2020 ජුනි 06 වන සෙනසුරාදා

කොරෝනා නිසා යළි පණ ලබන මත්තල ගුවන්තොට

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 319

ලංකාවේ තුන්වැනි අන්තර් ජාතික ගුවන් තොටුපොළ ලෙසින් ඉදිකෙරුණු හම්බන්තොට  මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගෙවුණු වසර පහක පමණ කාලය තුළදී බලධාරීන් විසින් කුණු මුල්ලකට දමා තිබුණේ දේශපාලනික පළිගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ වෙතත් වර්තමාන රජය බලයට පත්වීමත් සමග කාටත් එපා වී තිබුණු මත්තල ගුවන් තොටුපොළ යළි පණ ලබමින් තිබේ. 2020 වසර උදාවීමෙන් පසු පමණක් මත්තල ගුවන් තොටුපොළ යොදාගෙන සිදුකළ මානුෂිය මෙහෙයුම් කිහිපයක් හා ගුවන් යානා ගොඩබැස්සවීම් කිහිපයක් සමගින් දැන් දැන් මත්තල ගුවන් තොටුපොළ පිළිබඳව ජාත්‍යන්තර ගුවන් සමාගම්වලද දැඩි අවධානයක් යොමු වී ඇති බවයි මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා පැවසුවේ. ඒ අනුව සිය ගුවන් සේවා සමාගම්වලට අයත් ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීම සඳහාත් පැමිණෙන මගින් සඳහාත් මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ ප්‍රමාණවත් පහසුකම් තිබේද යන්න පිළිබදව සොයා බැලීම සඳහා විශේෂ දුත පිරිසක් පසුගිය 03 වැනි දින මත්තල ගුවන් තොටුපොළට පැමිණියෝය.

මත්තල ගුවන් තොටුපොළ නිරික්ෂණය සඳහා පැමිණි පිරිස පිළිබඳව මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසුරිය මහතා මෙලෙස අදහස් දැක්වීය.

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවට ගුවන් සේවා සපයන ගුවන් සේවා සමාගම් අටක නියෝජිතයන් මත්තල ගුවන් තොටුපොළට පැමිණියා. ඒ අය පැමිණියේ මත්තල ගුවන් තොටුපොළේ ඇති පහසුකම් පිළිබදව සොයා බලන්න. ඇත්තටම ඒ අය මත්තල ගුවන් තොටුපොළ තුළ සිදුකළ සංචාරයෙන් පස්සේ පුදුම සතුටට පත් වුණා. මෙහි තියෙන පහසුකම් දැකලා. අපි විශ්වාස කරනවා බොහොම නුදුරේදීම මේ ගුවන් සේවා සමාගම් නියෝජනය කරන ගුවන් යානා දිනපතා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඒවි කියලා. අපි දන්නවා කොරෝනා වෛරසය චීනය තුළ ව්‍යාප්ත වූ අවස්ථාවේ චීනයේ වූහාන්වල සිරවී සිටිය අපේ ලාජකික සිසුන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම අපි මත්තල ගුවන් තොටුපොළ යොදාගෙන ඉතා සාර්ථක ලෙස සිදු කළා. ඊටපසුව තවත් එවැනිම මානුෂීය මෙහෙයුම් කිහිපයක්ම අපි මත්තල ගුවන් තොටුපොළ යොදාගෙන සිදුකළා. කටුනායක තියෙන තදබදයට හොඳම විසඳුම තමයි මත්තල ගුවන් තොටුපොළ. ඉතින් ඒ නිසා නුදුරේදීම මත්තල ගුවන් තොටුපොළත් කාර්යබහුල ගුවන් තොටුපොළක් බවට පත්වේවි යැයි ඔහු පැවසීය.

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා මෙලෙස අදහස් දැක්වීය.

