2020 ජුනි 06 වන සෙනසුරාදා

තේ බොද්දී වෙඩිකෑ සන්ෂයින් සුද්දා...

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

තේ කඩයක් වෙත ඇවිද ගිය තරුණයෙකි. ඉන් මිනිත්තු කිහිපයක් ගත  වෙද්දී වේගයෙන් පැමිණි කළු පැහැති යතුරු පැදියක් තේ කඩය ඉදිරිපිට නතර කෙරිණි. යතුරුපැදියේ පැමිණි පසුපැදිකරු අත වූ ගිනි අවියක් අමෝරා තේ කඩයේ සිටි තරුණයා වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. වෙඩි පහර කාගෙන දිවගිය තරුණයා අසල්වැසි නිවෙසකට රිංගා ගත්තේය. ඔහු පසුපස පන්නා ගිය වෙඩික්කරු අවසානයේ තරුණයා සැඟවී ගත් නිවසටත් වෙඩි වරුසාවක් එල්ල කොට තවත් මොහොතකින් පැමිණි යතුරුපැදියෙන්ම පලා ගියේය.

මේ ත්‍රාසජනක සිදුවීම් පෙළ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ ක්‍රියාදාම චිත්‍රපටයක රෑපරාමු පෙළක් ආකාරයටය. ඒ පසුගිය 30 වැනිදා පෙරවරැවේ මාතර මිරිස්ස වරාය පාරේදීය.
නාඳුනන වෙඩික්කරැවකු මේ වෙඩි වරුසාව එල්ලකොට තිබුණේ සන්ෂයින් සුද්දා හෙවත් අමිල ප්‍රසංග (26) නැමැත්තෙකු වෙතය. යම් තරමකට වෙඩික්කරුවාගේ ඉලක්කය ගිලිහී ගොස් තිබූ නමුත් එක් වෙඩිල්ලක් සන්ෂයින් සුද්දාගේ දකුණු අතේ බාහුව අසලින් ගෑවී නොගෑවී මෙන් ගොස් ඇත. එබැවින් එම අතේ බාහුව අසල යන්තම් පිච්චී තිබෙන බව දැනගන්නට තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් පසුව වෙඩික්කරැ පලාගිය යතුරුපැදිය ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට ගැනීමට වැඩි වේලාවක් ගත වී නොමැත. ඒ සමඟ ගිනි අවියේ බලයෙන් වෙඩික්කරැ පැනගොස් තිබුණද යතුරුපැදිය පැදවූ සැකකරු ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්ව සිටියේය.

පහරකෑමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා පොලීසියට බාර දීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබූ අතර ඔහු මාතර රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ පොලිස් ආරක්ෂාව යටතේමය. මෙම සැකකරුගේ ප්‍රකාශ අනුව පොලීසිය සැක පහළ කරන්නේ වෙඩි තැබීම හරක් කටා නොහොත් චින්තක නැමැති පාතාල සාමාජිකයාගේ සගයන් දෙදෙනකු විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.

උද්ගත වී තිබෙන කොවිඩ් වසංගතය නිසා කඩින්කඩ පාවෙන ඇඳිරිනීතිය හේතුවෙන් ඉකුත් දිනවලදී පාතාල ක්‍රියාකාරකම් කිසිවක් වාර්තා වූයේ නැත. හිටිහැටියේම සිදුවූ මෙකී වෙඩි තැබීම කරළියට ආවේ කලකට පසුව සිදුවූ පාතාල ගැටුමකට ජනමාධ්‍යයේද අවධානය යොමු කරමිනි.

පසුගිය 30 වැනිදා උදේ 7.30ට පමණ සිදුවූ වෙඩි ප්‍රහාරයට පසුව සැකපිට අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය ක්‍රියාකර තිබිණ. ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් සැකකරැවන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙන අතර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මකව ඇත්තේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක දායකත්වයෙනි. ඒ අනුව ප්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරම් විශේෂ කාර්ය බලකායට කොටු වූයේ හෙරොයින් පාර්සලයක් ද සමඟිනි.

