කොවිඩ් - 19 වසංගතයත් සමඟ වසා දැමූ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන (ජිම්) ඉතා ඉක්මනින් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී. දිවයින පුරා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන පන්දහසක් පමණ පවත්වාගෙන යන අතර කොවිඩ් වසංගතයත් සමඟ ඒ සියල්ලටම සිදුවූයේ ඉබි යතුරැ දමා වසා දැමීමටය.
මේ නිසාම දිනපතා ශාරීරික ව්‍යායාම් කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ බොහෝ දෙනකු තම ශාරීරික ව්‍යායාම් කිරීමට මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි වීමෙන් පසුවූයේ බොහෝ කනස්සල්ලෙනි. ඇතැමුන් තම නිවසේ සිට යම් තරමට හෝ ව්‍යායාම්වල නිරත වූ අතර තවත් පිරිසක් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන නැවත විවෘත වනතෙක් බලා සිටියහ.
සෞඛ්‍ය අමාත්‍යංශයත් සමඟ අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. අපි යෝජනා කළ කරැණු සමඟම සෞඛ්‍ය අමාත්‍යංශයත් යම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ අනුව කඩිනමින් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන විවෘත කරන්නට පුළුවන් වේවි.
යැයි ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන උපදේශකවරැන්ගේ සභාවේ සභාපති සුදත් ගෝඨාභය දේශයට පැවසීය.
මේ අනුව ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන සහ කායවර්ධන පුහුණු මධ්‍යස්ථාන විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් සහ උපදෙස් මාලාවක් ද සඳහන් වේ. මේ අනුව ප්‍රධානම උපදෙස වන්නේ මුඛ ආවරණ පැළඳීමයි.
මධ්‍යස්ථානයට ඇතුළු වනවිට හා එහි රුඳී සිටින සෑම මොහොතකම මුඛ ආවරණය පැළඳීමත්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමත් ඉතා වැදගත් වේ.
ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන හිමිකරැවන් සඳහා ද විශේෂිත වූ උපදෙස් මාලාවක් සඳහන් වේ.
ආයතනය තුළට පැමිණෙන අයගේ ශාරීරික උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්ව මාපකයක් තිබීමත් මධ්‍යස්ථානයට ඇතුළු වන සියලුදෙනාගේම උෂ්ණත්වය මැන ඔවුන් මුඛ ආවරණයක් පැළඳ සිටීමත් අනිවාර්ය වේ. කිසිම මොහොතක මුඛ ආවරණයක් නැති කිසිවකු ආයතනය තුළට ඇතුළු කර නොගැනීමට වගබලා ගත යුතු වෙයි. ආයතනය තුළට ඇතුළු වීමට පෙර විෂබීජනාශක දියරයක් යොදා අත් සෝදා ගන්නට ඉඩ සලසා තැබීම අනිවාර්ය වේ. එමෙන්ම මධ්‍යස්ථානය ඇතුළත ද විෂබීජ නාශක තැබීමත් කළ යුතු වේ. බොහෝ සේවා මධ්‍යස්ථානවල ඉතා විශාල සේවක පිරිසක් රාජකාරි කළද උපදේශකත්වය ලබා දුන්නද නැවත විවෘත වන ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානවල අත්‍යවශ්‍ය සේවක පිරිසක් පමණක් යෙදවිය යුතු වේ.
ආයතනය තුළ පවතින සියලුම ව්‍යායාම් උපකරණ සමාජ දුරස්ථ බව පවත්වා ගැනීමට හැකි වන ලෙසින් මීටරයක දුරකින් ස්ථාපිත කළ යුතු වේ. මේ නිසා නැවත විවෘත කරලීමට පළමුව සෑම මධ්‍යස්ථානයක්ම මේ පිළිබඳව සැලකිලිමත් වී ව්‍යායාම් උපකරණ මීටරයක දුර සහිතව ස්ථාපිත කළ යුතු වෙයි. ව්‍යායාම් උපකරණ භාවිතා කරන්නන්ගේ මුහුණට මුහුණ සිටින සේ ව්‍යායාම් උපකරණ ස්ථාපිත නොකරන්නට වගබලාගත යුතුය.
එක් වෙලාවකට ගෙන්වා ගත යුත්තේ අවම පිරිසකි. මේ සඳහා ඔවුන් සියලු දෙනාම වෙන්කරවා ගත් දිනයක් හා කාලයක් ලබාදිය යුතුය. ව්‍යායාම් කිරීමේදී ව්‍යායාම් උපකරණ වැඩි පිරිසකට ලබාදීමෙන් වැළකිය යුතුය. මධ්‍යස්ථානයට එන සියල්ලන්ගේම නම, ලිපිනය, දුරකථන අංකය සහිත නම ලියාපදිංචි කර වාර්තාවක් ලබාගත යුතු අතර ආයතනය භාවිතා කරන පිරිස අවම කරගැනීම පිණිස කලින් වෙලාව වෙන්කරගැනීමට යොමුකිරීම සහ පාලන ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ.
යෝග්‍යතා මධ්‍යස්ථානයේ සියලු උපකරණ වරින් වර විෂබීජහරණය සඳහා විෂබීජ නාශක යෙදුම් දියර භාවිතයෙන් පිරිසිදු කළ යුතු අතර මධ්‍යස්ථානයේ ඇති දොර අඟුළු ආදිය නිතරම පිරිසිදු කර තැබීම කළ යුතුය. මධ්‍යස්ථානය පරිහරණය කරනු ලබන ඇඳුම් මාරැ කරනු ලබන කාමර, වැසිකිලි, නාන කාමර ආදිය ක්‍රමවත්ව පිරිසිදුව පවත්වාගෙන යා යුතු අතර පාරිභෝගිකයන්ට හා මධ්‍යස්ථානයේ සේවකයන්ට වෙන් වෙන්වුණු කාමර තිබීම ඉතා වැදගත් වේ. කිසිම මොහොතක මුහුණ පිසිනා තුවා, අත්වැසුම් ආදිය පොදුවේ භාවිතා නොකළ යුතුය.
යෝග්‍යතා මධ්‍යස්ථානයට එන සේවාදායකයා පැළඳ එන පාවහන් ගලවා තැබිය හැකි රාක්කයක් හෝ සුදුසු ස්ථානයක් යෝග්‍යතා මධ්‍යස්ථානයට පිටතින් තැබිය යුතු අතර ව්‍යායාම් සඳහා සුදුසු පාවහන් මධ්‍යස්ථානය ඇතුළතදී පැලඳිය යුතු වේ. යෝග්‍යතා මධ්‍යස්ථානයට ගෙවිය යුතු සේවා ගාස්තු අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල මාර්ගයෙන් මුදල් ගෙවිය හැකිවන්නේනම් වඩාත් යෝග්‍ය වේ. කාසි හා මුදල් නෝට්ටු භාවිතය අවම කළ හැකිවන්නේ නම් එය වඩාත් සුදුසුය.
උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයන් පවතීනම් කිසිම මොහොතක උපදේශකවරැන් හෝ සේවකයන් සේවයට වාර්තා නොකළ යුතුය. සේවා ස්ථාන රාජකාරි සඳහා ආයතනයෙන් යම් නිළ ඇඳුමක් හෝ පාවහන් යුගලයක් ලබා දී ඇත්නම් එය පැළඳ ගැනීමට වගබලා ගත යුතු අතර පිටතින් ඇඳ පැමිණෙන ඇඳුම් හා පාවහන් ආයතනය තුළ වෙනමම ගබඩා කළ යුතු වෙයි. ඇඟලන සියලුම ඇඳුම් දිනපතා සේදීම කළ යුතු යැයි මෙම උපදෙස් මාලාවේ සඳහන්ව පවතී. උපදේශකවරුන් විසින් සේවාදායකයන්ට වෙන් වෙන් වශයෙන් සේවය සැපයීමේදී නිතරම තත්ත්පර විස්සකට වරක් විෂබීජ නාශක දියර යොදා සේදීමට වගබලා ගත යුතුය.
ආහාර ගැනීමේදී පිඟන් කෝප්ප සහ වෙනත් දෑ පොදුවේ පරිහරණය නොකළ යුතු අතර තමන්ටම වෙන්වුණු වෙනම භාජන තිබිය යුතු වේ. ආහාර ගැනීමේදී සේවකයන් එකවර එකම තැන හිඟ ආහාර නොගත යුතුය. විශේෂයෙන් එක් කණ්ඩායමක් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයෙන් පිටව ගිය පසුව අනෙක් කණ්ඩායමට සේවය සැපයීමට පෙර පිරිසිදු කිරීම සිදුවිය යුතුය.
යෝග්‍යතා මධ්‍යස්ථානවලට එන සේවාදායකයන් සඳහා ද යම් උපදෙස් මාලාවක් සඳහන් කොට ඇත. ඒ අනුව උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව හෝ ශ්වසන අපහසුතාවයක් ඇත්නම් ව්‍යායාම් කරලන්නට යෝග්‍යතා මධ්‍යස්ථානයට යාමෙන් වැළකිය යුතු වෙයි. මීට අමතරව වයස අවුරැදු හැටට වැඩි වැඩිහිටියන් මෙන්ම දියවැඩියාව, රුධිර පීඩනය, හෘද රෝග වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් ද මේ දිනවල යෝග්‍යතා මධ්‍යස්ථානවලට ගෙන්වා ගැනීමෙන් වැළකිය යුතුය.
නිතරම වෙන්කරවා ගත් වෙලාවට පමණක් යෝග්‍යතා මධ්‍යස්ථානයට යාමටත් කාල සීමාව අවසන් වූ පසුව නිකරැණේ එම මධ්‍යස්ථානයේ කල්ගත නොකොට එයින් බැහැර වීමත් අවශ්‍යය.
යෝග්‍යතා මධ්‍යස්ථානයට ඇතුළු වීමට පෙරත්, ව්‍යායාම් කරනා අතරතුරේදීත් අත් සේදුම් ද්‍රව්‍යයකින් හොඳින් අත් සේදීම අනිවාර්යය වේ. නිතරම සියලු දෙනා අතින් ස්පර්ශ වන මතුපිටවල් ඇල්ලීමෙක් වැළකිය යුතු අතර තමන්ටම වෙන්වුණු වතුර බෝතලයක්, මුහුණ පිසදැමීමට පිස්නාවක්, අත්වැසුමක් රුගෙන යාමත් නිතරම මුඛ ආවරණය පැළඳ සිටීමත් කළ යුතු වෙයි.
දිශානි ජයමාලි කරුණාරත්න