2020 මැයි 30 වන සෙනසුරාදා

කොළඹින් බූස්සට මාරුවීම් ලබන පාතාලයෝ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

හිරගෙවල්වල සිට සිදුකරන මත්කුඩු ජාවාරම, කප්පම් ගැනීම, කුලියට මිනීමැරීම හා පැහැරගැනීම්වල අඩුවක් නැත. මෙවැනි අපරාධ එළිකර ගැනීමත් අසීරුය. ඒවා තුරන් කිරීමට හෝ ඊට එරෙහි පියවර ගැනීම ද ගැටලුවක් වී ඇත්තේ තත්ත්වය ඔඩුදුවා ඇති බැවිනි. පාතාල අපරාධකරුවන් හිරගෙදරදී විශේෂ ගණයේ අපරාධකරුවන් වශයෙන් හඳුන්වා තිබියදී ඔවුහු හිරගෙදර රජගෙදරක් කරගෙන සිටිති.

එම සැපපහසුව හා ජීවිත ආරක්ෂාව නිසාම බොහෝ දාමරිකයන් හා පාතාලයන් හිරගෙවල් තෝරාගෙන සිය නවාතැන ලෙස භාවිත කරති. මොවුන්ගෙන් සැකකරැවන් රාශියක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අතර සෙසු අපරාධකරුවන් මැගසින් හා වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටිති.

නමගිය මත්කුඩු ජාවාරම්කරැවන් හා පාතාල නායකයන් ඇතුළු ප්‍රබල ගණයේ අපරාධකරුවන් රැසක් දැනටමත් පෙර කී බන්ධනාගාරවල රඳවා සිටිති. මේ අයගෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමකොට ඇති හා බරපතළ අපරාධකරුවන් 150කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට තීරණය කොට තිබේ. ආරක්ෂක අමාත්‍යංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කිහිපයක තීරණයක් අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අදාළ පියවර ගැනීමට නියමිතය. මෙහි පළමු අදියර වශයෙන් තෝරාගනු ලැබූ ප්‍රබල ගණයේ අපරාධකරුවන් 40ක් පමණ ඉදිරි සතියක පමණ කාලයකදී බූස්ස බන්ධනාගාරය වෙත රුගෙන යාමට නියමිත බව වාර්තා වේ.
බූස්ස බන්ධනාගාරය තුළ ප්‍රබල පාතාල අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් පමණක් දැඩි ආරක්ෂාවක් යටතේ රැඳවීමට ආරක්ෂක අංශ ප්‍රමුඛව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබිණ. එම වැඩපිළිවෙල යටතේ මේ වනවිටත් මූලිකව හඳුනාගත් අපරාධකරැවන් කිහිපදෙනකු මීට දින කිහිපයකට ඉහතදී බූස්ස බන්ධනාගාරයට යවා ඇතැයි ද එම පිරිස අතර මහර බන්ධනාගාරයේ සිටි රුඳවියන් කිහිපදෙනකු වන බවද වාර්තා වේ.

කොළඹ වැලිකඩ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාරවල සිට බූස්ස බන්ධනාගාරයට මාරැ කිරීමට නියමිත රැඳවියන් බහුතරය එම බන්ධනාගාරවල රැඳී සිටියදී මත්කුඩු ජාවාරම හා කප්පම් ගැනීම ඇතුළු පාතාල ක්‍රියාකාරකම් ගණනාවක් මෙහෙයවූවන් බවටද හඳුනාගෙන තිබේ.

මෙම අපරාධකරුවන් පිරිස බූස්ස බන්ධනාගාර භූමියේ විශේෂයෙන් ස්ථාපිත සිර මැදිරියක රැඳවීමට නියමිතය. ඒ අනුව එම සිර මැදිරි ආශ්‍රිතව රාජකාරියේ නිරත වන බන්ධනාගාර නිලධාරීන් සඳහා සුවිශේෂී පුහුණුවක් ලබාදී සේවයට අනුයුක්ත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී. මේ අතර ඉහළ පෙළේ බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ මෙකී රැඳවියන් බූස්සට මාරු කිරීමට සමගාමීව එතෙක් බූස්ස බන්ධනාගාරයේ රාජකාරියේ නියුතුව සිටි නිලධාරීන් රැසකට ස්ථාන මාරු ලබා දී ඇති බවත් ඉදිරියේදීත් එම ක්‍රියා මාර්ගය ගැනීමට නියමිතව ඇති බවය.

