2020 මැයි 23 වන සෙනසුරාදා

මහඡන්දය පැවැත්වීම දේශපාලන පක්ෂ මත

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

කොරෝනා වසංගතය තවමත් මෙරටින් පහව ගොස් නැති තත්ත්වයක් තුළ පවා, දේශපාලන මාතෘකා කිහිපයක් පිළිබඳ සමාජ කතිකාව උණුසුම් මට්ටමක පවතී. මහ මැතිවරණය පවත්වන දිනය පිළිබඳ කතිකාවක් එක අතෙකින් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරමින් මහ මැතිවරණය තවදුරටත් කල්දැමිය හැකිදැයි කතිකාවක් තව අතෙකින් පවතී. පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු යැයි යෝජනාවක්ද තවත් අතෙකින් පවතී. එකිනෙක දේශපාලන පක්ෂ හා නායකයන් තම ඉදිරි සැලසුම් පාදක කොට ඉහත කතිකාව ඉදිරියට ගෙන යන බවක්ද පෙනෙන්ට තිබේ.

කොරෝනා වසංගතය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විනාශ වීමට ඉඩදිය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනක පැවසීය. වසංගතය උත්සන්න තත්ත්වයක් යටතේ වුවද මැතිවරණ පැවැත්වූ රටවල් තිබේ. එමෙන්ම මැතිවරණ කල්දැමූ රටවල්ද තිබේ. රට කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මුහුණ දී ඇති අභියෝගයේ තරම ඉදිරියේදී මතුවිය හැකි ගැටලු හා රටේ දැනට පවතින තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මැතිවරණය පැවැත්විය හැකි ක්‍රමවේදය සකස් කරගත යුතුව තිබේ. මෙහිදී රටේ ජනයාගේ මතය කෙරෙහිද අවධානය යොමුකිරීම බලධාරීන් වෙතින් ඉටුවිය යුතු යුතුකමක් හා වගකීමක් ලෙස සැලකිය හැකිය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ජූනි මස 20 වැනි දිනට කල් දමා තිබේ. ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ජූනි 2 වැනි දින හෝ ඊට පෙර පාර්ලිමේන්තුව රුස්විය යුතුය. පැවති පාර්ලිමේන්තුවේ ආයු කාලය සැප්තැම්බර් 01 වැනි දින දක්වා තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හරිනු ලදුව මාස තුනක කාලයක් අභිබවා යා නොහැකි අයුරින් නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ජූනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්වීම තුළ පාර්ලිමේන්තුව විසුරැවා හැර මාස තුනකට වඩා වැඩි කාලයක් රුස් නොකර සිටීමට සිදුවීම සහ ජනාධිපතිවරයා විසින් නිකුත්කරන ලද ගැසට් පත්‍රය අවලංගු නොකිරීම තුළ පැවති පාර්ලිමේන්තුව ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු නොකිරීමෙන් ව්‍යවස්ථාමය අර්බුදයක් හටගෙන ඇති බවට සමාජය තුළ මේ වනවිට සංවාදයක් හටගෙන ඇත.

මේ අතර ඉදිරි මැතිවරණය පිළිබඳ තවත් කථිකාවක් පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවකදී දේශපාලන කරළිය උණුසුම් කළේය. එම හමුවේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ මහ මැතිවරණය සඳහා බාරගත් නාමයෝජනාවල නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳ ගැටලුවක් පැන නැගී ඇති බවය. නාමයෝජනා බාරගත් පසුගිය මාර්තු මාස 17,18,19, යන දිනයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබීම මෙයට හේතුව බවද ඒ මහතා විසින් පෙන්වා දී තිබිණි.
මැතිවරණ කොමිසම මේ සම්බන්ධව නීතීපතිවරයාගෙන්ද උපදෙස් ලබා ගැනීම සිදුකර තිබූ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බලරහිත කරන ලෙසට ඉල්ලා නීතීඥ චරිත ගුණරත්න විසින් මුල්වරට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර ඉන් අනතුරැව ජාතික සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් සහ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මේ වනවිට පෙත්සම් ගොනුකර ඇත.
රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මෙන්ම දේශපාලන වේදිකාවේ කතා වන ඉදිරි මහ මැතිවරණය පිළිබඳ දේශයේ අප පක්ෂ විපක්ෂ මැති ඇමතිවරැන්ගෙන් විමසීමක් කළෙමු.


