2020 ජුනි 06 වන සෙනසුරාදා

වැසිකිළි වලක් බිලිගත් සොඳුරු දියණිය

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

“දෙල්ගොඩ ඉසිගිලිකන්දෙ ගෙදරක් පිටුපස්සේ පිපිරීමක් වෙලා. පොඩි ගෑනු ළමයෙක් එතනමයි. තව දුවෙකුට තුවාලයි. අම්මාගේ කකුල් දෙකට ගොඩක් තුවාලයි. ඒ දෙන්නානම් හොස්පිට්ල් යැවුවා.”

මේ කියන තොරතුර නිර්නාමික දුරකථන ඇමතුමක් හරහා මීගහවත්ත පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමලරත්න මහතාට ලැබී තිබුණේ පසුගිය 30 වැනිදා පස්වරුවේය. වෙලාව පස්වරු 4.50ට පමණ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉසිගිලිකන්ද ප්‍රදේශයට ගමන් කළේ ඉන් අනතුරුවය.

සවස 5.00 – 6.00 වන විටත් වෙනදා හොඳින් ඉරඑළිය වැටී ආලෝකමත් වී තිබූ ඉසිගිලිකන්ද ප්‍රදේශයේ අහස බොහෝ වේලාවක් පැවතියේ අන්ධකාරය වෙලාගෙනය. පැවති වැහි අඳුර මැද කිසිම එළියක් නොවූ පරිසරය මහා මූසල බවකින් පිරී තිබිණ. ඒ බවක් කිසිවෙකුට නොදැනුණු නිසාමදෝ දෙල්ගොඩ, උඩුපිල, ඉසිගිලිකන්ද පදිංචිව සිටි සුනිල් රත්නායක මහතාගේ දරු පවුල පැය ගණනාවක් තිස්සේ මිදුල අතුගාමින් ගෙවත්ත පිරිසිදු කරන්නට වූවෝය. සැමියාත් බිරියත් දරු දෙදෙනකුත් මේ සුද්ද පවිත්‍ර කිරීමට දායකව සිට ඇත.

නිවැසියන්ගේ මෙහෙය මැද එකිනෙකාගේ කතාබහ අසල්වාසීන්ටද ඇසී තිබිණ. ඒ සමඟ වැහි අඳුරින් අහස වෙලාගෙන පැවති සන්ධ්‍යාවේ ඉසිගිලිකන්ද දෙවනත් කරමින් නැගුණු මහා පිපුරුම් ශබ්දයකි. බොහෝදෙනා සිතා තිබුණේ වැහි අන්ධකාරය මැද අහස ගිගුරුම් දෙන්නට ඇති බවය. එහෙත් අල්ලපු ගෙදර පදිංචිව සිටියේ සුනිල් රත්නායක මහතාගේ බෑණාය. බිරියගේ මහගෙදර පසුපසින් ඇසුණු ශබ්දය කුමක්දැයි සොයාබැලීමට ඔහු එදෙසට දිවගොස් තිබුණි.

“හවස එකපාරටම මහ ගෙදර පැත්තෙන් ලොකු පිපුරුම් හඬක් ඇසුණා. ඒත් එක්ක මම දුවලා ගියා මොකද බලන්න. ගේ පිටිපස්සට යද්දි වැසිකිලි වලේ කොන්ක්‍රීට් එක පිපිරිලා කෑලිවලට වෙන්වෙලා තිබ්බා. ඒ සුන්බුන් මැද්දෙන් මගේ බිරියගේ නංගි තක්ෂිලා වැටිලා හිරවෙලා ඉන්නවා දැක්කේ. මම කෑගහද්දි ගමේ අයත් දුවගෙන ආවා. සුන්බුන් ඉවත් කරගෙන නංගි උඩට ගත්තත් ඒ වෙද්දි නංගි මියගිහින් හිටියේ. අම්මත් සිහි නැතුව වැටිලා හිටියේ කකුල් දෙක හොඳටම තුවාල වෙලා.”ඔහු දුටු දේ එසේ විස්තර කළාය.

මේ අවාසනාවන්ත ඛේදවාචකයෙන් නොසිතූ විලස මියගොස් තිබුණේ එම නිවසේ පදිංචිව සිටි තක්ෂිලා දිල්රුක්ෂි නැමැති 14 හැවිරිදි දැරියකි. ඇය වැලිවේරිය ඇඹරළුව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියාය. නිවසේ වැසිකිළි වළ පුපුරා යාමෙන් වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වාර්තා වූ කරුණු අනුව එම නිවස් හිමි මියගිය දියණියගේ පියා හා පවුලේ උදවිය දවස පුරාම නිවෙස හා ගෙවත්ත පිරිසුදු කරමින් සිට ඇත. දින කිහිපයක පටන් නිවසේ වැසිකිළි වළ ආශ්‍රිතව දුගඳක් හමා තිබුණේ අපද්‍රව්‍ය සිරවීම නිසා බව හඳුනාගෙන තිබුණි. ඊට හේතුව මීයන් හාරා පස් පිරීම  බවද දැනසිටි නිසා තත්ත්වය තරමක් පාලනය කිරීමට පියවරක් වශයෙන් කාබයිට් ප්‍රමාණයක් මිලදීගෙන වැසිකිලි වළේ පැත්තකින් ගලක් ගලවා ඉවත් කර කාබයිට් ඇතුළට දමා යළිත් වසා දමා ඇත. ඉන් පසුව නිවැසියන් මිදුල පවිත්‍ර කරමින් අතුගාන්නට පටන්ගෙන තිබුණේ පැය දෙක තුනක් ගිය පසුවය.

මියගිය දියණිය වැසිකිළි වළේ කොන්ක්‍රීට් තට්ටුව මත අතුගාමින් සිටි අතර මව ඊට තරමක් දුරින් වෙනත් කර්තව්‍යක නිරතව සිට ඇත. ඒ මොහොතේම වැසිකිළි වළ තුළින් මහා හඬක් නැගෙමින් කොන්ක්‍රීට් තට්ටුව පුපුරා ගියේ දියණියට බේරීමට කිසිදු ඉඩක් නොතබාමය. දැරිය තුවාල සහිතව වැසිකිළි වළට ඇද වැටෙද්දී මවගේ කකුල් දෙකට බරපතළ තුවාල සිදුව තිබුණේ කොන්ක්‍රීට් කැබලි වැදීම නිසාය.

නිර්නාමිකව ලද තොරතුර අනුව වහාම ක්‍රියාත්මක වී පැමිණි මීගහවත්ත පොලීසියේ නිලධාරීහු සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළහ. එහිදී අනාවරණය වී ඇත්තේ වැසිකිළි වළේ තිබූ ජලය හා කාබයිට් ප්‍රතික්‍රියා කර වායුවක් සැදී ඇති බවය. වැසිකිළි වළේ ඇතිවන වායුව ඉවත්ව යාමට බටයක් ස්ථාපිත නොකර තිබූ වළේ පීඩනය ප්‍රබල ලෙස ඉහළ නැග තිබෙන අතර එහි උපරිමයට පැමිණීමත් සමඟ විශාල ශබ්දයක් නගමින් කොන්ක්‍රීට් තට්ටුව පිපිරී ගොස් ඇත. එම හේතුවෙන් එහි රුඳී සිටි තක්ෂිලා දැරිය ජීවිතක්ෂයට පත්වූ බවද කොන්ක්‍රීට් කැබලි වැදීම නිසා ඇගේ මව බරපතළ තුවාල ලබා ඇති බවද ඇගේ කුඩා දියණිය සිදුවීමෙන් දැඩි කම්පනයට පත්ව සිටි බවද අනාවරණය කරගෙන තිබේ.

මෙසේ මියගිය දැරියට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු හා බාල නැගනියක් වන බවද සිදුවීමෙන් තුවාල ලැබූ දැරියගේ මව දෙල්ගොඩ නගරයේ ලොතරැයි අලෙවිකරන්නියක වශයෙන් කටයුතු කළ බවද වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශනය සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03