කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ දසවැනි මරණය පසුගිය 25 දින වාර්තා විය. මියගිය තැනැත්තිය කුවේට්හි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලයේ මංකි බ්‍රිජ් යුද හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි කාන්තාවකි.
කුවේටයේ සිට පැමිණි පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් නීති විරෝධී ලෙස එරට රැඳී සිට පසුව පොදු සමාව යටතේ නීත්‍යානුකූල ලෙස එරටින් බැහැර වීමට අවසර ලැබූවන් ලෙස සඳහන්ය. කුවේටයේ සිට ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි සමස්ත සංඛ්‍යාව 466 දෙනෙකි. ඔවුන් අතරින් වැඩි පිරිසක් කොවිඩ් 19 ආසාදිතයන් බැවින් කුවේටයේ සිට මෙරටට පුද්ගලයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
“කුවේටයේ සිට පසුගිය දිනවල ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණියා. එම යානාවලින් පැමිණි පිරිස අතරින් මේ වන විට ආසාදිතයන් පිරිසක් හඳුනා ගෙන තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කර අවසන්. එම පිරිස එරටදීත් පීසීආර් පරීක්ෂණවලට ලක් කෙරුණු බව පැවසෙනවා. එහෙත් ඔවුන් සතුව එම වාර්තා නැහැ.” යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
පසුගිය අප්‍රේල් 30 දා සිට මැයි 24 දා දක්වා වැලිසර නාවික හමුදා කඳවුරින් හැර බාහිරින් කිසිදු රෝගියකු වාර්තා වූයේ නැත. එහෙත් පසුගිය මැයි 24 දින නව ආසාදිතයන් 52කු හඳුනා ගත් අතර ඉන් 50 දෙනකුම කුවේට් හි සිට මෙරට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස අතරිනි. මැයි 25 වැනිදා වන තවත් ආසාදිතයන් 41 දෙනකු වාර්තා විය. ඉන් 40 දෙනකුම කුවේටයේ සිට පැමිණි පිරිසෙනි. අනෙක් පුද්ගලයා ඩුබායි හි සිටි පැමිණියෙකි.
මෙරටින් පළමුවරට කොවිඩ් ආසාදිතයකු හඳුනාගැනීමෙන් පසු එක් දිනයක වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වූයේ පසුගිය මැයි 27 දිනය. එම සංඛ්‍යාව 150කි. ඒ අතුරින් 92කු කුවේට්හි සිට පැමිණිය අය වන අතර පස් දෙනකු චෙන්නායි හි සිටි පැමිණිවුන්ය. ඉතිරි 53 දෙනා නාවික හමුදාවෙනි.
මින් ඉහත කොළඹ බණ්ඩාරනායක මාවත, අටළුගම, අකුරණ වැනි ප්‍රදේශවලින් මෙන් පොකුරු වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීම පාලනය කෙරුණු අතර අවසන් වශයෙන් පොකුරු රෝගීන් වාර්තා වූයේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පමණි. නාවික හමුදා කඳවුරෙන් මේ වන විට හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 693කි. ඉන් සුවය ලද පිරිස 357කි. වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් පොකුරක් ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ එහි පැවැති අධික තදබදය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.. මේ වන විට ඔවුන් වෙනත් නිරෝධායන කඳවුරු වෙත යොමු කර තිබේ. වැලිසර කඳවුරේ මේ වන විට සිටින්නේ අඩු අවදානමක් සහිත පිරිසක් පමණි.
පසුගිය 28 දින කොළඹ ගෆූර් ගොඩනැඟිල්ලේ රැඳී සිටි නාවික භටයකුට කොරෝනා වැළඳී තිබිණි. එම ගොඩනැගිල්ලේ නාවික භටයන් 200ක් පමණ සිටි අතර ඔවුන් නාවික හමුදා රෝහලට සම්බන්ධ අවදානම් කලාපයේ සේවා සැපයූ භටයන් පිරිසකි. මේ වන විට එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම නිරෝධානයට ලක් කර තිබේ.
මැයි 29 දින වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1503 කි. මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 727 දෙනෙකි. සම්පූර්ණයෙන් සුවය ලද 732දෙනකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන 41ක නිරෝධායනය වන පිරිස 4649කි. නිරෝධායනය අවසන් කොට නිවෙස් බලා ගොස් ඇති පිරිස 10795කි.
මේ වන විට වැඩිම ආසාදිතයන් පිරිසක් සහිත නියැදිය බවට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රුඳී සිටින පිරිසය. ඔවුන් මෙරටට පැමිණියේ මැයි 19 සහ 20 යන දෙදින තුළය. එම පිරිසට 466 දෙනකු ඇතුළත් වූ අතර මැයි 29 වන විට එම පිරිසෙන් 321 දෙනකු ආසාදිතයන් බවට තහවුරු වී තිබිණි.
මේ අතර ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 17 දෙනකුද අසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
කුවේටයේ සිට පැමිණි පිරිස කොවිඩ් 19 පොකුරක් ලෙස හැඳින්විය නොහැකියයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. “පොකුරක් යනු එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට පැතිරගොස් දාමයක් ලෙස යන එකක්. මේ පිරිස පිටරට සිටියදී වැළඳී තිබෙනවා. ඔවුන් සිටින්නේ නිරෝධායන මධ්‍යස්ථානවලයි. ඒ අතරින් රෝගීන් බවට තහවුරු වූ පිරිස් රෝහල්වලට යොමු කරනවා. ඔවුන් සමාජයට යවන්නේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ පසුව බැවින් ඔවුන්ගෙන් රෝගය පැතිර යන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.
එහෙත් රෝගය සුව වූ බවට නිගමනය කොට සමාජයට නිදහස් කළ ඇතැම් පුද්ගලයන්ට දෙවැනි වරටත් රෝගය වැළඳී ඇති බවට පසුව අනාවරණ වී තිබේ. එසේනම් රෝගය සුව වූ බවට තහවුරැ වූ කිසියම් පුද්ගලයකුගෙන් යළි කොරෝනා පැතිරීමේ අවදානමක් තිබේදැයි අප විමසූ විට වෛද්‍ය සමරවීර මහතා කියා සිටියේ දෙවැනි වරට යළි රෝග ලක්ෂණ පහළ කරන පුද්ගලයන්ගෙන් කොවිඩ් 19 පැතිරීමේ අවදානමක් නොමැති බවට අධ්‍යයන වලින් තහවුරු වී ඇති බවයි.
දින හැට හයකට පසු එතෙක් ක්‍රියාත්මක කෙරුණු ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. මෙම තත්ත්වය තුළ සමාජ දුරස්ථභාවය හා නිසි සෞඛ්‍ය ආරක්ෂණ විධි දැඩි ලෙස අනුගමනය කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි. කොවිඩ් 19 යම් දුරකට පාලනය වී ඇති බැවින් ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එහෙත් ජනතාව පුද්ගල දුරස්ථභාවය අමතක කරන්නේ නම් එය ඉතා භයානක තත්ත්වයකට මග මග පෑදිය හැකියි. කොවිඩ් 19 ආසාදිත රෝගියකු නිදහසේ හැසිරැණොත් ඔහුගෙන් තවත් විශාල පිරිසකට රෝගය පැතිර යා හැකියි.” යනුවෙන් සඳහන් කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා