වසර තිහකට අධික කාලයක් එංගලන්තයේ ජීවත් වුවද ධම්මික පතිරගේ ශ්‍රී ලාංකීකයෙකි. එංගලන්තයේ ලන්ඩන්හි Dammika’s Sri Lankan restaurant නමින් අපේකමට ආවේණික වුණ දේශීය ආහාරපාන පිසින අවන්හලක් පවත්වාගෙන යන ධම්මික ලන්ඩන් නගරයේ සාර්ථක ව්‍යාපාරිකයෙකි. එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේද පැසසුමට ලක්වුණ ඔහුගේ අවන්හලට සෑම දිනක්ම ඉතා කාර්යබහුල දිනයක් වී තිබිණි. මෙම අවන්හලේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් පිසින දේශීය ආහාරවලට විදේශිකයන්ගෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ලැබිණි.
කොවිඩ්-19 වසංගතය රටවල් බොහෝමයකට ව්‍යාප්ත වීමත් සමඟම එංගලන්තයටද එහි බලපෑම් ඇතිවිය. ආසාදිතයන් විශාල ප්‍රමාණයක් එංගලන්තයෙන් වාර්තාවීමත් සමඟ ජනතාව මහමඟ ඇවිද ගියේ ඉතා අඩුවෙනි. සෑම අවන්හලක්ම පාහේ වසා දැමීමත් සමඟ ධම්මිකගේ අවන්හලද තාවකාලිකව වසා දැමීමට සිදුවිය. නමුත් සෑම දිනකම තම අවන්හලට පැමිණ ශ්‍රී ලාංකික ආහාරවල රස විඳි තම පාරිභෝගිකයින් අමතක කර දමන්නට ධම්මිකගේ හිත ඉඩ දුන්නේ නැත. අවන්හලේ එකල සිටි සේවකයන් කිහිපදෙනකු එකතු කරගත් ඔහු සුපුරුදු පරිදි අවන්හලේ සිට ආහාර පිසුවේය. වෙනදා මෙන් අවන්හලේ අසුන්ගෙන වයින් වීදුරුවක් සමඟ නිවීසැනසිල්ලේ ධම්මිකගේ කොත්තුවේ රස විඳින්නට අමුත්තන්ට අවස්ථාව ලැබුණේ නැත. ඒ වෙනුවට ධම්මික තම අවන්හල ඉදිරිපිට ඔවුන් පිසූ ආහාර පාර්සල් කොට මහමඟ ගමන් ගන්නා ජනතාවට නොමිලේ බෙදා හැරියේය.
අපි සතියක් විතර කෑම පාර්සල් නොමිලේ බෙදාහැරියා. කොහොමටත් අපේ අවන්හලට දවසකට විශාල ප්‍රමාණයක් එනවා. බොහෝ අය වික්ටෝරියා එක ළඟම නිසා මේ අවන්හලට එන්න කැමැතියි. නිතරම අපේ අවන්හලට එන පිරිසක් ඉන්නවා. කොවිඩ්-19 වසංගතයත් එක්ක අපිට මේ හැමදේම තාවකාලිකව වසා දමන්න සිද්ධ වුණා. මේ වනවිටත් මේ අවන්හලට ඇවිත් සුපුරැදු පරිදි ආහාරපාන ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් අපිට අවශ්‍ය පරිදි ලබාදෙන ඇණවුම්වලට අනුව ගෙවල්වලට ඩිලිවරි කරන්න විතරයි පුළුවන් වෙන්නේ. මේ හැම ආහාරපානයක්ම අපි පිසින්නේ සෞඛ්‍යාරක්ෂිතවයි. යැයි ධම්මික දේශයට පැවසීය.