සුදුසු ක්‍රමයක් හදලා ඡන්දය පැවැත්වීමයි කොමිසමේ වගකීම

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග

මැතිවරණ කොමිසම පත්කළේ මේ රටේ මැතිවරණ තියන්න. කොමිසමේ වගකීම තමයි පවතින ඕනෑම තත්ත්වයක් යටතේ සුදුසු පරිදි මැතිවරණ පැවැත්වීමට කටයුතු කිරීම. ඒ නිසා මැතිවරණ කොමිසමට බැහැ කැඳවා ඇති මහ මැතිවරණය තවදුරටත් කල්දාන්න. ඔවුන් කළ යුත්තේ මේ වගේ අවස්ථාවකදී සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡා කිරීමයි. මැතිවරණය පවත්වන සුදුසු ක්‍රමවේදයක් හදලා නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමයි. මොන ප්‍රශ්නය තිබුණත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න මැතිවරණ කොමිසමට පුළුවන්කමක් නෑ. මොකද ඒ කොමිසම පත්කරලා තියෙන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය රුකදෙන්න. පසුගිය දින 15 ටම සමාජයේ කොරෝනා රෝගීන් කිසිවකු හමුනොවූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබුණා. එතකොට අපි රජයක් විදිහට මේ කොරෝනා වසංගතය පාලනය කරන්න කළ හැකි සියලුම දේ කරලා තියෙනවා. ලෝකයෙන් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් වෙන්න කාලයක් යාවි. ඒ වෙනතුරු අපි ඡන්දය පවත්වන්නේ නැතුව ඉන්නද? රට සාමාන්‍යකරණය නොකර ඉන්නද? අපිට සිද්ධ වෙනවා කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන ගමන් අපේ සාමාන්‍ය ජනජීවිතය ගෙනියන්න සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව. ඒ නිසා කොමිසම කළ යුත්තේ සෞඛ්‍ය නිර්දේශ අනුව මැතිවරණය පැවැත්වීම මිස මැතිවරණය කල්දැමීම නොවේ. රටේ තියෙන තත්ත්වය නිසා මැතිවරණය තියන්න එපා කියලයි විපක්ෂය කියන්නේ. බල්ලගේ වැඩේ බූරුවට කරන්න දෙන්න බෑ. 

විපක්ෂය කොහොමද මැතිවරණය තියෙන එක ගැන තීන්දු ගන්නේ. පසුගිය යහපාලනයට වුණෙත් බල්ලගේ වැඩේ බූරැවා කරන්න ගිහින් විනාශය කරා යාමයි. කොවිඩ් වසංගතය තියෙන කොට කොරියාවේ ඡන්දය තිබ්බා. නවසීලන්තයේ අගමැති කියලා තියෙනවා නියමිත කාලයේ ඡන්දය තියන්න කියලා. ඉතිං ඇයි අපිට බැරි සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව ඡන්දය තියන්න. ඡන්දය කල් දාගන්න එක එජාප, ස.ජ.බ, ජවිපෙ, ටී.එන්.ඒ වුවමනාව. ඡන්දය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එක පැත්තකින් කියනවා ආණ්ඩුව ඒකාධිපති කියලා. තව පැත්තකින් ඡන්දය කල් දාගන්න උසාවි යනවා. මේ අය මේ ඡන්දය කල් දාගන්න හදන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි. රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරගෙන පරණ සෙල්ලම් ටික දාන්නයි මේ අයට ඕනේ. පරණ පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ විපක්ෂයට. එතකොට ඒ විපක්ෂයේ ඉන්න දෙමළ සන්ධානයට ඕනේ බහුතරය තියෙන වෙලේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්න. මුස්ලිම් අන්තවාදීන් පක්ෂවලට ඕනේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ නවත්වන්න. ජවිපෙට ඕනේ එජාපයට බලය අරන් දීලා නඩත්තුවට මුදල් ගන්න. මේ අය නැවත පරණ පාර්ලිමේන්තුව රුස් කරගන්න කියන්නේ අගමැතිතුමාව අයින් කරවගන්න.

ජන ජීවිත අනතුරේ දමා ඡන්ද පැවැත්වීමට අපට එකඟ වෙන්න බෑ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා

මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පමණක් වගකීම භාරගත නොහැකියි.  මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව ගොඩනැගීම සඳහා රටේ ප්‍රධාන ආයතන තුනම පියවර ගත යුතුයි. මේ වනවිට මැතිවරණය කල්දාන්න ඕන කියලා සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම සමගි ජන බලවේගයත් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකරලා තියනවා. වත්මන් ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් පිළිපදින්නේ නැහැ. මොවුන්ට ඕන වෙලා තියෙන්නේ මහ මැතිවරණය පැවැත්වීම විතරයි. රට සහ ජනතාව ගැන වගවීමක් ආණ්ඩුවට ඇත්තේ නැහැ. රටක ප්‍රජාත්‍රන්තවාදය අවශ්‍යයි කියන කාරණය අපි පිළිගන්නවා. නමුත් රටේ ජනතාවගේ ජීවිත අනතුරේ දාලා මැතිවරණයක් පැවැත්වීම අපිට එකඟ වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි.
 

රට හරියනකම් ඡන්දයක් එපා

දමිළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී

කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව යනතෙක් මේ මහ මැතිවරණය කල්දාන්න කියලා අපි මීට පෙරත් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කළා. මොකද මේ ආණ්ඩුවට ඕන කොහොම හරි මේ මහ මැතිවරණය පවත්වන්න. එහෙම නැතුව මේ රෝගය මෙරටින් පාලනය කිරීම ගැන මොවුන්ට කිසි වුවමනාවක් නැහැ. මේ වත්මන් රජය මීට පෙරත් මෙරට ආණ්ඩු බලය ලබාගත්තා ඔවුන් මේ රට පාලනය කළ ආකාරය හැම දෙනාටම මතක ඇති. වර්තමාන ආණ්ඩුවට ඕන කොහොම හරි තමන්ගේ බලය තහවුරු කරගන්න. එහෙම නැත්තම් වසර හතරහමාරක් යන්න කලින් පැවති පාර්ලිමේන්තුව පවත්වන්න උවමනාවක් මොවුන්ට නැහැ. එනිසා බලය ගැන හිතලා මේ රටේ කුමන ජාතිය වුණත් ජනතාව අනතුරට ඇද දැමීමක් කරන එක ගැන අපි කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. අපි කියන්නේ රට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වෙනකම් මහ මැතිවරණය කල් දැමිය යුතුයි කියන එක.
 
 

විපක්ෂය ජනතාවගේ ඡන්ද අයිතිය හෑල්ලු කරනවා

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

ලොව බලවත්ම රාජ්‍යයන් කොරෝනා වසංගතය පාලනයට අසමත් වෙනකොට මෙරට සෞඛ්‍ය අංශ පමණක් නොව බුද්ධි අංශ ඇතුළත්ව ආරක්ෂක අංශද යොදවා ගනිමින් වසංගතය සාර්ථකව පාලනය කිරීමට අද ආණ්ඩුව සමත් වී තිබෙනවා. නමුත් ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදය හෑල්ලුවට ලක් කරමින් ජනතාවගේ අයිතියක් වූ මැතිවරණ කල් දැමිය යුතුයි කියන මතයේ තමයි විපක්ෂය ඉන්නේ  වත්මන් ජනාධිපතිවරයාට ලක්ෂ 69ක බලයක් ලබා දුන්නේ ජනතාව ඔහු කෙරෙහි තිබූ විශ්වාසය නිසා එතුමා පරණ පාර්ලිමේන්තුව විසුරැවනු ලැබුවේ පසුගිය වසර පහක කාලය තුළ තිබූ අදුරදර්ශී පාලනය නිසා එහෙව් තත්ත්වයක් තිබුණ පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවමු කියලා කියන්නේ ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් වෙන්න. ඒ වගේම බෙදී වෙන් වී ගිය විපක්ෂය නැවත වරක් එකට එක්කර ඡන්දය කරන්න මොවුන් මේ ඡන්දය කල්දාන්න කොතරම් උත්සාහ කරනවද කියන කාරණය ජනතාව දන්නවා.

► සටහන - හසිත් අංජන