 261

- හෑගොඩ විපස්සි හිමි

මහමෙව්නා උයන සංඝයාට පූජා කිරීමෙන් පසු මහින්ද ස්ථවිරගේ බුද්ධ ධර්මයෙහි පිළියෙළ කරවන්නට යුහුසුළුව ක්‍රියා කළාහුය. මතුකලදී මෙරට බෞද්ධ සභ්‍යත්වයෙහි හා සංස්කෘතියෙහි මහා කේන්ද්‍රස්ථානයද ථෙරවාදයෙහි බලකොටුවද මහා විහාරය බවට පෙරළුණේ මෙසේ මිහිඳු හිමියන් ආරම්භ කළ ස්ථානයයි. පසුකලෙක අනුරාධපුර ශුද්ධ නගරය හැටියට සැලකුණු පෙදෙසෙහි මුල් සැලැස්ම හා වින්‍යාසය කරන ලද්දේ මිහිඳු මාහිමි විසිනැයි සිතීමට වැදගත් හේතු ඇත. එසේ සඳහන් වන්නේ මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ලියූ ලක්දිව බුදු සමයේ ඉතිහාසය නම් කෘතියේය.

එසේ ලක්දිවට බුදු සමය රැගෙන ආවේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසීය ඉක්මවූ පසුවය. ඒ වනවිට භික්ෂු සමාජය විවිධ ආකාරයෙන් පරිහානියට පත්ව තිබුණි. පිළිවෙත් රැකීම අභාවයට ගොස් පැවතුණි. මේ නිසා ධර්මාශෝක රජ දවස මොග්ගලීපුත්තතිස්ස තෙරුණ්ගේ ප්‍රධානත්වයෙන් තුන්වන ධර්ම සංඝායනාව පවත්වා ධර්මය හා භික්ෂු පිළිවෙත් පාරිශුද්ධ තත්ත්වයට පත් කෙරිණි. එලෙස තුන්වැනි ධර්ම සංඝායනාවෙන් අනුමත වූ පරිශුද්ධ වූ බුදුදහමයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා මෙරටට රුගෙන ආවේ. ලක්දිවට පැමිණි උන්වහන්සේ දෙවන පෑතිස් රජුගේ බෑණා වූ අරිට්ඨ කුමරු පැවිදි කිරීමෙන් මෙරට භික්ෂු ශාසනය ආරම්භ විය. මෙසේ ආරම්භ වූ සංඝ පරම්පරාව සියවස් ගණනාවක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ධර්මය ආරක්ෂා කළහ.

අරිට්ඨ කුමරු සමඟ තවත් පනස්හතර නමක් එදා මුලින්ම පැවිදි වූහ. ධර්මදූත පිරිසද සමඟ මුළු භික්ෂු සංඛ්‍යාව හැටදෙනෙකි. උන්වහන්සේගේ වාසය සඳහා මිහින්තලේ ලෙන් හැටඅටක් සකස් විය. වංශකතා සාධක අනුව මිහිඳු මාහිමියන් මේ රටට පැමිණෙන විට වයස අවුරුදු 32කි. උන්වහන්සේ මහමෙව්නා උයන් පූජාව පිළිගත් පසුව අග්ගිඛන්දොපම සූත්‍රය දේශනා කළහ.

එම සූත්‍රය අද දවසටත් වටිනා දහම් සාගරයකි. භික්ෂුවක් තමන්ට දැනුමාදියෙන් සංග්‍රහ කරන දායකයන්ගේ යහපත සැලසෙන ආකාරයෙන්ද පරම සුවය වූ නිර්මාණය අත්කර ගන්නා ලෙසින්ද සිල්වත් දැහැමි ජීවිතයක් ගතකළ යුතු බව එහි සඳහන්ය. මහමෙව්නා උයන පූජාකර ටික දිනකින් දේවානම්පියතිස්ස රජු මිහිඳු හිමියන්ගෙන් නාහිමියනි, දැන් බුදු සසුන මෙහි පිහිටියේදැයි ඇසුවේය.
මහරජ, බුදුසසුන පිහිටියේ නමුත් මුල් බැසගෙන නැතැයි උන්වහන්සේ පිළිතුරු දුන්හ.
එසේ නම් මුල්බැස ගන්නේ කෙදිනකදැයි ඇසුවේය.

