2020 මැයි 30 වන සෙනසුරාදා

අලුත් නීතිය හැටියට වෙඩිම ගන්න හැටි

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

මැයි මාසය අවසන් විය. හැම වසරකදීම මංගල මාසය වූ මැයිවල යොදාගෙන තිබූ විවාහ මංගල උත්සව මේ වසරේදී කල්දැමීමට කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සිදුවිය. මංගල මාසයට දින යොදා තිබූ ඇතැමුන් තම විවාහ උත්සව දින නියමයකින් තොරව කල් දැමූ අතර, තවත් සමහරු ඉතාමත් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් තම නිවසේදීම බොහෝම චාම් විවාහ උත්සවයක් ගත්හ. ඒ බොහෝ විවාහ උත්සවවල පෝරැ මල් සැරසිලි, මංගල කේක් නොතිබුණි. අෂ්ඨක, ජයමංගල ගාථා ගායනා නොවුණි. එය විවාහය ලියාපදිංචියටම පමණක් සීමා වී තිබිණි.

කොවිඩ් - 19 වසංගතය මෙරටින් යම් තරමකට මර්දනය වීමත් සමඟ දින ගණනාවක්ම පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් විය. ජන ජීවිතය යම් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතී. මේ අනුව කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව යම් උපදෙස් මාලාවක් රජය විසින් ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මංගල උත්සව සඳහා යම් උපදෙස් මාලාවක්ද ලබාදී තිබේ.

වර්තමානයේ පවතින තත්ත්වය යටතේ සෑමවිටම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට හැකිවන පරිදි අමුත්තන් සංඛ්‍යාව අවම කළයුතු වේ. යම් විවාහ උත්සවයක් නිවසේ හෝටලයක හෝ යම් උත්සව ශාලාවක ගනු ලබන්නේ නම් අමුත්තන්ගේ අසුන් පැනවිය යුත්තේ උත්සව ශාලාවේ පවතින ආසන ප්‍රමාණයෙන් අඩකට හෝ ඊට අඩු පිරිසක් සඳහා පමණි. මෙහිදී ඕනෑම මංගල උත්සවයකට සහභාගි විය හැක්කේ උපරිම සියයකට යටත්ව පිරිසකට පමණි.
මංගල උත්සවයක් පවත්වන්නට අපි අමුත්තන්ට අවසරය ලබලා දෙන්නේ උපරිමයෙන් සියයකට පමණයි. නමුත් එයට උත්සවය ගනු ලබන පරිසරයත් බලපානවා. උත්සවයට සහභාගී වන අමුත්තන් කිසිම කෙනකු කොවිඩ් රෝගයට සම්බන්ධ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ යුතු වෙනවා. ඒ වගේම සහභාගී වන සෑමදෙනාම මුඛ ආවරණය පැළඳීමද අනිවාර්ය වෙනවා. යැයි ජාතික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සභාපති උපුල් රෝහණ දේශයට පැවසීය.

මේ අනුව යම් මංගල උත්සවයකට ආරාධනාවක් ලැබුණද මෙවැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් උත්සවයට සහභාගී නොවී සිටීම ඉතා වැදගත් වේ. එමෙන්ම උත්සව ශාලාවට ඇතුළුවීමට පෙර අමුත්තන්ගේ උෂ්ණත්වය මැනීම මෙන්ම පෝරුව, විවාහය ලියාපදිංචි කරන ස්ථානය, බුෆේ කොටස මෙන්ම ආසන අතරද නිතරම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගත යුතුයි. විවාහ උත්සවය පවත්වන මෙහොතේදී කරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර, නැකැත් ආදිය සිදුකරන අවස්ථාවලදී නිතරම ශාරිරික දුරස්ථභාවය පවත්වා ඒවාට සහභාගිවන්නට වගබලා ගත යුතුය. උත්සවයට පැමිණෙන සියලුදෙනාම පෝරැව ඉදිරිපිට, ලියාපදිංචි කරන ස්ථානය ඉදිරිපිට එක්රුස්වන්නට නොයා යුතුය. එබැවින් එවැනි චාරිත්‍ර සිදුකරද්දී මංගල යුවළගේ ළඟම ඥාතීන් පමණක් (දෙමව්පියන්, සහෝදර සහෝදරියන් ආදී) එයට සහභාගි වීම සුදුසුය. නිතරම ඒ මොහොතේදීත් ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමද උත්සව ශාලාව විවාහ මංගල්‍යයට සූදානම් කරනා විට එකිනෙකා අතර මීටරයක දුරක් තබා ගැනීමට ඇති හැකියාව, ආසන ප්‍රමාණය සහ ඇවිදීමේ අවකාශය මත අවසර ලත් අමුත්තන් ගණන ගණනය කිරීමද කළ යුතුය. නැවුම් වාතය හුවමාරු වන ලෙස, වාතාශ්‍රය වැඩිවන ලෙස ශාලාව සැකසිය යුතුය. පිටතින් ප්‍රමාණවත් තරම් නැවුම් වාතය ලැබෙන ලෙස වායුසමීකරණ යන්ත්‍රයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තහවුරු කර ගැනීමද අවශ්‍යය.

සිප ගැනීම් - වැළඳගැනීම් බෑ:

 

පරිශ්‍රයට ඇතුළුවීමට පෙර සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදා දෑත් සේදීමට හැකි පහසුකමක් ලබාදිය යුතුවේ. මීට අමතරව උත්සව ශාලාවේද ස්ථාන කිහිපයක මෙවැනි දෑත් පිරිසුදු කාරකයක් තබන්නට වගබලා ගතයුතුය.
ආහාර ගැනීමේදී එක්කෙනෙකුට වෙන්වුණ පිඟානක්, කෝප්පයක්, හැන්දක්, ගෑරුප්පුවක් වැනි භාවිත කරන දෑ වෙන් වෙන් වශයෙන් පරිහරණය කළ යුතු වේ. වෙනත් දිනවල මෙන් එකම උත්සවයේදී නැවත නැවත සෝදා භාජන පාවිච්චිය ගත නොහැකි අතර යම් ලෙසකින් එවැනි පරිහරණයක් සිදුකරයි නම් හොඳින් සෝදා නටන උණු ජලයේ සෝදා පරිහරණය කළ හැක. බුෆේ ක්‍රමයට ආහාර ලබාදීමේදී ආහාර පිළිගන්වන්නට පමණක් වෙන්වුණු කාර්ය මණ්ඩලයක් සිටිය යුතු අතර ස්වයං සේවා සඳහා අවසර නැත.

උත්සවයේදී සිපවැළඳ ගැනීම් අතට, අතදීම වැනි දේ නොකළ යුතු වේ. මනාලියට හා මනාලයාට පමණක් නැටුම් අංගනයට පැමිණ නැටුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර උපරිම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් යුත් සීමාවන් යටතේ නර්තන කණ්ඩායමකට ඉඩදිය හැකි අතර ඔවුන්ගේ පෞද්ගලික වේෂ නිරෑපණ භාණ්ඩ භාවිතා කිරීමට ඔවුන්ට උපදෙස් ලබාදිය යුතුය. කිසිම මොහොතක තව කෙනෙකුගේ රෑපලාවණ්‍ය උපකරණ භාවිත නොකරන්නට වගබලා ගතයුතුය. එමෙන්ම මත්පැන් පානය කිරීමටද ඉඩ නොමැත.

• විශාල ප්‍රමාණයක් සහභාගි වන සමූහ ඡායාරෑප සඳහා අවසර නැත. අත්‍යාවශ්‍ය පුද්ගලයන් පමණක් ඡායාරූපවල පෙනී සිටිය යුතුය.
• සෑම විවාහ මංගල්‍යයන් සඳහාම සෞඛ්‍ය ආරක්ෂක සම්බන්ධ නිලධාරියකු පත්කරනා අතර උත්සවය සඳහා සූදානම් වීමේදී සේවාදායකයන් සමඟ සම්බන්ධ වී ඔවුන් දැනුවත් කිරීමට ඔහුව දිරිමත් කළයුතු වෙයි.
• විවාහ උත්සවය සැලසුම් කරන මොහොතේදී අවම වශයෙන් සතියකට පෙර විවාහ උත්සවයට ආරාධනා කොට එයට සහභාගි වේ යැයි බලාපොරොත්තු වන අමුත්තන්ගේ නම සහ ලිපිනය ඇතුළත් ලේඛනයක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි වෙත ලබාදිය යුතුය. මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එම ස්ථානය පරීක්ෂා කොට එම ලේඛනයෙන් උපරිමයෙන් සහභාගි විය හැකි සංඛ්‍යාව පිළිබඳව නිගමනය කරනු ඇත. පසුව එම සහභාගි වන පිරිස එම ප්‍රදේශයේම පදිංචිකරුවන් නම් ඔවුන් නිරෝධායනය කළ ලැයිස්තුවේ හෝ එයට සම්බන්ධකම් දක්වන පිරිසදැයි සොයාබැලීමක් සිදුකරයි. ඔවුන් එම සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ නොවේ නම් ඔවුන් පදිංචි ප්‍රදේශයෙන්ද ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකරයි. විවාහ උත්සවයක් මෙන්ම දානමය පිංකමක් සිදුකරන මොහොතේදීද මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
උත්සවය අවසන් වූ විගස ශාලාව පිරිසුදු කර විෂබීජහරණය කිරීම කළ යුතු වේ.

 දිශානි ජයමාලි කරුණාරත්න