2020 ජුනි 06 වන සෙනසුරාදා

ආදරණීය තාත්තේ ඔබ සන්සුන්ව සැතපෙන්න...

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 467

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවෙන් ඔහුගේ දියණිය ලියූ අවසන් සංවේදී ලිපිය....

ඕමාන්හි මස්කට් නගරයේ සේවය කරන වෛද්‍ය කෝදේයි නාචියාර් තොණ්ඩමන් මහත්මිය ලංකා කම්කරු කොංග්‍රස් නායක හා කැබිනට් අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ වැඩිමහල් දියණියයි. තම පියාගේ අභාවය සැලවූ විගස ශ්‍රී ලංකාවට පැමිණීමට ඇයට අවශ්‍ය වුවද නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන්  කඩිනමින් පැමිණිය නොහැකි විය. පසුව මස්කට්හිදී පීසීආර් පරීක්ෂණයකට මුහුණ දුන් ඇය ඉන්දියාව බලා එන ගුවන් යානයකින් ඉන්දියාවේ කැලිකට් නගරයට පැමිණියාය. එහි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඇයට සිදු වූයේ පවුලේ සාමාජිකයන් විසින් කුලියට ගන්නා ලද ගුවන් යානයකිනි. එහෙත් පවතින නිරෝධායන නීති රීති අනුව ඇයට දින 14ක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වීමට සිදුවිය. එහිදී ඇය දේශපාලන ලෝකයේ ප්‍රබල චරිතයක් වූ තම පියාගේ සංවේදී පාර්ශ්වය පිළිබඳ සදාතනික මතකයන් ලිපියක සඳහන් කළාය. තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී මෙම ලිපියෙන් කොටසක් ඇගේ සොහොයුරා වන ජීවන් තොණ්ඩමන් විසින් කියවන ලදී. පහත පළවන්නේ නාචියාර් තොණ්ඩමන් මහත්මිය තම පියා වෙත ලියන ලද සම්පූර්ණ ලිපියයි. මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.

ආදරණීය තාත්තේ,

සුවදුක් කෙසේද? ඔබ අප හැර ගොස් ඇතැයි යන බියකරු පුවත සැල වී දින කිහිපයක් ගෙවී ගොස් තිබේ. නිමක් නොමැති කඳුළු ගංගාවක ගිලෙමින් පැය ගණන් නොකඩා ගමන් කරමින් ලංකාවට පැමිණියද මගේ ගමනාන්තය වූයේ නිරෝධායන මධ්‍යස්ථානයකි. කොවිඩ් වසංගතය මගින් සිදුකර ඇති ව්‍යසනය සහ එමඟින් උදුරා ගන්නා ජීවිත පිළිබඳව මම සෑම දිනයකම අත්විඳිමි. වෛද්‍යවරියක ලෙස මගේ යුතුකම් හඳුනන බැවින් ඒ පිළිබඳ කෝපවීමෙන් පළක් නොමැති බව දනිමි.
ජාතියක් වශයෙන් මේ සඳහා අවශ්‍ය සෑම දෙයක්ම අප විසින් කළ යුතු යැයි මම විශ්වාස කරමි. මෙම වසංගතය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව මගේ ප්‍රශංසාව පළකරමි. මට ඔබ අසල රැඳී සිටීමට අවශ්‍ය වුවද එය කළ නොහැකිය. ආදරණීය පියකු අහිමි වූ දියණියක ලෙස ඔබ දැක ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මා කෝපයට පත් වුවද, මුහුණු ආවරණයක් පැළඳ බිත්ති හතරකට කොටුවී සිටිමින් මගේ ශෝකය පාලනය කිරීමට මට බල කෙරී තිබේ. මෙයට පැහැදිලි පිළිතුරක් නොමැති බව දනිමි. මා නිවැරැදි දේ කළ යුතු වන අතර එය මගේ යුතුකමකි. එයට ඔබ මා හා එකඟ වන බව දනිමි.