ලංකාවෙම දෙමාපියන්ගෙන් ලංකාවේම උපන් පුතකු ලංකාවේම පැවිදිව මෙහිදී විනය හදාරා මෙහිම විනය සංඝායනා කළවිට සසුන මුල්බැස ගත්තා වේ... යැයි මිහිඳු හිමියෝ පිළිතුරැ දුන්හ.
මහාවංශය සඳහන් කරන්නේ එදා අනුරාධපුරයේ රහතන් වහන්සේ සැටදහසක් සිටි බවය. විනයධාරීන් අතර මහා පදුම හා මහා සුමන යන හිමිවරැරු ඉදිරියෙන්ම සිටියහ. අගනුවරින් පිටත සිතුම්පව්ව, කරඹගල, හත්තිකුච්ඡි වැනි මහා ආරණ්‍යවල රහත් හිමිවරැ විසූ බව ඓතිහාසික කෘතිවල සඳහන්ය. එහෙත් අද සමාජයේද රහත් හිමිවරැ මෙන්ම බුදු වූ භික්ෂූන්ද සිටින බවට කතාපුවත් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරිණි. එවැනි පුද්ගලයන් පසුපස යන අනුගාමිකයන් පිරිසක්ද ඇතිවූහ. මේ නිසා සිදුවන්නේ වසර පන්දහසක් කල් පවතින බව පැවසෙන සම්බුද්ධ ශාසනය තව කෙටි කලකින්ම පරිහානියට පත්වීමයි. බුදුදහම අප රටට ලැබුණු පොසොන් සමයේ මේ පිළිබඳව ගැඹුරින් සිතා බැලීම අවශ්‍ය වේ.
දීඝ නිකායේ චූල ශීල, මධ්‍යම ශීල, මහා ශීල ගැන සඳහන්ය. විශුද්ධි මාර්ගයේ ශීල නිර්දේශයක්ම තිබේ. එහෙත් එලෙස සිල් රකින භික්ෂූන් වහන්සේ අද සමාජයේ සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා දුෂ්කරය.
බුදුදහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පසුගියදා ජනාධිපතිවරයා හමුවූ බෞද්ධ උපදේශක සභාවේ නාහිමිවරුද පවසා සිටියහ. 
බුදුදහමට නිගාකරන ඇතැම් කටයුතු ගැන රත්මලාන ධර්ම පර්යේෂණාල අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි නාහිමියන්ගෙන් අපි විමසුවෙමු.

&මේ වනවිට අපේ රටේ බුදුදහම ස්ථාපනය කරලා වර්ෂ 2328ක් පමණ වෙනවා. බුදුදහමේ පැමිණීමත් සමඟම ශ්‍රී ලංකාවේ භෞතික හා අධ්‍යාත්මික සියලුම දේ ගොඩනැගුණා. සියලු කෙලෙස් ප්‍රහීණ කළ උතුමන් වහන්සේ රහත්භාවයට පත්වුණා. ඒ වගේම බුද්ධධර්මය රටපුරා ව්‍යාප්ත වුණා. වැව් අමුණු, කලාව, සංස්කෘතිය දියුණු වී ගියා. ථෙරවාද බුදුදහම පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ඉතා දියුණු සංස්කෘතියක් බිහිවුණා.

මේ තත්ත්වය විටින් විට බිඳ වැටුණත් යළිත් නැගී සිටියා. නමුත් මේ වනවිට මිහිඳු මාහිමියන්ගෙන් ලැබුණු ථෙරවාද බුද්ධ ධර්මය විශාල බිඳ වැටීමකට ලක්වෙලා. බටහිර ජාතීන්ගේ යටත්විජිත කාලයේත්, ඉන්පසුවත් බුදුදහම විනාශ කිරීමට උත්සාහ කළා. නමුත් තවමත් ථෙරීය සම්ප්‍රදාය ආරක්ෂා වී පවතිනවා. මෑත කාලයේ බුද්ධ ශාසනයෙන්ම බුදුදහම විනාශ කිරීමේ ඇතැම් ප්‍රතිරූප ගොඩනැගිලි තිබෙනවා. බුදුවුණා, සෝවාන් වුණා, සකෘදාගාමී වුණා කියමින් උඩින් බිමින් යන්න හදනවා. විවිධ විච්චූර්ණවලින් පිරිලා. මේක මහා විනාශයක්. බුදුන් වහන්සේ දේශනා කළා බුද්ධ ශාසනය විනාශ කරන්නේ ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියාකලාප කියලා.

බුදුන් වහන්සේගේ උපත සිදුවූයේ නේපාලයට අයත් ලුම්බිණියේ බව ලෝකයම පිළිගත් පුරාවිද්‍යාත්මක සාධක සහිත කරුණකි. එහෙත් තවත් පිරිසක් එම කරුණු යටපත් කරමින් බුදුන් උපන් දේශය ලංකාව බවට මත පළකරමින් පොත්පත් ලියමින් සිටිති. ඒ පිළිබඳව පැවසූ හෑගොඩ විපස්සි හිමියෝ මෙසේ පැවසූහ.

බුදුන්වහන්සේගේ ජන්ම භූමියත් උන්වහන්සේට අහිමි කළ රටක ඉන්න සිදුවීම ගැන අපට කනගාටුයි. ථෙරවාදී බුදුදහමට එලෙස සිදුවන විවිධ අකටයුතුකම් අපට නැති කිරීමට පුළුවන්. නමුත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවක් පේන්නේ නෑ. මේ පොසොන් කාලයේදීවත් ඒ ගැන විමසා බැලීම අත්‍යවශ්‍යයි. මිනිසා විවිධ ආකාරයෙන් බුදුදහමින් ඈත් කරන ආකාරයක් තමයි තිබෙන්නේ. බෞද්ධ කල්ලිවාදයක් තිබෙනවා. අබෞද්ධ කල්ලිවාද තිබෙනවා. මේ අය තමයි මේ දේවල් කරන්නේ. ත්‍රිපිටකයේ තිබෙන සූත්‍ර ධර්ම අනුව මේ රට ගොඩනැගූ විට බුදුදහම සුරක්ෂිත වූ විට සියලු ජාති හා ආගම්වලට ආරක්ෂාව ලැබෙනවා. ඒක කළයුතු දෙයක්. ත්‍රෛනිකායික හාමුදුරුවරු බුදුදහමට වන හානි වැළැක්වීමට එක්වීම අවශ්‍යයි.

කුසුම්සිරි විජයවර්ධන