සන්ෂයින් සුද්දා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා ව්‍යාපාරිකයෙකි. සිය ගමේ හා අවට තරමක චණ්ඩියකු වශයෙන් නමක් ඇතිව සිටින ඔහු යම් යම් බලපුළුවන්කාර පිරිස් සමඟ ආශ්‍රය කරන්නෙකි. එහෙත් පාතාල සබඳතාවක් නොමැති ඔහුට විරුද්ධව හෙරොයින් සම්බන්ධ එක් නඩුවක් තිබී ඇත. මොහු පාතාල නායකයකු වන මාකඳුරේ මූධෂ් සමඟ සමීප සබඳතාවක් පවත්වා තිබෙන බව අනාවරණය වී තිබුණේ මාකඳුරේ මධූෂ් ඩුබායි සිට පොලීසියට කොටු වූ මොහොතේ සන්ෂයින් සුද්දා නැමැත්තා ද ඔහු සමඟ සිට කොටු වීම හේතුවෙනි. මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරවල නිරතව සිටින සන්ෂයින් සුද්දා සිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් විවිධ තරාතිරමේ පිරිසි ආශ්‍රය කරමින් සිටී. ඒ අතර චණ්ඩින් හා පාතාල සගයන් ද වන බැව් වාර්තා වේ. ඒ හැරෙන්නට පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේද මොහු පාතාල ගැටුම් හෝ එවැනි ක්‍රියා සඳහා දායකත්වය ලබා දී නොමැති බවය.

හිතවත්කමට චණ්ඩි ආශ්‍රය කරමින් සිටි සන්ෂයින් සුද්දාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම පසුපස ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක අභ්‍යන්තර ගැටුමක් පවතින බව දැන් හෙළිවෙමින් තිබේ. මාකඳුරේ මධූෂ් හා අංගොඩ ලොක්කා එක් පාර්ශවයක් වශයෙන් කටයුතු කළද මේ වනවිට මධූෂ් පසුවන්නේ මහඋළු ගෙදරය. ඒ නිසා මධූෂ්ගේ පාර්ශවයට නිසි නායකත්වයක් නොලැබෙන අතර ඔවුන් පිට පාර්ශවයකට කීකරු වන්නේද නැත. එහෙත් අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලබාලයන් නිරන්තරයෙන්ම මධූෂ්ගේ ගෝලයන්ට බලකර තර්ජනය කරමින් සිටින්නේ ඔවුන්ට සහාය ලබාදෙන ලෙසය.

මේ ඉල්ලීමට එකඟ නොවන මධූෂ්ගේ හිතවාදීන් අතර සන්ෂයින් සුද්දා එක් අයෙකි. ඒ අනුව කරුණු අනාවරණය වන්නේ සන්ෂයින් සුද්දාට එරෙහි වෙඩි ප්‍රහාරය පසුපස මධූෂ් හා අංගොඩ ලොක්කාගේ කල්ලිවල අභ්‍යන්තර ගැටුමක් පැන නැගී ඇති බවය. කෙසේ වෙතත් වාසනාවකට සන්ෂයින් සුද්දා තවමත් ජීවතුන් අතරය. අංගොඩ ලොක්කාගේ සමීපතම සගයන් හා මධූෂ්ගේ ගෝලබාලයන් අතර වන විරසකය ඉදිරියේ තවත් ගැටුම් හා වෙඩි ප්‍රහාර එල්ල වීමට ඉඩ ඇති බැව් පෙනෙන්නට තිබේ.
මේ හරහා තවත් පාතාල කල්ලි හා නායකයන් ඇසුරේ පාතාල ක්‍රියාකාරකම් වර්ධනයට ඉඩ ඇති බවද දකින්නට ලැබේ.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර