කොවිඩ් 19 වසංගතයේ දෙවැනි උච්ඡතම අවස්ථාවක් මතුව ඒම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ගිය සතිය ආරම්භයේ අනතුරු ඇඟවූයේය. තවමත් ලෝකය කොවිඩ් 19 පළමු රැල්ල මැද සිටින බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය මයික් රයන් කියා තිබුණි. මේ අතර කොවිඩ් 19 සඳහා නිසි එන්නතක් සොයා ගැනීම තවමත් ආයතන අතර තරගයක් බවට පත්ව තිබේ. එන්නත් කිහිපයක් සඳහාම කඩිනම් සායනික පරික්ෂණ අරඹා හමාරය. නමුත් නිසි එන්නතකට තවමත් වට්ටෝරුව පෙළ ගැසී නැත.
දෙවැනි කොවිඩ් රැල්ල
ලෝක සෞඛ්‍යය සංවිධානය කියන්නේ අප තවමත් සිටින්නේ රෝගය සැබවින්ම වර්ධනය වෙමින් පවතින අවදියක බවය. ඕනෑම වේලාවක ලෝකයේ ඕනෑම තැනක රෝගය ඉහළ යා හැකි බවත් දෙවැනි උච්ඡතම අවස්ථාවකට වුවද මුහුණදීමට සිදුවිය හැකි බවත් එය කියයි. එය සනාථ කරන වාර්තාවක් මෙවරද මුලින්ම ඉදිරිපත්ව ඇත්තේ චීනයෙනි. චීනය මේ වනවිට දෙවැනි කොවිඩ් රැල්ලකට මුහුණ දී සිටියි. එරට ජීලින් පළාතේ 700,000 ක් ජනතාව ජීවත්වන සම්පූර්ණ නගරයක්ම සතියේ මුලදී ලොක්ඩවුන් කළේය.
එය වූහාන් පළාතේදී සිදුකළ ලොක්ඩවුන් කිරීමට සමාන, දැඩි නීතිරීති මත සිදුකරන තත්ත්වයකි. මේ අනුව නගරය වෙතට සහ නගරයෙන් පිටතට ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර නගරවාසීන්ට සිය නිවෙස්වලින් බැහැර වීම සපුරා තහනම්ය. මේ වනවිට මිලියන 4ක ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් ද සම්පූර්ණයෙන්ම නිරෝධායනය කෙරෙමින් පවතියි. මෙයට පෙර චීනය වූහාන් පළාත, යථා තත්වයට පත් වූ බව කීවත්, එයින් පළමු පොකුරු රෝගී තත්ත්වය (ක්ලස්ටර් ඉෆෙක්ට්) වාර්තා වූයේ මැයි 11 වැනිදාය. දැන් මේ නැඟී එන චීනයේ දෙවැනි කොවිඩ් රැල්ල පිළිබඳ මුලින්ම වාර්තා වූයේ අප්‍රේල් 3 වැනිදාය.
ඉකුත් සතියේ ලංකාවේද රෝගීන් වාර්තාවීම නොසිතු මට්ටමකින් එක්වරම ඉහළ ගියේය. ඒ එක් දිනකදී 137 දෙනෙක් වාර්තා වීමත් සමගිනි. නමුත් මේ රෝගීන් බහුතරය පිටරට සිට ගෙන්වා ගත් ශ්‍රමිකයන් අතරිනි. සියල්ලෝම නිරෝධායනයට ගිය අයයි. ඒ සමගම රජය තවත් රෝහල් දෙකක් අලුතෙන් COVID-19 ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට තීරණය කළේය. ඒ තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහලයි. ඒ අනුව රෝහල් 38ක් කොරෝනා ප්‍රතිකාර සඳහා දැන් වෙන්ව ඇත.
මරණ නොමැති රටවල්
තවමත් අප රට තුළ COVID-19 සමාජීය පොකුරු වශයෙන් පැතිරීම උග්‍ර වී නැත. ලංකාවේ වාර්තාගත මරණ සංඛ්‍යාවද 10දක්වා ඉහළ ගියේ පිටරට සිට ආ තැනැත්තියකගේ මරණයත් සමඟිනි.
මේ අතර ලෝකය පුරා සමස්ත ආසාදිත පිරිස 5,752,944ක් පන්නා තිබුණි. මරණ 354,162ක් පන්නා වාර්තා වූයේය. ලොව රටවල් 213ක් වසංගතයේ ගෙදුරු බිම් බවට පෙරැළී තිබුණි. නමුත් රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකින් මේ වනතුරුද මරණ වාර්තා වී නැත.
පුටින්ගේ උදානය
මරණ සහ රෝගි ලැයිස්තුවේ මුලට අමෙරිකාව පැමිණියේ අසාදිතයන් 1,727,992ක් සහ මරණ 100,629ක් වාර්තා කරමිනි. දෙවැනි තැන ගත්තේ බ්‍රසීලයයි. එරට අසාදිතයන් 394,507ක් සහ මරණ 24,593ක් වාර්තා විය. රුසියාව තුන්වැනියා විය. අසාදිතයන් 370,680 ක් සහ මරණ 4029ක් පන්නා තිබුණි. පසුගිය සති කිහිපයේ එරටින් දෛනිකව ආසාදිතයින් 10,000කට වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනුණද මේ වනවිට එම සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇත. එම නිසාදෝ එරට ජනාධිපති ව්ලැද්මීර් පුටින් කීවේ සිය රට කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථාව මේ වනවිට පසුකර ඇති බවකි.
ස්පාඤ්ඤය ඊළඟට වැඩිම රෝග-ග්‍රස්ථ රටයි. වසංගතයෙන් මියගිය ස්පාඤ්ඤ ජාතිකයන් සිහි කිරීමට එරට රජය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශ කරන්නට යෙදුණි. එම වසංගතයෙන් එරට මියගිය පිරිස 30,000 කට ආසන්නය. ස්පාඤ්ඤයෙන් 283,339 කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තා විය. ලෝකයේ ඉකුත් සතිය අවසන වන විට අසාදිතයන් ගණන ලක්ෂය පැන්නූ රටවල් 12ක් දක්නට ලැබුණි. ඒ අතරට අලුතෙන්ම එක්ව සිටියේ පේරු රාජ්ජයයි. පේරු සියලු ආරක්ෂක විධිවිධාන සපුරා තිබුණද එරට මරණ සංඛ්‍යාවද 3,788 ලෙස වාර්තා විය. ආසාදිතයන් 129,751ක්ව තිබුණි.
නවසීලන්තය ගැලවෙයි
අපේ අසල්වැසි ඉන්දියාවද ආසාදිතයින් ලක්ෂය පැන්නු රටවල් අතර විය. ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 155,815 ඉක්මවා ඇත. එක් දිනකදි එරටින් නව ආසාදිතයින් පන්දහසකට අධික පිරිසක් වාර්තා විය. මරණ ගණන 4390ක් පන්නා තිබේ.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස නවසීලන්තය සැලකෙයි. එරට වෛරස ආසාදිත සියලු රෝගීන් මේ වනවිට සුවය ලබා ඇත. රෝහල්ගතව සිටි අවසන් රෝගියාද පූර්ණ සුවය ලබා ඉකුත් සතිය මුලදී රෝහලෙන් පිටව ගොස් තිබුණි. නවසීලන්තයේ වෛරස ආසාදිතයින් 1,504 ක් වාර්තා වූ අතර සිදුවූ මරණ සංඛ්‍යාව 21ක් වේ. ජනගහනය 4,818,440ක් වූ එරට කොවිඩ් 19 සඳහා පරීක්ෂණ 267,435ක් සිදුකර තිබුණි.
චීනය දොර අරියි
වෛරස පාලනයට තදින්ම ක්‍රියාකළ රටක් වූ දකුණු කොරියාව එම නීති තවමත් ලිහිල් කර නැත. නිරෝධායන නීති කඩකළ පුද්ගලයෙකු හට දකුණු කොරියානු අධිකරණයක් මාස 4ක සිර දඩුවමක් නියම කර තිබුණේ පසුගිය සතියේය. වෛරසය ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම් එල්ල වූ ප්‍රදේශයක් වන ගියොන්ගි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හට මෙම දඬුවම නියම වී ඇත. අදාළ පුද්ගලයාට නිවසේ හෝ නිරෝධායන මධ්‍යස්ථානයකදී නිරෝධායනයට යොමුවන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබුණි. කෙසේ වෙතත් එම පුද්ගලයා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පොදු ස්ථානවල නිරන්තරයෙන් ගැවසී ඇති අතර ඒ අනුව එරට අධිකරණයක් විසින් ඔහුට සිරදඩුවම් නියම කර තිබේ.
කොවිඩ් -19 වෛරසය මුල් වූ සාධකය සොයාගැනීම සඳහා වන පරීක්ෂණ සඳහා මැදිහත්වීමට ජාත්‍යන්තරයට ඉඩදීමට සූදානම් බව චීන විදේශ ඇමති වැන්ග් යී ගිය සතියේ කීය. එහෙත් ඕනෑම විමර්ශනයක් දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. වෛරසය මුල්වරට හඳුනාගත්තේ චීනයේ වූහාන් නගරයෙනි. මේ නිසා අමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තරයේ සමහරු මෙය චීනයේ නිෂ්පාදිත ජෛව අවියක් යැයි සැකය මතුකර තිබුණි. ඔවුහු ජාත්‍යන්තර පරීක්ෂක කණ්ඩායමක් චීනයට යවන්නට ඉල්ලා තිබුණද චීනය මේ වනතුරු එයට එරෙහිව සිටියේය. දැන් කොරෝනා වෛරස පිළිබඳ පරීක්ෂණ සඳහා විනිවිදව සහ විවෘතව එක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කර තිබේ.
පෙත්තට වැඩ වරදියි
මේ අතර කොරෝනා වෛරස මැඩපැවැත්වීම සඳහා සායනික පරීක්ෂාවන්ද අරඹා තිබූ මැලේරියා පෙත්ත හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අත්හදා බැලීම නැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. සෞඛ්‍ය ආරක්ෂිත හේතූන් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කර තිබුණි. ලෝ ප්‍රකට වෛද්‍ය සඟරාවක් වන LANCET මෑතකදී පළකළ අධ්‍යනයකින් එම ඖෂධය COVID-19 රෝගයෙන් මියයාමේ අවදානම වැඩි කරන බව අනාවරණය කර තිබුණේය. මේ පෙත්ත භාවිතයට සිය ජනතාව දිරි ගන්වමින් ක්‍රියා කර තිබුණේ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති බොල්සෙනාරෝය. මේ දෙරටම වෛරස මැඬීමේ සටනින් පැරදී තිබේ. මේ දෙදෙනාම ජන අප්‍රසාදයට සහ ලෝකාපවාදයට ලක්ව හමාරය.
ඇඟිලි කොට නම් මරණේ නියතයි
කොවිඩ් 19 රෝගය සහ එය සාදන SARS cov2 වෛරසය ගැනත් අමුතු මාදිලියේ වාර්තා ඉකුත් සතියේ එළි දැක්කේය.
කෙනෙකුගේ මුදු පළදින ඇඟිල්ල හෙවත් වෙදැඟිල්ල දිග නම් ඒ අය SARS cov2 වෛරසය හේතුවෙන් මියයාමේ අවස්ථාව අවම බවට එවැනි එක් වාර්තාවක කියා තිබුණි.එංගලන්තයේ ස්වෝන්සී විශ්ව විද්‍යාලයේ විද්වතුන් සිදු කළ පරික්ෂණයකට අනුව මේ අරුම පුදුම නිරීක්ෂණය සිදුකර ඇත. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ රටවල් 41ක් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණ අනුව මෙම කල්පිතය ඉදිරිපත් කළ බවයි. වෙදැඟිල්ල කොට මිනිසුන් ඇති රටවල කොවිඩ් 19 මරණ ප්‍රමාණය අන් රටවලට වඩා සියයට 30කින් ඉහළ බව මේ වාර්තාව කියයි. ඔවුන් කියන කොට ඇඟිලි සහිත රටවල් 10ට එංගලන්තය, බල්ගේරියාව සහ ස්පාඤ්ඤයද අයත්ය. නමුත් ඇඟිලි දිගැති මිනිසුන් වෙසෙන සිංගප්පුරැව, මැලේසියාව, රුසියාව වැනි රටවල ආසාදනය ඉහළ ගියත් මරණ අඩු බව මෙය පෙන්වා දෙයි. ඔවුන්ගේ තර්කය දිගු ඇඟිලි ඇති අය කළල අවධියේ වැඩි ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පෙන්වා ඇති පිරිසයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වැඩි ටෙස්ටොස්ටෙරෝන් කොවිඩ්19 වෛරසයට යහතින් සිටීමට බාධා පමුණුවන බවය.
සුගත් පී. කුලතුංග ආරච්චි