දින ගණනාවක් නොමිලේ ලබාදුන් මෙම ආහාර පාර්සල් ලබාගන්නට එංගලන්තයේ වෙසෙන පිරිස් ලංකාවේ මෙන් පොරකෑවේ නැත. මහාමාර්ගයේ ගමන් කරන ඇතැමුන්ගේ ළඟටම ගොස් ආහාර ලබාදීමට පවා ධම්මික ඇතුළු පිරිස කාරුණික වූහ. ශ්‍රී ලාංකිකයකුගෙන් නොමිලේ බත් පාර්සලයක් ලබාගන්නා සුදු ජාතිකයන්ගේ මුවඟේ රැඳුණේ අපූරු සිනහවකි. ඔවුහු සෑම මොහොතකම මේ අපූරැ කටයුත්ත අගේ කළහ. Dammika’s Sri Lankan restaurant” සුදු ජාතිකයන්ගේද පැසසුමට ලක්වුණු අවන්හලකි. බොහෝ සුදු ජාතිකයෝ මොවුන්ගේ කිරිහොද්දත් සමඟ ඉඳිආප්ප කෑමට ප්‍රියතාවයක් දැක්වූහ. එමෙන්ම දේශීය කුළුබඩු මිශ්‍රිතව තැනූ වම්බටු මෝජුව, පොල් සම්බෝලයට ආසා කළහ. මේ අතරින් එංගලන්තයට ගොස් රුකියා කරන, ඉගෙනුම ලබන ශ්‍රී ලාංකිකයන් Dammika’s Sri Lankan restaurant” වෙතට ගොඩවන්නේ අවන්හලේ කොත්තු රොටිය කෑමටය. මෙම අවන්හලේ කොත්තු රොටියට ඇත්තේ විශාල ඉල්ලුමකි.
අපි හදන කොත්තු රොටියට ශ්‍රී ලංකාවෙන් පැමිණි අපේ මිනිස්සු හරි ආසයි. ඒක පුදුමාකාර රසක්. සමහරු එංගලන්තයට ආවාම අපේ අවන්හල හොයාගෙන එනවා. මේක ලංකාවේ මුදලත් එක්ක බලද්දි ටිකක් ගණන්. මට තාම මතකයි දවසක් සිදුවුණු සිදුවීමක්. අවන්හලේ නිතරම මිනිසුන් ඉන්නවා. දවසක් මම කාර්යාලයේ සිට අවන්හලට එද්දී පිරිමි ළමයි තුන්දෙනෙක් එක කොත්තු රොටියක් ඕඩර් කරගෙන බෙදාගෙන කනව මම දැක්කා. ඒ ළමයි ලංකාවේ දරැවන් කියලා මට තේරුණා. මම ළඟට ගිහින් ඔවුන් එක්ක කතා කළා. ඉගෙනගන්න එංගලන්තයට ඒ මෑතකදී ආපු ඒ දරුවන් වෙනුවෙන් මම තවත් කොත්තු රොටී දෙකක් ලබා දුන්නා. ඉගෙනගන්න එංගලන්තයට ආපු බොහෝ ශ්‍රී ලාංකිකයන් අපේ අවන්හලට එනවා. සමහරුන්ට කෑම කන්න මුදල් නැහැ. ඇත්තටම ගොඩක් හොඳ රටක්. ශ්‍රී ලංකාවට ආදරේ කරන සුදු ජාතිකයෝ බොහෝමයක් එංගලන්තයේ ජීවත් වෙනවා. ඔවුන් හරිම කරැණාවන්තයි. යැයි ධම්මික පවසයි.
කොරෝනා වසංගතය එංගලන්තයේ පැතිර යද්දී ආසාදිතයන් රෝහල්ගත වෙද්දී රෝගීන් මියයද්දී, ධම්මික වැනි ශ්‍රී ලාංකිකයන්ටද එය තදින්ම දැනුණි. නමුත් ඔවුන් සියල්ලෝම උපරිමයෙන්ම පරිස්සම්වන්න උත්සාහ ගත්හ. මුඛ ආවරණ, අත්වැසුම් පමණක් නොව ඔවුහු සෑම මොහොතකම විෂබීජ නාශක දියර ළඟ තබාගත්හ. වසර ගණනාවකට අධික කාලයක් එංගලන්තයේ ජීවත් වුවද ඔවුන්ට තමන්ගේ නිවසට යාබද අසල්වැසියන් පිළිබඳ ලොකු වැටහීමක් නැත. මේ නිසාම තමන්ගේ නිවසට යාබද නිවසේ කෙනෙකුට කොවිඩ් ඇතිවී ඇත්දැයි ඔවුන් දන්නේ නැත. හදිසි ගිලන් රථයක් එන සංඥා නාදය ඇසුණද එය ඔවුන්ට ගාණක් නැත. එයට ප්‍රධානම හේතුව වන්නේ සාමාන්‍ය අසනීප තත්ත්වයක් ඇතිවූ විට පවා එංගලන්ත වැසියන් ගිලන් රථයක් ගෙන්වීම සාමාන්‍ය සිද්ධියක් වීමයි.