පසුගිය 2019 වර්ෂයේ මැද හරියේදී ද මෙවැනිම රැඳවියන් පිරිසක් බූස්ස බන්ධනාගාරයට මාරු කර ගැනීමට එවකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබිණ. ඒ වනතෙක් ත්‍රස්ත විමර්ශන කාර්යංශය බාරයේ පැවති බූස්ස බන්ධනාගාරය එම කාර්යය වෙනුවෙන් නැවත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බාර දීමද එම සමයේ සිදුකෙරිණි. මේ ආකාරයට හඳුනාගෙන තිබෙන ප්‍රභල ගණයේ මත්කුඩු ජාවාරම්කරැවන් හා පාතාල අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයේ රුඳවීමට ගන්නා පියවර තුළ ඇති විශේෂ ආරක්ෂාව කුමක්ද? 

එහි පිහිටීම ඉතා විශේෂ හා ආරක්ෂිත බව අදාළ අංශවල නිගමනය වී තිබේ. එම බන්ධනාගාරය පසෙකින් යුද හමුදා කඳවුරක් පිහිටා ඇති බවත් අනෙක් පසින් බන්ධනාගාරයට යාබදව නාවික හමුදා කඳවුරක් මෙන්ම ආසන්නයේම පොලිස් අභ්‍යාස විද්‍යාලය පිහිටුවා ඇති නිසා අවට පරිසරයේ දැඩි ආරක්ෂාවක් පවතින බව කියැවේ. මේ හේතුවෙන් යම් අයෙක් එම භූමිය දෙසට යන්නේනම් දැඩි පරික්ෂා කිරීමකට ලක් කෙරෙන බවද විශාල තාප්ප තුනකින් පමණ බන්ධනාගාර භූමිය වටකර තිබෙන බවද කියැවේ. මේ ආකාරයට දැඩි ආරක්ෂිත භූමියක පිහිටි බූස්ස බන්ධනාගාරයේ මීට ඉහතදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වූ රැඳවියන් රඳවා තැබීමට ද යොදා ගනු ලැබීය.
මෙසේ මාරු කිරීමට නියමිත රැඳවියන් රැසක් විරුද්ධ පාතාල කල්ලිවල හා ජාවාරම් කල්ලිවල මරණීය තර්ජනයට ලක්ව සිටින්නන් බව කියති. ඒ අතර බහුතරයක් මාකඳුරේ මාධූෂ්ගේ කල්ලියෙන් තර්ජනයට ලක්වූවන් වන බව වාර්තා වන්නේ බුද්ධි අංශ තොරතුරු අනුවය. මේ අයගෙන් වැඩි ප්‍රමාණයකට කොළඹ අධිකරණවල නඩු විභාග වෙමින් පවතී. ඒ අනුව අදාළ නඩු දිනයන්හිදී එම රැඳවියන් කොළඹ රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුවනු ඇත. පාතාල සාමාජිකයන්ට පවතින ජීවිත තර්ජන හමුවේ එය ඉතා බරපතළය.

එම තත්ත්වය රැඳවියන්ගේ පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ගේ ද ජීවිත අවදානම පිළිබඳ ගැටලුවකි. මීට ඉහතදී බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කළ අවස්ථාවලදී එල්ල වූ මාරාන්තික ප්‍රහාර දෙස විමසීමේදී තත්ත්වයේ බරපතළ බව වටහාගත හැකිය.
මෙසේ සිරකරුවන්ව සිටින පාතාල නායකයන් හා කුඩු ජාවාරමුන් සමාජයට පිළිලයක් වූ චරිතයන්ය. ඔවුන්ට එරෙහි තර්ජන හමුවේ බන්ධනාගාර නිලධාරීන්ට අනතුරක් නැතැයි සිතීම මුසාවකි. එබැවින් මෙවැනි රැඳවියන් සිටින බන්ධනාගාරවල රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් විධිමත් වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවද පෙන්වා දෙමු.

 සමන්ත ප්‍රදීප් විල්තෙර