2020 ජුනි 06 වන සෙනසුරාදා

රුපියල් හාරසීයක් නිසා සංස්ථාව දොර වැහුවා... - ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 347

ඇයගෙන් තොර සිංහල සිනමාවක් ගැන අපට කතා කළ හැකිද? ඇයගෙන් තොර නිළි රැජනක් ගැන අපට සිතා ගත හැකිද?

පසුගියදා 73 වන වියට පාතැබූ සිංහල සිනමාව පෝෂණය කිරීම සඳහා ඇය වසර 52ක්ම සිය ශ්‍රමය හා ජීවිතය පුදකර ඇත.

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා. සිංහල සිනමාව යනු ඇයය. ඇය යනු සිංහල සිනමාවය. සිනමාව ඇගේ ජීවිතය විය. අදටත් එය එසේමය. 

මාලිනී ෆොන්සේකා නම්වූ අග්‍රගණ්‍ය, ජාත්‍යන්තර කීර්තියට පත්, සම්මානනීය රංගනවේදිනිය පිළිබඳව පසුගිය දින කීපය තුළ සිනමා ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් බාහිරවත් පැතිර ගිය එක්තරා කතාවක ඇත්ත නැත්ත, සුල මුල අසා දැන ගැනීම සඳහා අපි කෙළින්ම ඇයටම කතා කළෙමු.

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ ධූරයක් භාරගන්නා ලෙස ඇයට ඇත්තටම ආරාධනාවක් ලැබුණාද? එම ආරාධනාවට ඇය ප්‍රතිචාර දැක්වූයේ කෙලෙසද? ඇයට එම තනතුර අහිමි කිරීම සඳහා යම් අදිසි හස්තයක් ක්‍රියා කළේ නම් එහි යටි අරමුණ කුමක් විය හැකිද? මාලිනී ඇත්තටම සිනමාව දක්වන ආදරය කොතරම් ප්‍රබල එකක්ද? සිංහල සිනමාවට ආදරේ කරන, මාලිනී ෆොන්සේකාට ආදරේ කරන කවුරුත් මේ කතාව දැනගත යුතුම කතාවකි. ඇතැම් විට මේ කතාව හෙට දවසේ ඔබේ කතාව විය හැක. අපේ කතාව විය හැක.

ඇත්තටම ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔබට ආරාධනාවක් ලැබුණාද?

මෙවර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා පත්වුණාම, ඔහු කිව්වා මට සහ රවී (රවීන්ද්‍ර රන්දෙනිය) අධ්‍යක්ෂ මණ්ඩලේ හිටියොත් ඔහුට වැඩ කටයුතු කරන්න පහසු වෙයි  කියලා. ඒ නිසා අපි දෙන්නට ආරාධනා කළා අධ්‍යක්ෂ මණ්ඩලේට බැඳෙන්න. මම නම් හිටියෙ තනතුරු භාරගන්නෙ නැහැ කියන තැන. නමුත් මගේ කර්මාන්තය වෙනුවෙන් ඒ අධ්‍යක්ෂ මණ්ඩලේ ඉන්න එක හොඳයි කියලා හිතිලා මම මුලින්ම එකඟ වුණා. හැබැයි ඊට පස්සෙ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඉස්මතු වෙන බව මට තේරැණා. ඇත්තටම මම අධ්‍යක්ෂ මණ්ඩලේ නොහිටියට, සිනමාවෙ සුභසිද්ධිය වෙනුවෙන් කෙරෙන හැම වැඩකම මම අනිවාර්යෙන්ම ඔබ එක්ක ඉන්න බව මම මුලින්ම ජයන්ත මහතාට කිව්වා. අධ්‍යක්ෂ මණ්ඩලේ සාමාජිකාවක් වුණත් නැතත් මම ඒ පොරොන්දුව ඔහු දීලා තිබුණෙ. අධ්‍යක්ෂ තනතුරක් ලබාගැනීමේ කිසිම කැමැත්තක් නැති බව මම ජයන්තට පැහැදිලිවම කිව්වා. ඒත් ඔහු කිව්වා මායි රවීයි ඉන්න එක ඔහුට ලොකු ශක්තියක් වෙනවා කියලා. මට ආරංචි වුණා ජයන්ත ධර්මදාස මහතා අමාත්‍යංශ ලේකම්තුමට අපි දෙන්නා අධ්‍යක්ෂ මණ්ඩලේට පත්කරන්න යෝජනා කරලා ලියුම් දෙකක් යවපු බව. ඊටත් පස්සෙ මට ආරංචි වුණා චිත්‍රපට සංස්ථාටව අලුතින් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරපු විත්තිය.

එතකොට ඔබට පත්වීම ලැබුණෙ නැහැ?