ඔබේ වැඩිමහල් දියණිය වෛද්‍යවරියක කිරීම ඔබගේ ඒකායන අරමුණ වූ විට මා තුළ ඇති වූයේ කෝපයකි... වෛද්‍යවරියක වශයෙන් නොකඩවා රාත්‍රී සේවයේ යෙදෙන්නට සිදුවීම මත ඔබ හා පවුලේ සාමාජිකයන් සමඟ එක්ව සිටිය නොහැකි වූ හෙයින් අවස්ථා කීපයකදීම මම ඔබ සමඟ දබර කර ගත්තෙමි. එවක තරුණ, අත්දැකීම් අවම, පුහුණු වන වෛද්‍යවරියක වූ මා ඒ සියල්ලටම දොස් පැවරුවේ ඔබටය. 

ක්‍රමයෙන් මුහුකුරා යද්දී මගේ දෙවැනි ප්‍රේමය මට හමු විය. ඒ හදිසි ප්‍රතිකාර සේවයයි. එහෙත් මගේ පළමු ප්‍රේමය වූයේ මේ මොහොතේ සැතපුම් ගණනක් ඈතක සිටිමින් ඔබේ වියෝව නිසා වැළපෙන ඔබේ බෑණනුවන්ය. ඔබ දෙදෙනා කෙරෙහි මාතුළ වූයේ සුවිශේෂ බැඳීමකි. එහෙත් මා තරමටම මගේ සැමියා ඔබට සමීපවනු දැකීම මට නොරිසි විය. ඒ තරමටම මා ඔබ වෙත බැඳී සිටියෙමි. එම කතාන්දරය වෙනත් දවසක හෙළිකරනු සඳහා ඉතිරි කර තබමි.

මම හදිසි ප්‍රතිකාර සේවයට ආදරය කිරීමට පටන් ගතිමි. ඒ සඳහා මගේ උපදේශකයින්ගෙන් හිමිවූයේ නොමඳ ආශීර්වාදයකි. මගේ වෙනස දුටු ඔබ කීවේ “බලන්න නාචි, මේ සියල්ල ඔබට ලැබුණේ මා ඔබ වෛද්‍ය වෘත්තියට යොමුකළ නිසානේ” කියාය. 
ඔව්, තාත්තේ ඔබ එය කළේය. ඔබ මගේ ජීවිතයේ අරමුණ දුටුවේය. අප අතර ඇතිවූ නොවැදගත් දබර මේ වනවිට අර්ථ විරහිත බව මම දනිමි. මෙම තීරණාත්මක මොහොතේ ලොවට උපකාර කිරීම සඳහා  ඔබ මට ලබා දුන් අවස්ථාව පිළිබඳව මට වැටහෙයි.

ඔබගේ ආකර්ෂණීය දේශපාලන ජීවිතය සහ ඔබ තුළ තිබූ දැවැන්ත චරිතය පිළිබඳව ලියැවුණු ලිපි මම කියෙව්වෙමි. පාසල් නේවාසිකාගාරවල හැදී වැඩීම නිසා අවශ්‍ය තරම් කාලයක් ඔබ සමඟ ගත කිරීමට අපට අවස්ථාවක් හිමිවූයේ නැත. එහෙත් ඔබ කිසි විටෙකත් එම අඩුව අපට දැනෙන්නට ඉඩ නොතැබීය.

අප සමඟ විනෝද ගමන්වලට සහභාගී වීමෙන් ඔබ කොතරම් තෘප්තියක් ලැබුවාද යන්න ජනතාවට පැවසීමට මට අවශ්‍යය.. ඔබ අපගේ උපන් දින සැමරුවේ වාර්ෂික උත්සවයක් සංවිධානය කරන ආකාරයෙනි. මගේ සයවැනි ශ්‍රේණියේ මිතුරියෝ තවමත් ඒ පිළිබඳ සිහිපත් කරති... ඔබ අපට අමතක නොවන ළමා කාලයක් හිමිකර දුන්නේය. අප තරුණ වියට එළඹෙන විට ඔබ අපට පියකු පමණක් නොව සමීප මිතුරකු වී සිටියේය. ඔබ නිතරම පැවසුවේ “නාචි, අප අතර ඇත්තේ අවුරුදු 20 ක පරතරයක්.” යනුවෙනි. (ඔහු පිය පදවියට පත්වූයේ අවුරුදු 21දීය.)

මගේ පළමු දියණිය මායා මගේ කුසෙහි පිළිසිඳගෙන ඇතැයි මා ඔබට පැවසූ මොහොතේ ඔබේ ප්‍රතිචාරය මගේ මතකයෙන් බැහැර නොවේ. “නාචි මං සීයා කෙනෙක් වෙන්න තාම ලෑස්ති නැහැ” ඔබ පැවසීය. එහෙත් ඔබ කෙතරම් ආදරණීය හා ආශ්චර්යවත් සීයා කෙනෙක්ද? මට ඔබේ සිනහව බොහෝ සෙයින් අහිමි වී තිබේ. ඔබ ඔබේම විහිළු තහළුවලට සිනාසුණු අතර අප එය වටහා ගෙන සිනාසෙන තෙක් කීපවාරයක් පැවසීමට ඔබ පුරුදුව සිටියේය.

තාත්තේ මේ කටුක ලෝකය තුළ මා ආරක්ෂා කළ විසල් කඳුවැටිය ඔබය. ඔබ ඉක්මවා යෑමට අවශ්‍ය ශක්තිය මා සොයන්නේ කොතැනින්ද? ඔබේ වියෝව පිළිබඳව පවුලේ සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් ලද දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීමට මම බියවීමි. එහෙත් එය යථාර්ථයක් වී තිබේ. මගේ හදවත ඔබ වටා සැරිසරයි. සෑම සිතිවිල්ලකම දිස්වන්නේ ඔබ නිසොල්මනේ වැතිර සිටින ආකාරයයි. මා ඔබේ සීතල දෑත අල්ලාගෙන සිටින්නා සේ හැඟෙයි. 

අප මුහුණ පා ඇති වසංගත තත්ත්වය නිසා විශාල පිරිසක් ඔබට ගෞරව දැක්වීමට පැමිණීම ගැන මම බිය වන අතර සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බැවින් විශාල ජනකායක් එක්රැස් වීම වළක්වන ලෙස මගේ සහෝදර සහෝදරියන්ට නිරන්තරයෙන් පණිවිඩ යවමි. මගේ බාල සොහොයුරා සහ සොහොයුරිය මා නොමැතිව මෙම කටයුතු කරන්නේ කෙසේදැයි මම සිහිපත් කරමි. එහෙත් ඔබ හා මගේ මුත්තණුවන් ඔවුන් දෙස බලා සිටින බවට වන විශ්වාසය මා තුළ පවතී. මගේ හැඬීම ඔබට ඇසේ නම්, මට ඔබ සමඟ සමාදාන වීමට අවශ්‍ය බව ඔබට දැනගත හැකිනම් එවිට මම ඔබට යන්නට ඉඩ දෙන්නෙමි.

අවදි වන සෑම උදෑසනකම ඔබේ පැමිණීම මට දැනෙන අතර එක්තරා දිනෙක ඔබ යළි නොපැමිණෙන බව වටහා ගැනීමට මම උත්සාහ කරන්නෙමි. මේ මොහොතේ සිට සියලු වගකීම් පවරාගන්නා බව මට ඔබ තදින් වැළඳගෙන පැවසීමට අවශ්‍යය.
ආදරණීය තාත්තේ, ඔබ සන්සුන්ව සැතපෙන්න. කිසිවක් පිළිබඳව තවදුරටත් කරදර නොවන්න. මා දන්නා සෑම පුද්ගලයකුටම වඩා ඔබ බොහෝ වෙහෙස මහන්සි වී සේවය කර තිබේ. දැන් ඔබ විවේක ගත යුතුය... මම ඔබට සදහටම ආදරය කරමි. ඔබ යන කිසිදු ස්ථානයකට මුහුණු ආවරණයක් පැළඳිය යුතු නැතැයි සිතමි, මන්ද ඔබ එයට අකමැති බව දනිමි.

මීට නාචි - ඔබේ ප්‍රියතම දියණිය (එය සත්‍යයකි)

 පරිවර්තනය -  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා