
සිංහල අලුත් අවුරුද්දට තව ඇත්තේ සති දෙකකටත් වඩා අඩු දින ගණනකි. කොහාගේ නාදයත් සමඟ දවස තවත් ළංව ඇති බව කියාපායි. ලොකු කුඩා දුප්පත් පොහොසත් බේදයකින් තොරව අලුත් අවුරුදු සමයට රෙදි පිළිගැනීම සඳහා සාප්පු සවාරි යන පිරිස් මේ දිනවල වෙන අවුරුදුවල නම් ඉතා සුලභව දැකගත හැකිය. වෙනදාට අවුරුදු කාලය තුළදී පාරිභෝගිකයන්ගෙන් පිරි ඉතිරී පවතින කඩ සාප්පු තුළ මෙවර තවමත් පාරිභෝගිකයන් සිටින්නේ ඉතාමත් සුළු වශයෙනි.
රටපුරා අලුත් අවුරුද්දට සූදානම් වන විට මෙවර අවුරුද්දේ වෙළෙඳපොළ වටපිටාව නිරීක්ෂණය කිරීමට අපි අලුත් අවුරුදු වෙළෙඳපොළ සංචාරයක් ඇරඹුවෙමු. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙන්ම මහරගම, පමුණුව යන ප්‍රදේශ පෙර අවුරුදු සමයන්වලදී ජනතාවගෙන් පිරි ඉතිරි පැවතියද මෙම වසරේ සිංහල අවුරුදු සමයේ වෙළෙඳාම පවතින්නේ ඉතා පහළ මට්ටමක බවට වෙළෙන්දෝ මැසිවිලි නගති.
විවිධාකාරයෙන් ඇඳුම් පැළඳුම් ඇති වායු සමීක්ෂණය කළ කඩසාප්පු වලට ගොඩවීමට ප්‍රථමයෙන් එදාවේල සරිකර ගනිමින් ජීවිකාව ගෙනයාමට පදික වේදිකාවේ තට්ටුවක් දමාගෙන උගුර ලේ රහ වනතුරු කෑගසමින් බිස්නස් එක්ක කරගැනීමට උත්සහගන්නා පදික වෙළෙඳුන් කිහිප දෙනකුට කතා කිරීමට අපි තීරණය කළෙමු.
වසරේ ඕනෑම කාලයක රෙදිපිළි සඳහා ප්‍රසිද්ධියට පත් මෙන්ම උත්සව සමයන් තුළදී පාරිභෝගිකයන් වැඩිපුර ගැවසෙන මහරගම පමුණුව නගරය අප වෙළෙඳපොළ සංචාරයේ පළමු ඉලක්කය විය.
මහපාරේ ලෑලි තට්ටුවක් මත දැඩි අව් රශ්මියද නොතකා විවිධ මාදිලියේ ඇඳුම් ගොන්නක් තබාගෙන සිටි වෙළෙඳුන් කිහිප දෙනකු ළඟට අපි කිට්ටු වූයෙමු. වසර දහයක් මුළුල්ලේ තම ජීවිතයම පදික වේදිකාවේ ලෑලි තට්ටුවක තබා ඔට්ටුවන මහරගම ප්‍රදේශයේ පදිංචි මිහිඳු අප පත්තරෙන්යැයි කියූ සැණින්ම අප හා කතාවට වැටුෙණ් මේ පාර අවුරුද්දට බිස්නස් නැහැ යන මැසිවිල්ලත් නගා ගෙනමය.
මම පාන්දර 6.30ට විතර තමයි මෙතන රෙදි තට්ටුව දාන්නේ. ඒ වෙනකොට සමහර වෙළෙන්දෝ තමන්ගේ තට්ටු දාලා ඉවරයි. නමුත් මේ වෙනකොට මම කෑලි විකුණලා තියෙන්නේ දෙකයි. ඒ කියන්නේ උදේ 6.30 ඉඳන් දැන් වේලාව උදේ 10යි. රුපියල් 300කයි බිස්නස් කරලා තියෙන්නේ. කලින් අවුරුදුවල මෙතන තියන හැම තට්ටුවකම ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අද අපි වේලෙනවා. මිනිස්සු රෙදි ගන්න එන්නේ කොහොමද හාල් කිලෝ එකක් රුපියල් සීයයටත් වැඩියි. සතොසෙන් දෙන හාල් අඩුවට දුන්නත් කන්න බැහැ. මේ වගේ තත්ත්වයක් තියෙද්දී මිනිස්සු රෙදි ගන්න එන්නේ නෑ ඉතින්. මේ පාර අවුරැද්දට අපිට හුළං තමයි බොන්න වෙන්නේ.
අපි මිහිඳුගෙන් සමුගෙන පමුණුව රේල්පාර දිගේ ඉදිරියට ගියේ තවත් වෙළෙඳුන් කිහිප දෙනකුගෙන් මෙවර අලුත් අවුරුදු වෙළෙඳාම් තත්ත්වය දැන ගැනීමේ අරමුණෙන් යුතුවය.
මෙයට වසර පහළවකට පමණ පෙර තණමල්විල ප්‍රදේශයෙන් කොළඹට පැමිණි වසන්තගෙන්ද මෙවර අවුරැද්ද ගැන විමසූවිට අපහට ලැබුණේද සුබදායක පිළිතුරක් නොවේ.
අපි මේ රේල්පාරේ තට්ටුව දාන්න එන්නෙත් උදේ පහමාරට විතර. පාරේ තට්ටු දාන අය පාන්දර දෙක දෙකහමාර වෙද්දී එයාලගේ තට්ටුව දාන්න එනවා. අපි කෝච්චිය එන වෙලාවට තට්ටුව අයින් කරනවා. ආයේ කෝච්චිය ගියාම තට්ටුව තිබ්බ විදියටම දානවා පසුගිය අවුරැදු වල වගේ නෙවෙයි මේ පාර බිස්නස් අන්තිමට බැහැලයි තියෙන්නේ. වෙනදා මේ ටයිම් වෙද්දී මහරගම පරණ පාර වහනවා ඒ තරම් සෙනඟ. ඒත් බලන්නකෝ දැන් තට්ටු වේලෙනවා.
රේල්පාර මැද මෙන්ම දෙපසද දමා ඇති තට්ටු වලින් මඳක් මෑත්ව පාර දෙපස සිටි වෙළෙන්දන්ගෙන් ඈත කෙළවරක විඩාපත් මුහුණකින් යුතුව සිටි වයසින් මුහුකුරා ගිය පද්මසිරි අපට හමුවන්නේද පමුණුව නගරය තුළදීය.
අපි ඉරිදා දේශය පත්තරෙන්. කොහොමද බිස්නස් එහෙම

කියලා වැඩක් නෑ මහත්තයෝ මම මේ පමුණුවට බිස්නස් කරන්න ඇවිල්ලා දැන් අවුරුදු 20කට වැඩියි. මගේ කාලෙදී දැක්ක අඩුම බිස්නස් එක තියෙන්නේ මේ අවුරුද්දේ. වෙනදාට මේ වෙනකොට අපි රුපියල් තිස් හතළිස් දහසක බිස්නස් කරනවා. දැන් තාම නෑ එක කෑල්ලක් විකුණුණේ
පෙර අවුරුදු සමයන්වලදී ජනයාගෙන් පිරි ඉතිරි ඇඟිල්ලක් ගැහීමට ඉඩක්වත් නොමැති පමුණුව නගරය තුළ වෙළෙඳුන් පැවසූ පරිදිමෙන්ම අප දැකගත් ආකාරයට සිටියේ ඉතා අල්ප ප්‍රමාණයේ පාරිභෝගිකයන් පිරිසක් පමණි.
පමුණුව නගරයට සමුදුන් අප පිය මැන්නේ කොළඹ කොටුව පුරවරය දෙසටය.
කොළඹට පැමිණ අපි පළමුවම ඇදුණේ දෙවැනි හරස්වීදිය වෙතටය. එහිදී අපිට පළමුවෙන්ම හමු වු කොටහේන ප්‍රදේශයේ පදිංචි රජාබ්දින් දේශයට මෙලෙස කරුණු පැහැදිලි කළේය.
පාන්දර ඉර නගින්නත් කලින් තමයි මේ රෙදි තට්ටුව දැම්මේ. තවම කෑලි දහයක් පහළවක්වත් විකුණගන්න බැරිවුණා. මමයි තව ගෝලයෙකුත් එක්ක තමයි මේ තට්ටුව කරගෙන යන්නේ. මෙහෙම ගියොත් ගෝලයට පඩි ගෙවන්නවත් බැරිව යනවා. වෙනදා මෙහෙම නෙවෙයි තට්ටුව දාලා පැයක් දෙකක් යද්දී බඩු ටික සන්ගාලා මිසින් වෙනවා. දැන් එහෙම නැහැ යනුවෙන් ඔහු අපට පැවසුවේ පේමන්ට් වෙළෙඳාමෙහි යොදාගන්නා වචන කිහිපයක්ද එකතු කරමිනි.
ඔහුගෙන් සමුගෙන ඉදිරියට ගිය අපට අහන්න ලැබුණේ පදික වේදිකාවේ වෙළෙඳුන් තම වෙළෙඳාම සඳහා මිනිසුන් ඈදා ගන්නා අපූරු වචන පෙළකි.
කෑල්ලක් තුන්සීයයි. කෑල්ලක් තුන්සීයයි. කඩයක් සුද්දකරා. කඩයක් සුද්දකරා. පැකින් කඩලා බලලා අරන් යන්න. බලලා අරන් යන්න යනුවෙනි.
ඔහු ලෑලි තට්ටුව මත නැග අත්පුඩි ගසමින් මිනිසුන් තමන් වෙත ඈදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරැවද දෙතුන් දෙනකුහැර සෙසුපිරිස එය නොදැක්කා මෙන් තමන්ගේ පාඩුවේ ගමන්කළහ.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි හස්මින් අලුත් අවුරැද්දු වෙළෙඳාම ගැන අපට මෙලෙස කරුණු පැහැදිලි කළේය.
කතාකරලා වැඩක් නැහැ බිස්නස් ගැනනම්. තට්ටුව දැම්මටත් පාඩුයි වේලි වේලි තමයි ඉන්න වෙලා තියෙන්නේ. මේ බඩු සල්ලිවත් මෙදා සැරේ හොයාගන්න බැරිවෙලා තියෙන්නේ. අවුරුද්දට තව දවස් කීයද? දැනට මෙහෙම නැහැ කියන්නේ ඉස්සරහට අපිට බිස්නස් ගැන විශ්වාසයක් තියාගන්න අමාරුයි.
දෙවැනි හරස් වීදියේම කෙළවරට වෙන්නට තිබූ සෙල්ලම් බඩු කඩය තිබුණේ නිසොල්මනේය. අපි ඒ දෙසට පිය නැගුවෙමු. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් මහේෂ් විය.
රෙදි කඩවලට තරමක් බිස්නස් නැහැ. අපිට කවුරුවත්ම බඩුගන්න එන්නේ නැහැ. සමහර වෙලාවට ගමෙන් කවුරුහරි ඇවිත් තොගයට බඩු අරන් යනවා. එහෙම වුණොත් එදාට හොඳයි. හැබැයි ඉතින් හැමදාම එහෙම වෙන්නේ නැහැනේ. මෙදාපාර හොඳටම බිස්නස් බැහැලා තියෙන්නේ.
අනතුරුව අනවශ්‍ය ආහාර තොග අලෙවි කරන වෙළෙඳසල් කිහිපයකින්ම අපි අලුත් අවුරුද්දට වෙළෙඳාම ගැන ඇසූවිටදි ඔවුන්ද කියා සිටියේ පෙර වසරවලට සාපේක්ෂව මෙවර අවුරැදු සමයේදී වෙළෙඳාම පහළ බැස ඇතිබවය.
වෙනදා සිංහල අවුරුද්දට ජනී ජනයාගෙන් පිරී ඉතිරී යන නගර බොහොමයක පදික වේදිකාවල ඇති රෙදි තට්ටුවල මෙවර අපට දැකගත හැකි වූයේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු මිනිසුන් පිරිසකි. ඉදිරි දිනවල මෙහි වෙනසක් වනු ඇතිදැයි පැවැසීමත් අපහසුය. කෙසේ වුවත් අපට හමු වූ කීපදෙනකු පැවැසුවේ තව සතියකින් පමණ මේ තත්ත්වය වෙනස්වීමට ඉඩ ඇති බවය.
හසිත් අංජන
සේයාරූ l සුමුදු හේවාපතිරණ