2020 මැයි 30 වන සෙනසුරාදා

සුසුම් හෙළන තොරණ ශිල්පියෝ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

දින හැටහතක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයට සහ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇඳිරි නීතිය පසුගියදා (26) ලිහිල් කිරීමත් සමඟම රට තුළ යම් සාමාන්‍ය ජනජීවිතයක් ගතකළ හැකි වාතාවරණයක් උදාවුණි. නමුත් ඒ රජය සහ සෞඛ්‍ය අංශයන් විසින් පනවා ඇති නීතිරීති හා ක්‍රියා පිළිවෙළවලට අනුකූලවය.

දින ගණනාවක්ම නතර කර තිබූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත වීමත් සමඟම තාවකාලිකව නතරව තිබූ ජනතාවගේ ජීවනෝපායන් යම් දුරකට සාමාන්‍ය තත්ත්වයට පත් වුවද අදටත් සෝ සුසුම් හෙලමින් අවිනිශ්චිත හෙට දවස වෙනුවෙන් කඳුළු සලනා මිනිසුන් එමටය. ඒ අතරින් තොරණ නිර්මාණකරුවෝද සිටිති.

අලුත් වසරක් උදාවෙද්දීම මෙම නිර්මාණකරැවෝ ඉතා කාර්යබහුල වෙති. මැයි මාසයේදී රටපුරා ප්‍රදර්ශනය කරන තොරණ සඳහා ඔවුන්ට අඩුම තරමේ ලකලැස්ති වන්නට මාස හයක්වත් අවශ්‍යය. ඇතැම් තොරණ නිර්මාණකරුවෝ එකම වසරේදී තොරණ දෙක තුන ප්‍රදර්ශනය කරති. මේ බොහෝ නිර්මාණකරුවන්ගේ එකම ජීවනෝපාය වූයේද එයයි. මෙය දම්වැලකි. තොරණක් නිර්මාණය වෙද්දී ඒ සඳහා දායක වන පිරිස් බොහෝය. විදුලි බුබුළු දල්වමින් මහ විශාල තොරණක් දිස්වුවද ඒ අලංකාරය පෙන්වන්නට දහඩිය, කඳුළු හෙළන මිනිසුන් අප්‍රමාණය. එකල පුවක් කොට යොදා සවිකළ සැකිල්ලේ විශාල තොරණ කොටස් සවි කරමින් තොරණ නිර්මාණය වුවද අද බොහෝවිට මෙම සැකිල්ල නිර්මාණය වන්නේ යකඩ කණු ආධාරයෙනි. මේ නිසාම උස් යකඩ කණු මත නගිමින් ඉදිකරන මෙම තොරණ නිර්මාණය කිරීමට ඇතැම්විට ඔවුන් සිදුකරනුයේ අවදානම් කටයුත්තකි.

පසුගිය වසරේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමඟම තොරණ නිර්මාණ ශිල්පියාගේ ජීවිකාවට එල්ලවූයේ මරු පහරකි. මාස ගණනාවක් තිස්සේ මහන්සි වෙමින් දහඩිය හෙලමින් නිර්මාණය කරන්නට සැරසුණු තොරණේ අසිරිය රටටම පෙන්වන්නට සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය හරස් වුණි. මේ නිසාම තොරණ නිර්මාණ ශිල්පීහු ණයකරුවන් බවටද පත්වූහ.

මෙවර කොරෝනා වසංගතයත් සමඟම මෙම නිර්මාණකරැවෝ තව තවත් අසරණ වූහ. ඔවුහු කබලෙන් ළිපට වැටුණාහ. වසරක් තිස්සේ ණයකාරයා ලෙසින් හංවඩු ගැසුණි. හිතේ කණස්සල්ලෙන් සීටි ණයතුරුස්වලින් නිදහස් වන්නට තොරණ ඉදිකරන්නට සැරසුණු, ඔවුහු කොරෝනා වසංගතයත් සමඟ තව තවත් අසරණ වූහ.

ගිය වසරේ අප තොරණ ඉදිකරන්න පටන් ගත්තේ අපේ ගෙය උගස් තියලා. ඊට අමතරව පොලියටත් සල්ලි ගත්තා. කොහොමටත් විශාල තොරණක් නිර්මාණය කරන්න ලක්ෂ විස්සක් විතර වැයවෙනවා. තොරණට අනුග්‍රහය අපිට සමිතියකින් එම මුදලින් කොටසක් පමණ ලැබෙනවා. ඉතිරි මුදල් අපි පොලියට ගෙන තමයි තොරණ නිර්මාණය කරන්නේ. හැබැයි පොලියට මුදල් ගන්ඩ කිසිම බයක් වෙන්නේ නැහැ. ඒ මුදල් තොරණ ප්‍රදර්ශනය කරලා අපිට ලබාගන්න පුළුවන්. හැම වසරකදීම අපි පොලියට ගත්තු මුදල් සහ සියලුම වියදම් තොරණ ප්‍රදර්ශනය කළාට පසුව ඒ මුදල් පියවන්න පුළුවන්. නමුත් ගිය වසරේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක අපි නැත්තට නැතිවුණා. බැංකුවෙන් ගත්තු ණය යාන්තමින් පියවාගෙන ආවා විතරයි. ආයෙත් මේ පාර කොරෝනා වසංගතයත් එක්ක තවත් ණය කන්දක් ඒකට ගෙඩ ගැහුණා... යැයි තොරණ නිර්මාණ ශිල්පි අජිත් කුමාර දේශයට පැවසීය.

අජිත් දකුණේ කලාකරැවෙකි. ඔහු බොහෝ විට එක වසරකදී තොරණ දෙකක් හෝ තුනක් නිර්මාණය කරති. ඒ විවිධ පළාත්වලය. වෙසක් සමයෙන් ඇරඹෙන එය පොසොන් සමය වනතුරු ප්‍රදර්ශනය කෙරේ. තොරණක් නිර්මාණය කිරීමට ඔවුහු මාස හයක හතක කාලයක් වෙන්කරති. තොරණක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. පොල් කඳන් ඉරීමේ සිට චිත්‍ර ඇඳීමට, විදුලි ආලෝක කිරීමට, තොරණ කතා පුවතට හඬ කැවීමට බොහෝ පිරිසක් එකතු වෙති. එපමණක්ම නොව විදුලි බල්බයක් පාට කිරීමේ සිට මෙය ඉතා සියුම්ව ඉවසීමෙන් කළයුතු නිර්මාණ කටයුත්තකි.

මේ පාරත් අපි මේ තොරණවලට විශාල මුදලක් යටකළා. චිත්‍ර ශිල්පීන්ට පවා අපි මුදල් දීලා තියෙනවා. ඔවුන් චිත්‍ර අඳිමිනුයි සිටින්නේ. ඇතැම් චිත්‍ර ඇඳලත් ඉවරයි. තොරණක් නිර්මාණය කරද්දී වෙනමම සේවක පිරිසක් අපි යොදාගන්නවා. පරණ තොරණේ බල්බ් ගලවල ඒක හොඳට සෝදලා ආයෙත් සායම් ගල්වන්න ඕන. ඒ හැමදේටම අපි මුදල් දෙනවා. බට කූඩු සවිකරලා එල්ලන්න තවත් පිරිසක් ඉන්නවා. එක බල්බයක් පාස්සන්නට අපි රුපියල් හයක් වැනි මුදලක් වැය කරනවා. සාමාන්‍යයෙන් එක තොරණකට බල්බ් තිස්දාහක්, හතළිස්දාහක් පමණ තිබෙනවා. මේ පාර මේ කොරෝනා වසංගතය නිසා කරකියාගන්න දෙයක් නැතිව ඉන්නේ. හතර වටේටම ණය වෙලයි ඉන්නේ. අපිට කිසිම සහනයකුත් නැහැ. ගේ උගස් තියල බැංකුවකින් ලෝන් අරගෙන තියෙන නිසා ලෝන් එකක් ගන්න විදිහකුත් නැහැ. ඒ තරමටම අපි ගොඩක් අසරණ වෙලයි ඉන්නේ. අඩුම ගානේ අපි වගේ අසරණ වුණු අයට මේ ණය මුදලින් බේරෙන්නට අඩුම පොලියට බැංකු ණයක් හදලා දෙනවා නම් ඒක ලොකු දෙයක්. නැත්නම් මේ කලාව ඉස්සරහට ගෙනියන්න අපිට බැරිවෙනවා. මේ තොරණ ශිල්පීන් හැමෝම අද ඉන්නේ ලොකු කලකිරීමෙන්. යැයි අජිත් කුමාර වැඩිදුරටත් දේශයට පැවසීය.

අජිත් පවසන පරිදි මේ සියල්ල අතහැර විදෙස්ගත වන්නට හිතුණු වාර අනන්තය. නමුත් ඉතා කැමැත්තෙන්, භක්තියෙන් කරනා මේ නිර්මාණ කටයුත්තෙන් ඈත්වන්නට ඔහුට සිත් නොදෙයි. එක් පසෙකින් ණය කන්දය. අනෙක් පසෙන් වසරක් පාසා ප්‍රදර්ශනය වන තොරණේ අසිරියයි. පාස්කු ප්‍රහාරයෙන් ගොඩඑන්නට හීන දැකපු අජිත්ලාගේ සිහින සියල්ල කොරෝනා වසංගතය බිඳ දැමීය. රජයේ සේවකයකු නිවසේ සාමාජිකයකු වීම නිසාම රජයෙන් ලබාදුන් රුපියල් පන්දහසේ සහන දීමනාව අජිත්ට නොලැබුණි. ඔවුහු එක් මාසයකට රුපියල් හැටදහසක් පමණ පොලිය ගෙවති. අජිත් වසර දහතුනක සිට තොරණ කලාවේ නියැලෙන්නෙකි. කැමැත්තත්, භක්තියක් නිසා ඔහුගේ හිත තොරණ කලාවට ඇදී ගියේය. තොරණේ ඉදිවී ඇති කතාපුවත දැකබලා ගන්නට, නිවි නිවී දැල්වෙන විදුලි බල්බවල ආලෝකයෙන් අපූරැවට දිස්වෙන තොරණේ අසිරිය දැකබලා ගන්නට එන ජනතාව නිසාම ඔවුන්ගේ සතුට මෙම තොරණ නිර්මාණයන් ඉදිකරන්නට දිරිදෙයි. විශාල ලාභයක් නොලැබුණද දුක් විඳිමින් අව්වට වේලෙමින්, වර්ෂාවට තෙමෙමින් ඉදිකළ තොරණ දැකබලාගන්නට එන පිරිස දකිනා අජිත්ලාට හිතට දැනෙන සැනසුම අපමණය. නමුත් අද ඒ සියලුම හිත් එකම දුක් ගොඩකය. අද ඔවුන් හෙලනා සැම හුස්මකම මහ බරක් දැනේ.

හැම වසරකදීම මම තොරණ දෙක තුනක චිත්‍ර අඳිනවා. මේ පාර මම බාරගත්තේ එක තොරණක් විතරයි. ගිය පාර පාස්කු ප්‍රහාරයත් එක්ක අපි හිටියේ ලොකු කලකිරීමකින්. මේ වසරේ කෙසේ හෝ ඒ පීඩනයෙන් ගොඩඑන්න හිතුවත් කොරෝනා වසංගතයත් එක්ක ඒ සියලු බලාපොරොත්තු බිඳ වැටුණා. මේ පාර මම අඳින්න බාරගත්තු චිත්‍රත් මම ආයෙත් බාගයක් ඇඳලා බාරදුන්නා. තොරණක් අඳින්න මම මාස ගාණක ඉඳන් පටන් ගන්නවා. වෙන වසරවලදී තොරණ තුනක් වගේ කරන නිසා ඒ කාලේදී වැඩ බොහෝමයි. මේ පාරත් සම්පූර්ණ තොරණේම මූලික තීන්ත කෝඩ් එක ආලේපනය කළා. එක සාමාන්‍ය තොරණකට ලක්ෂ දෙකක්, දෙකහමාරක් පමණ මුදලක් වැයවෙනවා. තීන්ත සියල්ලම ඔවුන් මට ගෙනැත් දෙනවා. චිත්‍ර අඳින්න මට ගෝලයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. මේ පාර ඒ හැමෝටම මුදල් ගෙව්වේ මගේ අතේ මුදලින්. අපි වගේ කලාකරැවන් ගැන බොහෝදෙනා හිතනවා හරිම අඩුයි. මේක බොරැවෙන් හම්බකරන රුකියාවක් නොවේ. හිතේ භක්තියෙන් අපි අඳින චිත්‍රවලට, අපේ මහන්සියට අද වටිනාකමක් නැහැ. යැයි චිත්‍ර ශිල්පී චාමර දිලුෂාර දේශයට පැවසීය.

ඔවුන් පවසන්නේ දුක් විඳ නිර්මාණය කළ තොරණවලට අද කිසිදු වටිනාකමක් නැති බවය. නොසිතූ මොහොතක කොරෝනා වසංගතය මුළු රටම ආපස්සට ගෙන ගොස් තිබේ. තොරණ නිර්මාණකරුවන්ගේ ජීවිතද ආපස්සට ගොස් තිබේ. ඔවුන් සියලුම දෙනා ඉල්ලා සිටින්නේ ඔවුන් ගෙන ඇති ණය මුදලට හෝ යම් සාධාරණයක් කරනා ලෙසය.

ලංකාවේ තොරණ නිර්මාණ කරන සියලුම ශිල්පීන් අද පසුවන්නේ දැඩි අපහසුතාවයෙන්. නිර්මාණය කළ තොරණ ප්‍රදර්ශනය කරන්නට අද අවස්ථාව ලැබෙන්නේ නැහැ. තොරණ ප්‍රදර්ශනය කරන්නට පෙර මාස කිහිපයකට පෙර සිටම ඒකට විශාල මුදලක් අපි යට කරනවා. තොරණක් වෙසක් එකම ප්‍රදර්ශනය කළාට පසුව පොසොන් එකටත් මේ තොරණම ප්‍රදර්ශනය කරනවනේ. අපි බොහෝ වෙලාවට යම් ලාභයක් ලබන්නේ ඒ පොසොන් කාලේදී ප්‍රදර්ශනය කිරීමෙන්. නමුත් ගිය වසරේදී වගේම මේ වසරේදීත් ඒ අවස්ථාව අපිට නොලැබී ගියා. සේවක මුදල් පවා අපිට ගෙවාගන්න බැරිවෙලා තියෙනවා. අපි එක අවුරුද්දකට තොරණ දෙකක් ප්‍රදර්ශනය කරනවා. අපිට සමිතියකින් මුදල් අනුමත වන්නේ ලක්ෂ දහහතක් වගේ මුදලක්. නමුත් ඒ මුදලින් තොරණක් සම්පූර්ණයෙන්ම නිමකරන්නට අපහසු වෙන වෙලාවක් තිබෙනවා. අද වනවිට වෙළෙඳපොළේ බඩුමිල ඉහළ යනවා. මේක ලොකු ලාභයක් තියෙන දෙයක් නෙමේ. මේ වසරේදීත් අපි තොරණ නිර්මාණය කරලා අවසන් කළා. නමුත් ඒ හැමදේම ප්‍රදර්ශනයට කරන්නට අපි අවස්ථාව ලැබුණේ නැහැ. යැයි තොරණ නිර්මාණ ශිල්පී ශ්‍රීනාත් රුබේරු දේශයට පැවසීය.

වර්තමානය වනවිට තොරණ නිර්මාණ ශිල්පීහු එකසිය විස්සක් - එකසිය තිහක් පමණ තම නිර්මාණකරණයේ නියැලෙති. ඔවුන් මේ වසර දෙක තුළම පසුවන්නේ දැඩි අපහසුතාවයෙනි. පාස්කු ප්‍රහාරයෙන් ගිය වසරේදී ඔවුන්ගේ ජීවනෝපායට යම් අනතුරක් ඇඟවිණි. මේ වසරේදී කොවිඩ් 19 වසංගතය ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ හෙළා තිබේ. අහස උසට ගොඩගැසෙන ණය කන්දරාව කවදා ගෙවා නිමකරන්නටදැයි ඔවුහු නොදනිති.

I දිශානි ජයමාලි කරුණාරත්න