චිත්‍රපට සංස්ථාවේ සභාපතිගේ මා පිළිබඳ ඉල්ලීමට අමාත්‍යංශ ලේකම් දන්වා තිබෙන්නෙ මා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරන්න බැරි ගැටලුවක් තිබෙන බවය. සංස්ථාව ඇතුළෙන්ම සභාපති ජයන්ත මහතා දැනුවත් නොකර තමයි ලේකම් තුමාට දන්වලා තියෙන්නෙ සංස්ථාවට අය විය යුතු මගේ හිඟ මුදලක් තිබෙන බව.

මොකක්ද මේ හිඟ මුදල් කතාව?

මීට අවුරුදු ගාණකට උඩදී තිස්ස අබේසේකර මහතා සංස්ථා සභාපති ලෙස කටයුතු කරපු කාලෙ සිනමා කර්මාන්තයේ අත්දැකීම් ඇති අයට රුපියල් මිලියන 8 ක ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අපේ සිනමා ක්ෂේත්‍රයේ ලෙස්ටර් මහතා, රෝයි ද සිල්වා, ජයන්ත චන්ද්‍රසිරි වැනි අයත් මේ ණය මුදල ලබාගෙන තියනවා. අවසානයෙදි තමයි මටයි රෝයිටයි මේක දුන්නෙ. මේ මුදල් ලබාගත් අයගෙ සමහර අයගෙ ණය කැපුණා. සමහර අයගෙ කැපුණෙ නැහැ. ඒ ව්‍යාපෘතියෙ පළවෙනි පියවර හැටියට අපි පිටපත භාරදුන්නම අපට රුපියල් ලක්ෂ 2.5 ක මුදලක් ලබාදුන්නා මූලික වැඩ කටයුතු කරගෙන යන්න. මාත් පිටපත භාර දීලා රු. ලක්ෂ 2.5 ක මුදල ලබාගත්තා. ඒත් ඉන් පස්සෙ රජය වෙනස් වුණාට පස්සෙ ඒ ව්‍යාපෘතියත් නතර වුණා. අපිට කිසිම දැනුම් දීමක් කළේ නැහැ. ලක්ෂ 2.5 ට අදාළ වැඩකටයුතු අපි කළා. සමහරු ඒ චිත්‍රපට කළා, සමහරැ ඒවා තිරගත කළා. සමහරුන්ගෙ ණය මුදල් තාම පියවලා නැති බවත් අපි දන්නවා. 

මේ වගේ කාලයක් ගෙවිලා ගියා. ඒත් මේ වෙලාවෙ මාව අධ්‍යක්ෂ මණ්ඩලේට පත්කරන්න යෝජනා වෙනකොට මේ ප්‍රශ්නය ඉස්මතු වුණේ කොහොමද?

දැන් රු. ලක්ෂ 2.5½ට පොලියක් එකතු කරලා මම සංස්ථාවට රැ. ලක්ෂ 3.7 ගණනක් ණයයි කියලා තියෙන්නෙ. එතකොට මේ ණය ලබාගත්තු පාලිත සිල්වාගෙන් මේ ගැන හොයලා බැලුවා. එයා කිව්වේ පිස්සුද අක්කෙ. ඒ ව්‍යාපෘතියෙන් අපටනෙ ලොකු අසාධාරණයක් වුණේ. අපට ස්ක්‍රිප්ට් එකත් නැති වුණා. හරි නම් ඒ ගොල්ලො තමයි අපිට වන්දි ගෙවන්න ඕනෙ කියලා.

මේ හිඟ මුදල ගැන දැනගන්නකොට මම විදෙස් රටකට යන්න ලෑස්ති වෙලා හිටියෙ. මම කෙනෙක් අතේ ඒ තුන් ලක්ෂ හැත්තෑ ගණන සංස්ථාවට යැව්වා. චිත්‍රපට සංස්ථා මුදල් අංශය ඒ මුදල භාරගත්තා. ඊට පස්සෙ කිසිම ආරංචියක් නැහැ. පස්සෙ මට දැනගන්න ලැබුණා සභාපතිතුමාට කියලා තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් හින්දා මාව පත් කරන්න බැරි බව.

ඒ තීරණය ගැන ඔබ දුක් වුණාද?

අවංකව කිව්වොත් මට ඒක කිසිම විදිහකින්, එක අබමල් රේණුවක තරම්වත් ගැටලුවක් වුණේ නැහැ. මට ඒක දැනුනෙවත් නැහැ. ඒක සිදු නොවුණ එක හොඳයි කියලයි මම සතුටු වුණේ.

නමුත් මට තිබුණ ප්‍රශ්නය තමයි අවුරුදු ගාණකට කලින් සිදුවුණු මේ ව්‍යාපෘතිය ගැන ගැටලු මතුකරන්න උවමනා වුණේ කාටද කියන එක. මම හිතින් හිතට ගත්තා මේක සිද්ධ වෙලා ඇත්තෙ මේ මේ හේතු හින්දයි කියන එක.

අපේ සිනමාව වෙනුවෙන් ඔබේ තිබෙන බැඳීමට හා ආදරයට මේ නිසා බලපෑමක් ඇති වේවිද?

කිසිම විදිහකින් එහෙම වෙන්නෙ නැහැ. ජයන්ත ධර්මදාස මහතාට මගේ තියෙන ගෞරවය වගේම එතුමාට අපේ සිනමා කර්මාන්තය වෙනුවෙන් තියෙන කැමැත්ත, කැක්කුම හා උවමනාව මම හොඳින් දන්න නිසා මම හැමදාව සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සංස්ථාව පැත්තෙ ඉඳගෙන කළ හැකි හැම දෙයක්ම කරනවා.

මේ අතරතුර ඔබ සංස්ථාවට රු. 400 ක් ණයයි කියලා කතාවකුත් පැතිරුණා නේද?

මම කියවපු මුදල් වලට අමතරව රු. 400 ක් මම ණයයිලු. මමත් ඒක දැනගත්තෙ පත්තරේ ඒ ප්‍රවෘත්තිය දැක්ක කෙනෙක්ගෙන්.

මෙගෙන් මේ විදිහට අසාධාරණව මුදල් ලබාගත්තු එකට විරුද්ධව මම සංස්ථාවට ලියුමක් ලියනවා.

ඔබ හැමදාම ජාතික චිත්‍රපට සංස්ථාවට ආදරය කළ කෙනෙක්?

චිත්‍රපට සංස්ථාවේ තියෙන්නෙ ඔය ඇතුළෙ ඉන්න කාගෙවත් බූදලයක් නෙවෙයි. මම ජීවත් වුණේ, හැදුනෙ, වැඩුනෙ මේ සිනමා කර්මාන්තය නිසා. අද මට කතා කරන්න මේ හයිය ලැබුනෙත් මේ කර්මාන්තය නිසා. අපි මේක ඔළුව උඩ තියාගෙන ජීවිත කාලෙම දුක් විඳනවා. සංස්ථාවෙ ඇතුළෙ ඉන්න සමහරැ වගේ හවසට ෆයිල් ලාච්චුවලට දාලා ගෙදර යන්න අපිට බැහැ.

එක්තරා කාලෙක චිත්‍රපට සංස්ථාවෙන් ඇති වැඩක් නැහැ, ඒක වහන්න ඕනෙ කිව්වාම ඔබ ඊට දැඩි ලෙස විරුද්ධ වුණ කෙනෙක්?

ඒ වෙලාවෙ මම කිව්වා චිත්‍රපට සංස්ථාව වැහුවොත් මම ගිනි තියාගන්නවා කියලා. දැන් ඇත්තටම ඒ ගැන හිතෙද්දි මට ලැජ්ජ හිතෙනවා. මේ මිනිස්සුද මම ආරක්ෂා කළේ කියලා.

කාලෙන් කාලෙට අපේ සිනමා කර්මාන්තයේ විවිධාකාර අර්බුද මතුවුණා. ඒවාට විසඳුම් හොයන්න ඔබත් දායක වුණා?

ඔව් මේ කර්මාන්තයේ ප්‍රශ්නවලට අපි හැමදාම මුහුණ දෙමින් ඉන්නවා. ඒ ප්‍රශ්න විසඳන්න අපි හැමදාම උත්සහ කළා. සෑම රජයක් එක්කම කතා කළා. සමහර අවස්ථාවල අපේ ප්‍රශ්න විසඳුනා, නැත්තෙ නැහැ. අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ කාලය තුළ ආදායම් බදු සහන, ණය සහන, වාහන සඳහා ණය මුදලක් ලැබුණා. ඊට පස්සෙ ආපු රජය ඒ සියල්ල නැතිකළා. හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගෙන් පස්සෙ කලාකරැවන්ට කියලා දෙයක් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් බව අපි පක්ෂ පාට භේදයකින් තොරව පිළිගන්න ඕනෙ.

මිනිස්සු සමහර දේවල් විවේචනය කරයි, අඩු පාඩු හොයයි ඒවා අපිට නවත්වන්න බැහැ. 

මේ රටට  කලාව තුළින් ජාත්‍යන්තර කීර්තියට පත්වුණේ සිනමාව නිසා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා ඇතුළු බොහෝ දෙනෙකු අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් ලබාදී තිබෙනවා. ඒ ගොඩට මාත් එකතු වුණා.

සංස්ථාවෙ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔබට නැවතත් ආරාධනා කළොත්?

මම එවැනි ආරාධනාවක් භාරගන්න එකක් නැහැ. එළියෙ ඉඳලා සභාපති ජයන්ත ධර්මදාස මහතාට හැකි හැම උදව්වක්ම කරන්න මම ලෑස්තියි. ඒක මට කරන්න පුලුවන් කියලා විශ්වාසයකුත් තියෙනවා.

 රමේෂ් උවයිස්