මත්තල ගුවන් තොටුපොළ දියුණු කිරීම වෙනුවෙන් මේ වෙනකොට වර්තමාන රජය විශාල වැඩ කොටසක් සිදුකරමින් යනවා. එහි එක් පියවරක් ලෙස මත්තල ගුවන් තොටුපොළ භාවිත කරන ගුවන් මගීන්ගෙන් අයකරන ගුවන් තොටුපොළ බද්ධ වන ඩොලර් 60 ගාස්තුව හා ගුවන් යානයක් මත්තලට පැමිණීමේදී හා ගුවන් යානයක් නවතා තැබීමේදී අයකරන ගුවන් තොටුපොළ බද්ධත් වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කරලා තියෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය ළඟදීම නිකුත් කෙරෙනවා. මේ ලබාදෙන සහනය මගීන්ට හා ගුවන් සමාගම් සඳහා විශාල ලාභයක් වෙනවා. ඒ අනුව වසර දෙකක කාලයක් අපි මේ ගාස්තු අය කරන්නේ නෑ. අනික තමයි මත්තල ගුවන් තොටුපොළ කියන්නේ සියලු පහසුකම්වලින් සමන්විත ගුවන් තොටුපොළක්. මත්තල හා කොළඹ යා කෙරෙන අධිවේගී මාර්ගයක් තියෙනවා. මත්තල ඉඳලා පැය දෙකහමාරක් වගේ කෙටි කාලයකින් කොළඹට යන්න පුළුන්කම ඕනෑම කෙනෙකුට තියෙනවා. ඊට අමතරව හම්බන්තොට නව පන්නයේ පහසුකම්වලින් යුක්තව ඉදිකළ ෂැංග්‍රිලා හෝටලය තියෙනවා. ඉතින් ඒ නිසා මත්තලට පැමිණෙන මගින් සඳහා කිසිදු ගැටලුවක් වෙන්නේ නෑ. ඒ වගේම කොරෝනා වෛරස රෝගීන් පරීක්ෂා කිරීම සඳහා කටුනායක ඉදිකර ඇති පද්ධතියම අපි මත්තල ගුවන් තොටුපොළෙත් ස්ථාපිත කරනවා. ඒ නිසා කිසිදු අයෙකුට ඒ පිළිබඳව බියක් ඇති කරගන්න දෙයක් නෑ. ඉතින් අපි ආරාධනා කරනවා ගුවන් සේවා සමාගම්වලට එන්න මත්තලට කියලා. පසුගිය දවසේ මත්තල ගුවන් තොටුපොළ ඉතිහාසයේ ප්‍රථම ගුවන් යානය මගීන් 168 දෙනෙකු සමග කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගියා මත්තලින්. ඒ වගේම ගාලු වරායට එන නෞකාවල කාර්ය මණඩල මාරුකිරීමේ මෙහෙයුම් කිහිපයකුත් පසුගිය ටිකේ සිදුවුණා. ඉතින් කියන්න තියෙන්නේ කටුනායක බාන්න බැරි ගුවන් යානා පවා මත්තල ගුවන් තොටුපොළේ බාන්න පුළුවන් කියන එකයි. අද දවසේදී මත්තල ගුවන් තොටුපොළට ගුවන් සේවා සමාගම් 08 නියෝජිතයින් පැමිණියා. ඒ අය අපිට කිව්වා නුදුරේදීම ඒ අයගේ ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවිමට කටයුතු සිදුකර බවයි.

2013 වසරේ මාර්තු මස 18 වැනි දින එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරුණු මෙම අන්තර් ජාතික ගුවන් තොටුපොළ විවිධ බාධක රැසක් මධ්‍යයේ පවත්වාගෙන යාමට සිදුවූයේ එවකට සිටි විපක්ෂය සේම විවිධ පාර්ශව මත්තල ගුවන් තොටුපොළ පිළිබඳව ජාත්‍යන්තරයට වැරදි චිත්‍රයක් මවා තිබීමත් විවිධ ආන්දෝලනාත්මක අදහස් පළකිරීමත් නිසාය. මේ හේතුව නිසාම ඇතැම් ගුවන් සමාගම් මත්තලට ඒමද ප්‍රතික්ෂේප කෙරුණි. කෙසේ නමුත් ගුවන් සමාගම් කිහිපයක් මත්තලට සිය ගුවන් යානා පැමිණීමට එකඟතාවය පළකර තිබුණි. ඒ අනුව 2014 වසරේදී පමණක් ගුවන් යානා 2984ට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා තිබුණු අතර 2015 වසර වනවිට එය 1044ක් දක්වා පහළ බැසුණි. කෙසේ නමුත්  2015 වසරේදී මෙරට සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග මත්තල ගුවන්තොටුපොළට කණකොකා හඬන්නට විය.