නමුත් ශ්‍රී ලාංකිකයන් තුළ තවමත් අපේකම ඇත. කෙනෙකුගේ දුක දැනෙන ඒ ලෙන්ගතු හදවත තවමත් එරට ජීවත් වුවද ඔවුන්ට ඇත. එංගලන්තයට ගිය ගමනින් සිංහලකම, අපේකම මෙන්ම මව් භාෂාව අමතක වෙන ඇතැමුන් අතරේ වසර ගණනාවක් එංගලන්තයේ ජීවත් වුවද තවමත් අපේකම, සිංහලකම මව්භාෂාව අමතක නොවුණ ධම්මිකලා වැනි ඕනෑතරම් ශ්‍රී ලාංකිකයෝ එංගලන්තයේ ජීවත් වෙති.
කොවිඩ් වසංගතය එංගලන්තයේ ව්‍යාප්ත වීමත් සමඟ තමන්ට හැකි අයුරින් ඔවුන් ආහාර පාර්සල් නොමිලේ බෙදාහැරියේද ඒ මනුස්සකම් නිසාමය. කෙනෙකුගේ දුක දැනෙන ශ්‍රී ලාංකික හදවත් ඇති මිනිසුන් ලොව පුරා ඕනෑතරම්ය. ඒ අතරේ ශ්‍රී ලංකාවේ ළමා කාලයේ ජීවත්වුණ වර්තමානයේදී එංගලන්තයේ ජීවත්වන වැඩිහිටි සුදු ජාතිකයින් බොහෝමයක් දෙනා අදටත් අපේ රටට ආදරේ කරති.
එක්දාස් නවසිය හතළිස් ගණන්වල ශ්‍රී ලංකාවේ ජීවත්වුණු සුදු ජාතිකයන් තවමත් එංගලන්තයේ ජීවත් වෙනවා. අපේ අවන්හලට ඒ අය ඇවිත් ශ්‍රී ලංකාව ගැන අපිත් එක්ක කතා කරන්නේ හරිම ආසාවෙන්. කොහොමටත් එංගලන්තයේ ජීවත්වන සුදු ජාතිකයන් අදටත් අපේ රටට ආදරෙයි. අපේ රටේ මිනිස්සුන්ට ආදරෙයි. ඒ නිසාම තමයි ඒ බොහෝදෙනා අපේ කෑමවලට අය කරන්නේ... සමහර සුදු ජාතිකයන් අපේ මිරිස් රසට හරි ආසයි. යැයි ධම්මික පවසන්නේය.
එංගලන්තයේ බොහෝ දෑ මිලෙන් අධිකය. ධම්මික පවත්වාගෙන යනු ලබන Dammika’s Sri Lankan restaurant” අවන්හලෙහි කුලිය හා අලුත්වැඩියා කටයුතු සඳහා වසරකට පවුම් හැත්තෑපන්දහසක් පමණ වියදම් වන බව ඔහු කියයි. එය ලංකා මුදලින් ඉතා විශාල මුදලකි. එංගලන්තයේ විකුණනු ලබන ආහාර පානවලට අනුව ධම්මිකගේ අවන්හලේ පිසින කොත්තු රොටියක මිල පවුම් දාහතරකි. ලංකා මුදලින් ගත්කළ එය ලංකාවට මිල අධික බවත් දැනුණද එංගලන්තයේ ආහාරපාන අනුව ගත්කළ එය සාමාන්‍ය මිලකි.
කෙසේ වුවද අපේකම එංගලන්තයට ගෙන ගිය අපේ රස එංගලන්තයේ සුදු ජාතිකයන්ට ලබාදෙන Dammika’s Sri Lankan restaurant” ගොඩනොවැදුණු එංගලන්තයේ ලන්ඩන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු නොවන තරම්ය. ඒ තරමටම ධම්මිකගේ අවන්හල එරට ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම සුදු ජාතිකයන්ට හොඳහැටි හුරුපුරුදුය.
දිශානි ජයමාලි කරුණාරත්න