තීරැබදු රහිත සාප්පු සංකීරණයක්, ආපන ශාලා, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ව්‍යාපාරික ගුවන් මගීන් සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළු අංග සම්පුර්ණ ගුවන් තොටුපොළක් ලෙසින් පැවති මෙම ගුවන් තොටුපොළ අන්තර් ජාතික වශයෙන් දෙගුණ තෙගුණ ලෙස ඉමහත් ප්‍රසිද්ධියකට පත්වූයේ එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා විසින් මත්තල වී ගබඩා කිරීමත් සමගය. මේ හේතුව නිසාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මත්තල වෙත පැමිණි සියලුම ගුවන් ගමන් නතර කිරීමටද පියවර ගැනුණි. ෆ්ලයිඩුබායි ගුවන් සේවය මත්තල සිට ඩුබායි වෙත දෛනිකව ගුවන් ගමන් වාර කිහිපයක්ම ක්‍රියාත්මක කෙරුණු අතර රොටානා ජෙට් ගුවන් සමාගමද සතියකට දෙවතාවක් මත්තල සිට අබුඩාබි දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කෙරුණි. මත්තල ගුවන්තොටුපොළ හරහා මහජනතාවටද විශාල වාසියක් අත්ව තිබූ නමුත් 2015 මෙරට බලයට පත් වූ රජයේ පටු දේශපාලණික අරමුණු සාක්සාත් කරගැනීම වෙනුවෙන් මත්තල ගුවන්තොටුපොළ බිල්ලට දුන් බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.

මත්තල ගුවන් තොටුපොළ නිරීක්ෂණයට පැමිණි එයා ඉන්දියා ගුවන් සේවයේ ශ්‍රී ලංකාව බාර කළමනාකාරිණී ඇලිස් ජේ.පෝල් මහත්මිය මෙලෙස පැවසුවාය.

“මම පළමු වතාවට තමයි මේ මත්තල ගුවන් තොටුපොළට පැමිණියේ. ඇත්තටම අපි මෙහි සිදුකළ සංචාරයේදී බොහොම සතුටු වුණා හා පුදුම වුණා මෙහි තියෙන පහසුකම් දැක්කම. කවුරු මොනවා කිව්වුවත් මත්තල ගුවන් තොටුපොළ අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව ඉදිකිරීම් කරලා තියෙනවා කියලා අපිට දැකගන්නම පුළුවන් වුණා. ඒ නිසා ඉදිරියේදී එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානා කිහිපයක් දිනපතා මත්තලට ගොඩබැස්සවීට අවශ්‍ය පියවර ගන්නවා.”

ජෝන් කීල්ස් ගුවන් සේවා අංශයේ කළමනාකරු ශමිත් විජේතිලක මහතා මෙලෙස පැවසීය.

“ලෝකයේ බොහෝ ගුවන් සේවා සමාගම් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලොකු අර්බුදයකට මුහුණදීලා තියෙනවා. ඉතින් එවන් පසුබිමක් තුළ අපි බලා පොරොත්තු වෙනවා මත්තල ගුවන් තොටුපොළ සමඟ අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක. ඉතින් අපි අද දවසේදී මත්තලට ආවේ මෙහි තියෙන පහසුකම් පිළිබඳව සොයාබැලීම සඳහායි. ඇත්තටම ඇස් අදහාගන්න බැරි තරම් ආකර්ෂණීය විදියට මෙහි මගින් සඳහා හා ගුවන් යානා සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා .ඉතින් මේ ගුවන් තොටුපොළ ඉදිරියට නංවන්න අපට දෙන්න පුළුවන් සියලු සහයෝගයන් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අපි නියෝජනය කරන ගුවන් සේවා සමාගමේ ගුවන් යානාවලට අමතරව අප හා සම්බන්ධ අනෙකුත් ගුවන් සේවා සමාගම්වල ගුවන් යානත් මත්තලට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නවා.”

හේලීස් ගුවන් සේවා සමාගමේ කළමනාකරු තුවාන් කිචිලාන්

“අපේ ගුවන් සේවා සමාගම නියෝජනය කරමින් අද මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සංචාරය කළා. එහිදී අපිට දක්න ලැබුණා සියලු පහසුකම් මේ ගුවන් තොටුපොළ සතුව තියෙන බව. රට තුළ විවිධ පාර්ශව කුමන ප්‍රකාශ නිකුත් කළත් අපි අද ඇස් දෙකට දැක්කා මෙහි තිබුණු පහසුකම් පිළිබඳව. ඒ නිසා අපි අපේ සමාගම නියෝජනය කරන සියලුම ගුවන් සේවා සමාගම්වලට මේ බව දැනුම් දීමට පියවර ගන්නවා. බණ්ඩාරනායක ගුවන් තොටුපොළ හා සසඳලා බලනකොට අපි දැක්කා ඒ සියලු පහසුකම් මත්තලත් තියෙනවා කියලා. ඒ නිසා දකුණු මුහුද තීරය බලාගෙන එන සංචාරකයින්ට මත්තල ගුවන් තොටුපොළ ඉතාමක් වාසිදායක ස්ථානයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි නුදුරේදීම නැවතත් මත්තලදි හමුවෙමු කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.”

සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර